රඹුකන සිද්ධාර්ථ හිමි: 'කලාකරුවන්ගේ ජීවිත රැක ගත්' සිංහල ගීත සාහිත්‍යයේ යතිවර සලකුණ

රඹුකන සිද්ධාර්ථ හිමි

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Dayan Witharana

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

සිංහල කාව්‍ය ඉතිහාසය පිරික්සීමේදී යතිවර දායකත්වය සැලකිය යුතු මට්ටමක පැවතිය ද, කාව්‍ය කලාවේ නව අංගයක් ලෙස වර්ධනය වූ ගේය පද රචනා කලාව සඳහා මුල් කාලීනව යතිවර දායකත්වය ලැබුණේ අල්ප වශයෙනි.

පසු කාලීනව සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කිරීම සඳහා දායක වූ බෞද්ධ යතිවරයින් ස්වල්ප දෙනා අතර පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට හිමි වන්නේ, සුවිශේෂී ස්ථානයකි.

76 හැවිරිදි වියේ පසුවූ රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වූ පුවත ඊයේ (අගෝ: 18) අසන්නට ලැබිණි.

මුල් අවධිය සහ අධ්‍යාපන කටයුතු

1950 වසරේ මැයි 22 වන දා උපත ලැබූ දරුවාට තැබූ ගිහි නම වූයේ, ආනන්ද ලියනගේ ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක් වූ මොරවක, රඹුකන නම් ගම්මානයේ ඔහු හැදි වැඩිණි.

1950 වසරේ මැයි 22 වන දා වෙසක් පොහොය දිනය යෙදී තිබුණු හෙයින්, 'දරුවා මහණ කරන්නයි තියෙන්නේ' යනුවෙන් රෝහලේ සිටි හෙදියක සරදමට මෙන් ඔහුගේ දෙමාපියන්ට පවසා ඇතැයි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පසුකලෙක පවසා තිබිණි.

මොරවක, වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ, පසුව ගාල්ල, හෙට්ඨාචල පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූහ. (මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද හෙට්ඨාචල පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූවෙකි)

පසුව, කැලණිය විශ්වවිද්‍යාලයට පිවිස සරසවි අධ්‍යාපනය ලැබූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ කොළඹට සේන්දු වූහ.

උන් වහන්සේ ගේය පද රචනයට පිවිසියේ, එම අවධියේ ය.

පැවිදි ජීවිතයත් ගිහි ජීවිතයත් මුසු වූ ගේය පද රචනය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගීත දහසකට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇති බව කියන රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගේය පද අතරින් මුලින් ම ගීතයක් ලෙස නිර්මාණය වූයේ, දයාරත්න රණතුංග ගායනා කළ 'කල්ප කාල ගත වන තුරු, මෙතේ බුදුන් බුදු වන තුරු - වැඩ සිටින්න බෝ සමිඳේ, මා බෝ සමිඳේ' නමැති පද සංකල්පනාව යි.

ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහ පෙන්වා දුන්නේ, රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත රචනා පැවිදි ජීවිතයත්, ගිහි ජීවිතයත් අතර සම්මිශ්‍රණයක් සහිත නිර්මාණ ලෙස සැලකිය හැකි බව ය.

"උන් වහන්සේගේ ගේය කාව්‍ය භික්ෂු ජීවිතයත්, ගිහි ජීවිතයත් දෙක එකතු කළ අතිශයින් ම වැදගත් පාලමක් වගේ තමයි කටයුතු කළේ. උන් වහන්සේ 'ළාදලු බෝපත් සෙමින් සැලෙන සේ යශෝධරා දේවී' වගේ ගීතවල යශෝධරාවගේ කාන්තා අධ්‍යාත්මය කොයිතරම් වියෝගයකින් දුක් වින්දා ද? ඇයට බුදුන් වහන්සේ මුණ ගැසෙන පළවෙනි අවස්ථාවේදී ඇයගේ චර්යාව කෙබඳු වුණා ද? කියන එක උන් වහන්සේ අපූරුවට මේ කාන්තා චිත්තය විග්‍රහයට ලක් කරනව. ඒක නිර්මාණාත්මක ගීත කලාවේ ඉතා ම ඉහළ වටිනාකමක් තියෙන ගීතයක්," බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් රත්නශ්‍රී විජේසිංහ පැහැදිලි කළේ ය.

එමෙන් ම, සාමාන්‍ය ජනතාවට වටහාගත හැකි ආකාරයේ ගීත රැසක් උන් වහන්සේ රචනා කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති ( වික්ටර් රත්නායක), අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන (ටී.එම්. ජයරත්න), මේ ඉර හඳ යට හමුවී (එඩ්වඩ් ජයකොඩි) ආදී ගීත ඔහු උදාහරණ ලෙස දක්වයි.

ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර සහ කරුණාරත්න දිවුල්ගනේට ආරක්ෂාව සැලසූ හැටි

'88/89 භීෂණ සමයේ' ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර සහ කරුණාරත්න දිවුල්ගනේට එල්ල වී තිබූ තර්ජන හමුවේ, ඔවුන්ට ආරක්ෂාව ලබා දුන් බව ද රත්නශ්‍රී විජේසිංහ ආවර්ජණය කළේ ය.

"මට මතකයි විශාරද ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර, කරුණාරත්න දිවුල්ගනේ වගේ ගායන ශිල්පීන් 88/89 කාලෙ භීෂණ සමයේ රැකියාවලින් නෙරපනු ලැබ හව්හරණක් නැතුව ඉඳිද්දි රැකවරණය දුන්නෙ උන් වහන්සේ. රැකවරණය දුන්න විතරක් නෙවෙයි, ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන්නත් උන් වහන්සේ උදව් කළා."

මේ පිළිබඳව, ජයතිලක බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබිණි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

විශේෂයෙන් ගුණදාස කපුගේගේ 'කම්පන' ප්‍රසංගය පැවැත්වීම සඳහා ද රඹුකන හිමියෝ මූලික වී කටයුතු කළහ.

'සිංහල ගීත කලාවට පිරිමැසිය නොහැකි පාඩුවක්'

රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරන ලද ගීත රැසක සංගීත නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාස කටයුතු කළේ ය.

එම ගීත රැසක සංගීතය පටිගත කිරීමේදී වයලීනය වයමින් ප්‍රවීණ ගායන සහ වාදන ශිල්පී අමරසිරි පීරිස් දායක විය.

ඔහු සිද්ධාර්ථ හිමියන් පිළිබඳ මතකය අවදි කළේ මෙසේ ය.

"රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු ගීත ගොඩකට සංගීතය නිර්මාණය කළේ, කේමදාස මාස්ටර්. මම වයලීන් වාදකයෙක් විදිහට ඒ මුල් ගීත පටිගත කිරීම්වලට සම්බන්ධ වුණා. එතනදි තමයි, මම රඹුකන හාමුදුරුවො එක්ක සමීප වෙන්නෙ. පසු කාලීනව මම උන් වහන්සේ එක්ක සමීපව වැඩ කළා. මම දුෂ්කර පළාතක පන්සලක් ඉදි කළා. ඒක ඉදිකිරීමේදී අවශ්‍ය උපදෙස් දුන්නෙත් උන් වහන්සේ. ඒ වගේ ම මම උන් වහන්සේ ලියපු ගීත කිහිපයක් ගායනා කළා. 'සසර මග දිගේ', 'මිහි මඬලේ', 'ඉරත් වැසී යයි' (නීලා වික්‍රමසිංහ සමග) වගේ ගීත උන් වහන්සේ තමයි රචනා කළේ."

ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් පැවසුවේ, රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ අභාවය සිංහල ගීත ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් වනු ඇති බව ය.

රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ ගීත කිහිපයක්

  • ගුණදාස කපුගේ - පිහිටක් නැති, සද්ධර්ම මකරන්ද
  • වික්ටර් රත්නායක - බුදු හාමුදුරුවො අපිත් දකින්නැති, කඳුළු පැන් කඳුළු පැන් කෙණ්ඩියක්, කාසිවලට ගන්නත් බෑ
  • මාලනී බුලත්සිංහල - හිමි සනරාමර, සෙනෙහස පුදා, පිපෙනා මලකට, බුදු බණ කිව්වා (එඩ්වඩ් ජයකොඩි සමග)
  • එඩ්වඩ් ජයකොඩි - පන්සලේ පල්ලියේ (චරිතා ප්‍රියදර්ශනී සමග), මේ ඉර හඳ යට හමුවී, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, නුඹට හිතැති
  • ටී.එම්. ජයරත්න - සියක් ආයු ලැබ, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, සඳ වතුරක් සේ
  • නිරංජලා සරෝජිණී - අනුරාධපුරේ අනුරාව නැගූ
  • කරුණාරත්න දිවුල්ගනේ - ළාදලු බෝපත්, වෙහෙරක් වගේ
  • අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව - සඳ තරු මල්
  • අමරසිරි පීරිස් - සසර මග දිගේ, මිහි මඬලේ, ඉරත් වැසී යයි (නීලා වික්‍රමසිංහ සමග)