පාස්කු ප්‍රහාරය: බුද්ධි සටහන් පොතක් ගැන CIDය අධිකරණයට දැනුම් දෙයි

A general view of St. Anthony's Shrine in Colombo on April 29, 2019, a week after a series of bomb blasts targeting churches and luxury hotels on Easter Sunday in Sri Lanka.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සිදු කරන විමර්ශනවලට අදාළව වව්නතිව් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොත සිය භාරයට ගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (අගෝ. 19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේ ය.

මෙම නඩුකරය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.

එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, තම භාරයට ගන්නා ලද අදාළ බුද්ධි තොරතුරු සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත් බව ය.

තව ද,එහි අන්තර්ගත කාරණා පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව මෙම නඩුකරයට අදාළව අසත්‍ය ප්‍රකාශ සිදු කර අධිකරණයට අපහාස කළ බව කියන හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය විසින් සිදු කරන ලද ප්‍රකාශ අන්තර්ගත සංයුක්ත තැටි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරීන් වන යසිල් බාවා ජෙගිල් පාස් සහ එස්.එන්. සරත් සමන්ත යන සැප්තැම්බර් 2 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

මෙම සිද්ධියේ තුන්වන සැකකරු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කර තිබෙන අතර ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කරයි.