එල් නිනෝ නිසා ශ්‍රී ලංකාව වටා මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?: මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළට

කෙළවල්ලෙකුගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Tahsin Ceylan/Anadolu via Getty Images)

    • Author, සම්පත් දිසානායක
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ, දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවරයින්ට ය.

ගෝලීය එල්නිනෝ කාලගුණ විපර්යාසයත් සමග ශ්‍රී ලංකාව වටා මුහුදේ මත්ස්‍ය ගහනය ගැවසෙන සිතියම සහ මසුන් සංක්‍රමණය වන කලාප වෙනස් වී ඇති බවට විශ්වාස කෙරේ.

"සමස්ත මත්ස්‍ය අස්වැන්නට හානියක් වෙන බව අපිට දැනෙනවා. මේ ගැන පර්යේෂණයක් කරන්න නාරා අයතනයට භාර දුන්නා," ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු කියා සිටියේ, අභ්‍යන්තර ජල මූලාශ්‍ර සිඳී ගියහොත්, සමස්ත මිරිදිය මත්ස්‍ය ගහනය ද විනාශ වී යා හැකි බව ය.

ධීවර අමාත්‍යංශයේ දැනුම් දීම අනුව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) මේ වන විට මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ යෙදෙන ශ්‍රී ලංකාවට දකුණ, බටහිර, වයඹ හා උතුරු පළාත්වල එක්දින ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් වාරකන් සමය නිසා දැනට සතියකට දින දෙකක් හෝ තුනක් පමණක් ධීවර කටයුතුවල නිරත වේ.

ඔවුන් පවසන්නේ, එම දිනවල දිනකට කිලෝ ග්‍රෑම් 40- 50ත් අතර අස්වැන්නක් නොගැඹුරු මුහුදු ප්‍රදේශවලින් නෙළා ගන්නා බව ය. එලෙස නෙළා ගන්නා මත්ස්‍ය වර්ග වන්නේ, පරව් සහ වෙනත් කුඩා මසුන් වර්ග ය.

නොරොච්චොලේ, මාම්පූරිය ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන ධීවරයෙකු වන දිනේෂ් වර්ණකුලසූරිය බීබීසී සිංහල වෙත පැවසුවේ, පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර මත්ස්‍ය අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබෙන බව ය.

ප්‍රදේශයේ වාරකන් සමය ඔක්තෝබර් මුල වන විට අවසන් වීමට නියමිත බවත්, එල්නිනෝ තත්ත්වයේ සැබෑ බලපෑම එවිට දැනගත හැකි වනු ඇති බවත් ඔහු කියා සිටියේ ය.

ජලය නොමැතිව සිඳී ගිය වැව් පිටියක මියගොස් සිටින මාළුවෙකුගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජල මූලාශ්‍ර සිඳී ගියහොත් සමස්ත මිරිදිය මත්ස්‍ය ගහනය විනාශ වී යා හැකි බව ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය

එල්නිනෝ බලපෑම ගැන අධ්‍යයනයට නාරා ආයතනයෙන් කණ්ඩායම් 5ක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එල්නිනෝ තත්ත්වය නිසා ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය සඳහා නාරා ආයතනය කණ්ඩායම් 5ක් යොදවා තිබේ. නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් අමරලාල් පැවසුවේ, එල්නිනෝ තත්ත්වයෙන් මෙරට සාගරයට සහ මත්ස්‍ය අස්වැන්නට සිදුවිය හැකි නිෂ්චිත බලපෑම ගැන නිවැරදිව ම ප්‍රකාශ කළ හැක්කේ, අදාළ අධ්‍යයනයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණයෙන් පසුව බව ය.

දැනට නාරා ආයතනය මගින් සාගර උෂ්ණත්වය, රළ මට්ටමේ විචල්‍යයන් වැනි පර්යේෂණාත්මක මට්ටමේ දත්ත එක්රැස් කිරීම් ආරම්භ කර තිබේ.

මාස දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය අවසන් කිරීමට නාරා ආයතනය අපේක්ෂා කරන අතර, ඊට පෙර අතුරු තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරනු ඇත.

ආචාර්ය ලලිත් අමරලාල් කියා සිටියේ සාමාන්‍යයෙන්, "එල්නිනෝ තත්ත්වයත් එක්ක මත්ස්‍ය නිෂ්පාදනය අඩුවෙන්න පුළුවන්. මසුන් සීතල පැත්තට සංක්‍රමණය වෙන්න පුළුවන්. එත් එක්ක ම ධීවරයින්ගේ අදායම අඩුවෙන්න පුළුවන්."

"මුහුදේ උෂ්ණත්වය වැඩි වුණොත් අපේ කොරල්පර හා සම්බන්ධ ජීවීන්ට, කොරල්පරවලට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒවා සමහර විට විනාශ වෙන්න මැරෙන්න ඉඩ තියෙනවා."

"උෂ්ණත්වය වැඩි වුණොත්, සමහර වෙලාවට නොගැඹුරු මුහුදේ ගැවසෙන මාළු උෂ්ණත්වය දරා ගන්න බැරිව එහාට පීනන්න පුළුවන්. අපේ වෙරළාශ්‍රිත මසුන්ගේ අඩුවීමක් වෙන්න පුළුවන්. උෂ්ණත්වය ගොඩක්ම ඉහළ ගියොත් අනිවාර්යෙන්ම අස්වැන්න අඩුවෙන්න පුළුවන්, උෂ්ණත්වය අඩුකලාපවලට මසුන් සංක්‍රමණය වෙන්න බලනවා," ඔහු පැවසීය.

ධීවර කටයුතු නොකරන කලාපවලට මසුන් සංක්‍රමණය වුවහොත් මතස්‍ය නිෂ්පාදනය අඩුවිය හැකි බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

'එල්නිනෝවලට වඩා වැඩි හානියක් ඉන්දීය ධීවරයින්ගෙන් සිදුවෙනවා'

තහනම් පන්නක්‍රම භාවිතය, ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ බොටම් ට්‍රෝලීන් කිරීම වැනි ප්‍රශ්න මැද එල්නිනෝ කාලගුණ සංසිද්ධිය ද පැමිණීම නිසා මත්ස්‍ය අස්වැන්න අඩුවීම තවත් තීව්‍ර වී ඇති බව බහුදින ධීවර කර්මාන්තයේ නිරත ධීවරයෝ පවසති.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු කියා සිටියේ, එල්නිනෝ සංසිද්ධියට වඩා වැඩි හානියක් මෙරට මත්ස්‍ය සම්පතට ඉන්දීය ධීවරයින්ගෙන් සිදුවන බව ය.

"විනාශකාරී පන්න රැකියා කරනවා, ඩයිනමයිට් දැමීම නිසා මත්ස්‍ය සම්පත විනාශ වෙනවා. විනාශකාරී දේවල්වලින්, පොඩිමාළු, ලොකුමාළු, බිත්තරමාළු, මාළු බෝවෙන තැන් විනාශ වෙනවා," ඔහු පැවසීය.

"ඉන්දීයාව ඇවිත් අපිව සූරගෙන කනවා, ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු ඇවිල්ලා මෙහෙ සූරගෙන කනවා."

"එල්නිනෝ එක බලපායි, ඒකේ බලපෑමක් ඇති. නමුත් ඊට වඩා ප්‍රබල බලපෑමක් වෙනවා, ඉන්දියාවෙන්. අපිව සූරගෙන කෑමක් කරන්නේ තනිකර. රටක් වශයෙන් අපි ස්වාධීන රටක්, අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි" රුවන් ප්‍රනාන්දු ඉන්දීය ධීවරයින්ගෙන් වන බලපෑම ගැන සඳහන් කරමින් කියා සිටියේ ය.

"තහනම් පන්න ක්‍රම තියෙනකම් මාළු බෝවෙන්නේ නැහැ. ඒ සේරම තියෙද්දි තමා මේ එල්නිනෝ එන්නේ‍්," ඔහු පැවසීය.

මන්නාරම බොක්කේ ඇති වැදගත්කම

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු පැවසුවේ, මන්නාරම් බොක්ක මාළු බෝවීමේ සුවිශේෂී සාගාර කලාපයක් බව ය.

එම නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ විවිධ මත්ස්‍ය වර්ග වැඩි වශයෙන් ගැවසෙන බවත් ඔහු සඳහන් කළේ ය.

"මන්නාරම බොක්ක ආශ්‍රිතව තමා මාළු බෝවෙන්නේ, එක කාලයකට කරුල්ලෝ එනවා වගේ මාළු එනවා බිත්තර දාන්න. එහෙම තැනක් තමා මන්නාරම බොක්ක කියන්නේ, නොගැඹුරු මුහුද ඒ හරිය, මාළු බෝවෙන තැන්වල තමා ඉන්දීය ධීවරයෝ අපේ වෙරළට ම ඇවිල්ලා ඇදගෙන යන්නේ," ඔහු කියා සිටියේ ය.

බහුදින ධීවර කර්මාන්තය

ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයින් බොහෝවිට නෙළා ගනු ලබන්නේ, ඇස්ගෙඩි කෙළවල්ලා, කහවරල් කෙලවල්ලා සහ බලයා වැනි මසුන් ය.

ශ්‍රී ලංකාවේ එවැනි ධීවර කටයුතුවල නිරත බහුදින යාත්‍රා 4500කට අධික සංඛ්‍යාවක් තිබේ. ඔවුහු දකුණු මුහුදු ප්‍රදේශය, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල හා අරාබි මුහුද ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරත වෙති.

ඒ සඳහා කිලෝ මීටර් 1500කට වඩා වැඩි දුරක් යාත්‍රා කරන අතර සාමාන්‍යයෙන් දින 40- 60ත් අතර කාලසීමාවක් ධීවර කටයුතුවල නිරත වීමට සිදුවේ.

එක් යාත්‍රාවක් මගින් ටොන් 3- 10ත් අතර මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගත හැකි ය. බහුදින ධීවර යාත්‍රා මගින් නෙළා ගනු ලබන මත්ස්‍ය අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර එම අස්වැන්නෙන් 10% - 15%ත් අතර ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු පැවසීය.

ඔහු කියා සිටියේ, දේශීය වෙළෙඳපොළට වැඩි ම මසුන් ප්‍රමාණයක් ලැබෙනුයේ, මාදැල් වැනි නොගැඹුරු මුහුදේ පන්න ක්‍රමවලින් බව ය.

කෙසේ වෙතත්, මේ වන විට බහුදින ධීවර යාත්‍රාවලින් නිසි ආදායමක් නොලැබීම නිසා එම යාත්‍රාවල ගමන්ගත් ධීවරයින් ද දැන් එක්දින ධීවර යාත්‍රාවල සේවයට යොමුවෙමින් සිටින බව නොරොච්චෝලේ ප්‍රදේශයේ ධීවරයෙකු වන දිනේෂ් වර්ණකුලසූරිය පැවසීය.

නාරා ආයතනය නිකුත් කරන මත්ස්‍ය අස්වැන්න පිළිබඳ පුරෝකථනය

ඡායාරූප මූලාශ්‍රය, NARA

ඡායාරූප ශීර්ෂ වැකිය, නාරා ආයතනය බහුදින ධීවර යාත්‍රා සඳහා නිකුත් කරන මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථනය

චන්ද්‍රිකා දත්ත පදනම් කර ගනිමින්, නාරා ආයතනය දැනට ටූනා මත්ස්‍ය බිම් පිළිබඳව පුරෝකථනයක් නිකුත් කරයි.

නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් චන්ද්‍රලාල් පැවසුවේ, සතියකට දින 3ක් එම පුරෝකථනය නිකුත් කරන බව ය.

දින 3-5ත් අතර කාලයකට වලංගු වන පරිදි නාරා ආයතනය මෙම පුරෝකතන නිකුත් කරයි.

"සියයට 100ක් ම අපිට හරි කියන්න බැහැ. සමහර වෙලාවට ඒ කියන දත්තවලට අහුවෙනවා, සමහර දවස්වලට කොටින් ම නැහැ," සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

සාගර ජලයේ උෂ්ණත්වය ජූලි මාසයේ ඉතිහාසයේ වැඩි ම අගයට

පැසිෆික් සාගරයේ ඇති වන 'එල් නිනෝ' කාලගුණ තත්ත්වය හේතුවෙන් ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය ජූලි මාසයේදී ඉතිහාසයේ වැඩි ම අගයට පත්ව ඇතැයි යුරෝපා සංගමයේ දේශගුණික නිරීක්ෂණ ආයතනය අනාවරණය කර තිබේ.

යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ආයතනයට (Copernicus) අනුව, පසුගිය ජූලි මාසයේදී ලෝකයේ සාගර ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.96ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙය 2023 වසරේ පැවති සෙල්සියස් අංශක 20.89ක උෂ්ණත්වය අභිබවා යාමකි.

එමෙන් ම, පසුගිය ජූලි මාසය ඉතිහාසයේ වාර්තා වූ දෙවනුවට වැඩි ම ගෝලීය උෂ්ණත්වයක් සහිත ජූලි මාසය ලෙස සටහන් වේ. එය කාර්මික විප්ලවයට පෙර පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.47කින් වැඩි අගයකි.

'එල් නිනෝ' යනු පැසිෆික් සාගරයේ ඇති වන ස්වභාවික කාලගුණ රටාවකි. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උණුසුම් වීම සහ මෙම එල් නිනෝ තත්ත්වය එකතු වූ විට, ලෝකයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යන අතර දරුණු කාලගුණ තත්ත්වයන් ඇති විය හැකි බවට අනතුරු අඟවයි.

සාගර යනු පෘථිවියේ දේශගුණය පාලනය කරන ප්‍රධාන ම සාධකයකි. හරිතාගාර වායු පිටවීම නිසා පෘථිවියේ ඇති වන අමතර තාපයෙන් වැඩි ප්‍රමාණයක් උරා ගන්නේ සාගර මගිනි. එමෙන් ම, පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් අඩක් ම නිපදවන්නේ ද සාගරය යි.

සාගර ජලය අධික ලෙස රත් වීම නිසා මුහුදේ පවතින උණුසුම් කාලගුණ තරංග දිගු කාලයක් ප්‍රබලව පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණයෙන් කොරල් පර විනාශ වන අතර, මුහුදු පැළෑටි සහ මත්ස්‍ය කර්මාන්තය ද විනාශ වේ.

එමෙන් ම, සාගර මතුපිට ජලය දැඩිව රත් වූ විට වැඩි තාපයක් සහ තෙතමනයක් වාතයට මුදා හැරේ. මෙය නිවර්තන කලාපීය කුණාටු වඩාත් දරුණු කරන අතර, අධික වැසි තත්ත්වයන් ඇති කිරීමට ද හේතු වේ.

'ප්‍රබල එල්නිනෝවක් වීමට ඇති සම්භාවිතාව 90%කට වඩා වැඩි යි'

මේ අතර, එල්නිනෝ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයි කාලගුණ බලධාරීහු පවසති. මේ වසර අග වන විට මෙය ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමට ඇති සම්භාවිතාව 90%කට වඩා වැඩි බව ගෝලීය පුරෝකතන මගින් පෙනී යන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ කියා සිටියේ ය.

ඔහු අනාවරණය කළේ, මෙය පසුගිය වසර 75 තුළ ඇති වූ ප්‍රබල ම එල්නිනෝ තත්ත්වය බවට පත්වීමට ඇති සම්භාවිතාව 70%කට ආසන්න බව ය.