'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?

Sri Lanka's police

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා "විවිධ පොලිස් මෙහෙයුම්" ක්‍රියාත්මක කිරීම මෑත කාලීන රජයන් වල ජනප්‍රිය තලයේ ප්‍රධාන තේමා බවට පත් තිබේ.

පසුගිය රජය පැවති සමයේ ක්‍රියාත්මක වූ "යුක්තිය මෙහෙයුම" සහ වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරන "රටම එකට ජාතික මෙහෙයුම" මෑත කාලීනව දැඩි අවදානයට ලක් වී ඇති එවන් මෙහෙයුම් ය.

එහිදී මෙම මෙහෙයුම් වල කොටසක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන අහඹු පුද්ගල පරීක්ෂාවන් වලදී පොලිසියේ ක්‍රියාකලාපය නිසා ඇතැම් පුද්ගලයින්ට මුහුණ දීමට සිදු වී ඇති අමිහිරි මෙන්ම අනීතික තත්ත්වයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වේ. මෑතකාලීනව එවන් සිදුවීම් වලට මුහුණ දුන් පිරිස් සිය අත්දැකීම් සමාජ මාධ්‍ය වල ද පළ කොට තිබෙන අතර ඇතැමෙක් නීතිමය පියවර ගැනීමට එළැඹ තිබේ.

වත්මන් රජයේ වැඩපිළිවෙලක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන රටම එකට ජාතික මෙහෙයුමෙන් මේ වන විට එලෙස පරීක්ෂාවට ලක් කොට ඇති පුද්ගලයන් සංඛ්‍යාව 27,730කට අධික වේ.

එම මෙහෙයුම යටතේ ආසන්න වශයෙන් පුද්ගලයින් 587 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍යවේදී සම්පත් සමරකෝන් මුහුණ දුන් අත්දැකීම

2026 මැයි මස 09 වන දින ප.ව. 2.45-3.15 අතර කාලය තුළදී කොළඹ රත්මලාන දුම්රිය පොළ පාරේ මහාමාර්ගයේ රැඳී සිටින අවස්ථාවක ත්‍රිරෝද රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් තමන් අත්තනෝමතික ලෙස සෝදිසි කිරිමකට ලක්කළ බවට මාධ්‍යවේදී සම්පත් සමරකෝන් චෝදනා කර සිටියි.

එම සෝදිසි කිරීම අතරතුර සිය විරෝධය නොතකා මහා මාර්ගයේදී "බලහත්කාරයෙන් තම මුඛය පරීක්ෂා කිරීමක්" කළ බව ද හෙතෙම බීබීසීයට පැවසීය.

"මාගේ සාක්කු එහෙම ඔක්කොම චෙක් කරලා ඉවරවෙලා එයාලා අන්තිමට මට කිව්වා දිව එළියට දාන්න කියලා. මම ඒකට කැමති වුණේ නෑ. වෛද්‍යවරයෙක් නැතුව එහෙම කොහොම ද ඔයාල මට කියන්නේ කියලා මම ඇහුවා... ඒත් දිගින් දිගට ම එයාලා වර්බලි මාව හැරස් කළා"

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම පරීක්ෂා කළ ආකාරය ඔහුගේ "පෞද්ගලිකත්වයට ඇති අයිතිය ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කරමින්" සිදු කළ එකක් බව ඔහු බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

ඉන්පසුව ඔවුන් ඔහුගේ නිවාස පරීක්ෂා කිරීමට ද පැමිණ ඇති අතර, මාධ්‍යවේදියා එහිදී සිය නීතිඥවරයා නොමැතිව එයට ඉඩ නොදිය හැකි බවට පළකළ දැඩි විරෝධය හමුවේ එම පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

"මේ හැමදේම පැය භාගයක් වගේ කාලයක් ඇතුළත වුණේ. මම ද්‍රග්ස් පාවිච්චි කරන්නෙත් නෑ, කවදාවත් අරගෙනත් නෑ, කොට කලිසමයි බාටා දෙකයි දාගෙන පාරට ගිහින් ත්‍රිව්ල් එකක් ගන්න හිටපු ටිකකට මෙහෙම වුණේ.මෙහම මිනිසුන්ව පරික්ෂා කරන්න අයිතියක් කොහෙද තියෙන්නේ "

ඉන්පසුව ඔහු මේ සම්බන්ධයෙන් පොලිස්පතිපතිවරයාට කළ පැමිණිල්ලකට අනුව ඔහුගේ පැමිණිල්ල ගල්කිස්ස පොලිස් ස්ථානයට ලබාදෙන ලෙස පවසා ඇති අතර ඒ අනුව සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එහි ගිය අවස්ථාවේදී පැමිණිල්ල සටහන් කරගන්නා අතරතුර එම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් තමන්ව 'දැඩි මානසික පීඩනයට ලක් කළ බවද' ඔහු පැවසුවේ ය.

පසුව ඔහු මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කොට ඇති අතර, එම පැමිණිල්ලට අදාළව පොලිසිය විසින් කරුණු දැක්වීමේදී එවැනි සිදුවීමක් සිදුවූ බවට වාර්තා වී නැති බවට ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දන්වා තිබේ.

පොලිසිය විසින් යවා ඇති එම කරුණු දැක්වීමේදී, මාධ්‍යවේදී සම්පත් සමරකෝන් පරීක්ෂා කළ නිලධාරීන් පැමිණි ABV 2568 දරණ පොලිසියට අයත් ත්‍රිරෝද රථය අදාළ දිනයේ රාජකාරි කටයුතු සඳහා යොදාගෙන නොමැති බවට සඳහන් කර තිබේ. කෙසේ නමුත් එම ත්‍රිරෝද රථය බඩෝවිට පොලිස් මුරපොළ වෙත අනුයුක්ත රථයක් බවට ඔවුන් විසින් අනාවරණය කොට ගෙන තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිය විරෝධය ලිඛිතව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යවා ඇති මාධ්‍යවේදී සම්පත් සමරකෝන් පවසන්නේ අදාළ ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර බලන ලෙස ය.

දැඩි සෝදිසි කිරීම්

මෑතකදී බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදියෙකු සිය රාජකාරි නිමවා නිවස බලා යමින් සිටියදී ද මෙවැනි සිදුවීමක් නිරීක්ෂණය කර තිබිණි.

"මම වේරහැර ඉඳලා බොරුපන දක්වා යන මාර්ගයේ කරදියාන කුණු කන්ද පහුකරගෙන මගේ මෝටර් බයිසිකලයෙන් යමින් හිටියා. ඒ අතරතුර තවත් මෝටර් බයිසිකලයකින් යමින් සිටි පුද්ගලයෙක්ව නවත්වලා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පරීක්ෂා කරමින් හිටියා," ඔහු පැවසුවේ ය.

ඔහු එම ස්ථානය පසු කරන විට එක් නිලධාරියෙක් අදාළ පුද්ගලයා හැඳ සිටි සරම ගලවා අල්ලාගෙන සිටි බවත්, අනෙක් නිලධාරියා ඒ තුළට විදුලි පන්දමක් යොමු කර පරීක්ෂා කරමින් සිටි බවත් ඔහු දුටු බව කියා සිටියේ ය.

ප්‍රහසන ශිල්පිනියක (stand-up comedian) වන ටානියා ලේව්වන්දූවගේ ද ඇය මුහුණ දුන් පොලිස් සෝදිසි අත්දැකීමක් ගැන සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබුණි.

එහිදී තමන් ගමන් ගත් කුලී රථය නවතා පොලිස් නිලධාරින් විසින් සිය බෑගය පරික්ෂාවට ලක්කළ බවත්, ඇය එහිදී අපහසුතාවයට ලක් වූ අයුරුත් ඇය සඳහන් කොට තිබේ. එම සටහන සඳහා බොහෝ දෙනෙකු විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි.

'කෙනෙකුට හිතෙනවා නම් පුද්ගලිකත්වයට හානි වුණා කියලා, පොලිස්පතිතුමාට පැමිණිලි කරන්න පුළුවන්'

මෙලෙස පුද්ගලයන් සෝදිසි කිරීම් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙන්නේදැයි බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර්ගෙන් විමසීමක් සිදු කරන ලදී.

"රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මේ වන විට දැඩි ලෙස සෝදිසි කිරීම්, පරීක්ෂා කිරීම්, සහ අත්අඩංගුවට ගැනීම් තීව්‍ර කරලා තියෙනවා. අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ, සැපයුම අඩු කරලා ඉල්ලුම අඩු කරන්න අවස්ථාව සැලසීම. ඒ නිසා මත්ද්‍රව්‍ය, විෂ මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී සියලු ම දේ සඳහා අපි මේකෙන් තිතක් තියනවා," ඔහු පැවසුවේ ය.

"ඒ නිසා විශේෂයෙන් ලැබෙන තොරතුරු සාධනීය ලෙස යොදාගෙන සෝදිසි කිරීම් සිදු කරන අතර, සැකයක් ඇතිවන යම් අවස්ථාවකදී පුද්ගල සෝදිසි කිරීම්, පරීක්ෂාවන් සිදු කරන්න කියලා අපි සියලු ම පොලිස් නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ පොලිසියේ අනන්‍යතාවය තහවුරු කරලා අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වෙලා, අනිත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහට ක්‍රියා කරලා, මේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපටා දාන්න කටයුතු කරනවා."

කෙසේවෙතත් එහිදී බීබීසී සිංහල විමසා සිටියේ ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලිකත්වයට හානි වන අයුරින් එවැනි පරීක්ෂා කිරීම් සිදු කිරීමට හැකි ද යන්න ය. එයට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"වාහනයක් පරීක්ෂා කරද්දී ඔවුන් ඒකට ඉඩ ලබා දිය යුතු යි, එහෙම ඉඩ ලබා දුන්නේ නැතිනම් අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණය නියෝගයක් ගන්නත් පුළුවන්. යම්කිසි කෙනෙකුට හිතෙනවා නම් පුද්ගලිකත්වයට හානි වුණා කියලා, එයාට ඒක ඡායාරූපයක් හරි අරගෙන වීඩියෝ එකක් හරි අරගෙන පොලිස්පතිතුමාට පැමිණිලි කරන්න පුළුවන්. නැතිනම් ඒ ප්‍රදේශයේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරයා හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට පැමිණිලි කරන්න පුළුවන්."

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ කාන්තාවන් පරීක්ෂා කිරීමේදී අනිවාර්යයෙන් ම කාන්තා නිලධාරිනියක් සිටිය යුතු වුවත්, ඔවුන් සතු බඩු භාණ්ඩ පරීක්ෂා කිරීම, හැඳුනුම්පත් පරීක්ෂා කිරීම වැනි දේ සඳහා කාන්තා නිලධාරිනියක් සිටීම අත්‍යවශ්‍ය නොවන බව ය.

'ගොඩක් වෙලා තියාගෙන සෝදිසි කර කර රස්තියාදු කරනවා නම් ඒක එක අතකින් අත්අඩංගුවට පත්වීමක්'

පොලිස් නිලධාරීන්ට එලෙස පුද්ගලයන් සෝදිසි කිරීමට ඇති නීතිමය පසුබිම සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් සොයාබැලීමක් සිදු කරන ලදී.

බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ නීතිඥ දිනූෂා තිරාණගම පැවසුවේ පොලිස් අඥා පනත සහ අපරාධ නඩු විදාන සංග්‍රහය අනුව පොලිසියට අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් එලෙස සෝදිසි කිරීමට බලයක් පවතින බව ය.

"රටේ සාමය පවත්වාගෙන යන්න යම්කිසි සැකසහිත කෙනෙක් පරීක්ෂා කරන්න හෝ යම් අපරාධයක් වළක්වා ගන්න කෙනෙක් පරීක්ෂා කරන්න පොලිසියට හැකියාවක් තියෙනවා," ඇය පෙන්වා දුන්නා ය.

නමුත් ඇය පෙන්වා දෙන්නේ මෑතකාලීනව වාර්තාවන සිදුවීම්වල වෙනසක් පවතින බව යි.

"අපරාධයක් වළක්වා ගැනීමේ අරමුණින් සෝදිසි කරන එක වෙන යි. ප්‍රසිද්ධ ස්ථානවල තියාගෙන ඇඳුම් ගලවා ගලවා බලහත්කාරයෙන් පරීක්ෂා කරනවා නම් ඒක අනුමත කරන්න බෑ," නීතිඥ දිනූෂා පැවසුවා ය.

ඇය පෙන්වා දෙන්නේ එවැනි ආකාරයේ ගැඹුරු විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය නම් එම පුද්ගලයාට ඔහු විසින් සිදු කරන ලද බවට සැක කරන වරද සම්බන්ධයෙන් පැහැදිලි කර ඔහුව අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ යුතු බව ය.

"එහෙම නැතිව නිකන් පාරේ යන එන මිනිස්සු නතර කරලා ඒගොල්ලොන්ගේ අර වගේ ඩීප් සර්ච් එකකට යනවා නම්, පොලිසියට ප්‍රමාණවත් සාක්ෂි තියෙන්න ඕනේ ඒ පුද්ගලයා එහෙම දෙයක් කළා කියන්න, ඊට පස්සේ ඔහුව අත්අඩංගුවට අරගෙන ඕනේ ඒක කරන්න."

එමෙන් ම ඇය පෙන්වා දුන්නේ පොලිස් භාරයේ දිගු වෙලාවක් රඳවා ගැනීම ද අත්අඩංගුවට ගැනීමක් ලෙස සැලකිය හැකි බව ය.

"ලංකාවේ ඉතිහාසයේ නඩු තීන්දු පවා තියෙනවා, පුද්ගලයෙක් පොලිස් භාරයට අරගෙන ඒ කෙනාව බස් එකකට නග්ගගෙන ඊළඟ නැවතුමෙන් බස්සලා නිදහස් කරලා යැව්වත් ඒක සැලකෙන්නේ අත්අඩංගුවට ගැනීමක් විදිහට යි කියලා. ඒ වගේ ම එවැනි අත්අඩංගුවට ගැනීමක් නිත්‍යානුකූල අත්අඩංගුවට ගැනීමක් වෙන්නෙත් නෑ කියලා," ඇය පෙන්වා දෙයි.

"එතකොට අපිව ගොඩක් වෙලා තියාගෙන සෝදිසි කර කර රස්තියාදු කරනවා නම් ඒක එක අතකින් අත්අඩංගුවට පත්වීමක් තමයි."

ඇය පෙන්වා දුන්නේ එම අදාළ පුද්ගලයාට එරෙහිව සාධාරණ සාක්ෂි නොමැති අවස්ථාවල එවැන්නක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව යි.

"මෑතකදී ආව නඩු තින්දුවකුත් තියෙනවා 'අදාළ පුද්ගලයා වරදක් කළා කියලා කියන්න ප්‍රභල සාක්ෂි නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ,' කියලා. නමුත් අපිට බැහැර කරන්න බෑ සාමය පවත්වාගන්න හෝ අපරාධයක් සිදුවීම වළක්වා ගන්න සෝදිසි කිරීම් කරන්න පුළුවන් කියන ඒක. නමුත් ඒක කරන විදිහේ තමයි මේ ගැටලුව අපට ඇති වෙන්නේ."

'පුද්ගලිකත්වයයි සමාජ ආරක්ෂාවයි කියන්නේ එකට ගැටෙන දෙකක්'

මෙහිදී නීතිඥ දිනූෂා තිරාණගම පෙන්වා දුන්නේ මෙවැනි පරීක්ෂා කිරීමකදී ශාරීරික හිංසනයකට ලක්ව නොතිබුණත් මානසික පීඩාවක් ඇතිවන අයුරින් එය සිදු කර තිබෙන්නේ නම් එඑය මානව හිමිකම් කඩවීමක් බව යි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා," ඇය පෙන්වා දුන්නා ය.

"පොලිසියට අපරාධයක් වෙන එක වළක්වාගන්න පරීක්ෂා කරන්න පුළුවන් වුණත් ගෙවල් වගේ සෝදිසි කරන්න යනවා නම් ඒ සඳහා සෝදිසි වරෙන්තුවක් ගන්න අවශ්‍යයි. පුද්ගලිකත්වයයි සමාජ ආරක්ෂාවයි කියන්නේ එකට ගැටෙන දෙකක්. ඒ නිසා එවැනි අවස්ථාවක මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයක් අවශ්‍ය වෙනවා. එහෙම නැතිව නිවාස පරීක්ෂා කරන්න, ස්ථානීය පරීක්ෂා කරන්න හිතුමතේට පනින්න බෑ."