ත්‍රිකුණාමලය රෝහලේ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

අලුත උපන් බිළිඳෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු තාවකාලික වැඩ තහනමකට ලක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.

අමාත්‍යංශයට ලැබුණු පැමිණිල්ලක් මත පවත්වනු ලැබූ මූලික විනය පරීක්ෂණයකින් අනතුරුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි බීබීසී සිංහල සේවයට පැවසීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියක මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.

වැඩ තහනමට ලක් කිරීමට හේතු වූ සිදුවීම කුමක් ද?

"ළමයෙක් හම්බ වෙන්න අම්මා කෙනෙක්ගේ බබා උපතේදි ම නැති වෙනවා. ඒක ගැන තමයි පැමිණිල්ල එන්නේ. කම්පේලේන්ට් එකේ එන එක තමයි වාට්ටුවේ ඉන්න කනිෂ්ඨ නේවාසික වෛද්‍යවරිය, ඉන්ටර්න්ෂිප් කරන අය වාට්ටුවේ දිගට ම ඉන්නේ. එයා එයාගේ සීනියර්ස්ලාට VOGට සහ සීනියර් හවුස් ඔෆිසර්ට කියනවා මේ ළමයාගේ තත්ත්වය හොඳ නැහැ ඒක නිසා මේක ගැන බලන්න කියලා. කෝල්ස් 6ක් අරගෙන තියෙනවා නමුත් අර දෙන්නට එන්න බැරි වෙලා තියෙනවා. ඒක ගැන බලනකොට ඒගොල්ලන්ට පෙනී ගිහිල්ලා තියෙනවා ඒ වෙලාවේ ඒ ඩොක්ටර්ස්ලා දෙන්න ම එළියේ වෙනත් පෞද්ගලික රෝහලක තමයි ඒ වෙලාවේ හිටියේ කියලා. පෞද්ගලික රෝහලකට එහෙම යන්න අයිතියක් තියෙනවා කන්සල්ටන්ට්ලට. එහෙම යනකොට ඒකට නිශ්චිත ක්‍රියා පටිපාටියක් තියෙනවා, ඒ යනකොට ඩිරෙක්ටර්ට ඉන්ෆෝම් කරලා, ඩිරෙක්ටර් ගාව තියෙනවා පිටව යාමේ පොතක්, ඒ පොතේ ලියලා යන්න ඕනේ පෞද්ගලික රෝහලක රෝගීයෙකුට අමාරුයි ඒ නිසා යන්න අවසර දෙන්න කියලා. එහෙම අවසර ගැනීමක් වෙලත් නැහැ. බැලූ බැල්මට පේන්නේ එයා දිගට ම රෝහලේ හිටිය විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. නමුත් මේ අවස්ථාවට ඇටෙන්ඩ් වෙලත් නැහැ."

"සේවය පැහැර හැරීමක් වෙලා තියෙනවා කියලා බැලූ බැල්මට පේන නිසා මූලික විමර්ශනය කරපු විමර්ශක කණ්ඩායම යෝජනා කරලා තියෙනවා තාවකාලිකව සේවය අත්හිටුවලා විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

'පරීක්ෂණය කරලා තියෙන්නේ විශේෂඥතාවකින් යුක්ත පුද්ගලයන් නෙමෙයි'

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උපසභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පවසන්නේ, මෙම සිදුවීමට අදාළව මූලික විනය පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම දෝෂ සහිත බව ය.

"මූලික විනය පරීක්ෂණය සිදුවෙලා තියෙන ආකාරය පරීක්ෂා කරලා බලනකොට අපිට තේරෙන මූලික කාරණය තමයි මේක සිදුවෙලා තියෙන්නේ මේ සම්බන්ධ විශේෂඥතාවකින් යුක්ත පුද්ගලයන් හරහා නෙමෙයි. සමාන්‍ය පරීක්ෂණ පවත්වන නිලධාරීන් දෙදෙනෙක් පැමිණිලා විශේෂඥ වෛද්‍යවරයෙක්ව තමා පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. ඇඳ ඉහපත් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. තාක්ෂණික කරුණ මත පිහිටලා, ඒ තාක්ෂණික කරුණු යම්කිසි මට්ටමකට හෝ වෛද්‍යවරුන් හෝ ඒ සම්බන්ධ විශේෂඥතාවක් නැති පුද්ගලයන්ට මේවා තේරුම් ගන්න අපහසු යි. ඒ වගේ කරුණු සම්බන්ධව කිසිදු අවබෝධයක් හෝ අදහසක් නැති පුද්ගලයන් පිරිසක් විසින් තමා මේ මූලික පරීක්ෂණය පවත්වලා තියෙන්නේ."

දුරකතන ඇමතුම් 6කට ප්‍රතිචාර නොදැක්වූ බවට එල්ල වන චෝදනාව

එමෙන් ම, සිද්ධිය වූ දිනයේ දුරකතන ඇමතුම් 6ක් ලබා දීම සම්බන්ධව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපතිවරයා පැහැදිලි කළේ ය.

"අදාළ වෛද්‍යවරියව සම්බන්ධ කර ගන්න උත්සහ කරලා තියෙනවා 8.17 ඉඳලා 8.35 වෙනකම් අවස්ථා 6කදී. අදාළ විශේෂඥ වෛද්‍යවරයාට කතා කරලා තියෙන්නේ 8.38ට ඒ මොහොතේ ම ඔහුව සම්බන්ධ කර ගන්න හැකියාව ලැබිලා තියෙනවා. අවස්ථා 6කදී සම්බන්ධ කර ගන්න නොහැකිවූවා කියන්නේ විනාඩි 18ක කාල පරාසයක් තුළ සිද්ධියක්. මේ අවස්ථාව වන විටත් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ වෛද්‍යවරියට අමතරව තවත් වෛද්‍යවරයෙක් ඒ වාට්ටුවේ ඉඳලා තියෙනවා."

බිළිඳාගේ මරණයට වැඩවර්ජනය හේතුවක් වුණා ද?

මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී ඇති ආකාරය අනුව මෙම සිදුවීම එදින සිය සංගමය පැවැත්වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් හැඟෙන පරිදි වාර්තා කර ඇති බවත්, එහෙත් කිසිදු වැඩවර්ජනයකදී රෝහල් කිහිපයකට මෙන් ම හදිසි ප්‍රතිකාරවලට සහ ප්‍රසූතිකාගාර ඊට අදාළ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උපසභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව සඳහන් කළේ ය.

"මෙම මව රෝහලක් තුළ සිටින අවස්ථාවේදී, මව ප්‍රසවයට යොමු වෙලා තියෙනවා. ප්‍රසවයට යොමු වුණාට පස්සේ කිසිදු අවස්ථාවක මේ මවගේ තත්ත්වය අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළ වෙන්නේ නැහැ. මොක ද ලේබර් රූම් තුළ කිසිදු අවස්ථාවක අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙන්නේ නැහැ."

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උපසභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව කියා සිටියේ, යම්කිසි සිදුවීමක් සිදුව ඇත්නම් එය සහ අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතර කිසිදු සම්බන්ධයක් නැති බව ය.

"වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත්, මේ අදාළ සිදුවෙලා තියෙන යම්කිසි හෝ සිදුවීමක් තියෙනවා නම් ඒ කිසිදු සිදුවීමක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා සිදුවූවා ය කියලා කියන්න යම්කිසි පුද්ගලයෙක් උත්සහ කරනවා නම්, ඒක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අපිට ටාගට් කරලා මේ සම්බන්ධයෙන් අපකීර්තියට පත් කරන්න ගන්න උත්සහයක් වශයෙන් තමයි අපි සලකන්නේ."

බිළිඳාගේ මරණය සහ අදාළ දිනයේ වෛද්‍යවරුන් ගෙන තිබු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතර යම්කිසි සම්බන්ධයක් අනාවරණය වී ඇති දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ද කියා සිටියේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ප්‍රසූතිකාගාරවලට අදාළ නොවන බව ය.

"කිසි ම වෘත්තීය සමිතියකට ඔය වගේ දේවල්වලදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න බැහැ. ඒක නිසා ඕන වෙලාවක සෞඛ්‍යයට සම්බන්ධ වෘත්තීය සමිතියක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නකොට ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරනවා සාමාන්‍යයෙන් මේක හදිසි ප්‍රතිකාර සේවාවන්වලට බලපාන්නේ නැහැ කියලා. ඒ ඉපදෙන්න හිටිය ළමයාගේ තත්ත්වය බරපතළ වීම හදිසි තත්ත්වයක් නිසා මේකේදී ස්ට්‍රයික් එකක් තිබුණත් නැතත් අනිවාර්යෙන් ම මේකට නියමිත වෙලාවේදී ඇටෙන්ඩ් වෙන්න ඕනේ. ඒක නිසා ස්ට්‍රයික් එකයි මේකයි අතරේ සම්බන්ධයක් නැහැ."