ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් මතුව ඇති අතර, ඇතැම් මාධ්‍ය කිහිපයක් ද ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, දැනට පවතින විශ්‍රාම වයස සංශෝධනය කර එලෙස විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් ද නිකුත් කර තිබේ.
මේ අතර, අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ විනිසුරුවරුන් අතර හමුවක් පසුගිය දා පැවැත්වුණේ, මෙවැනි පසුබිමක් පැවතියදී ය.
'විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් කරන්න එපා'
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිට පවතින අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවු. 63 සීමාවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවු. 65 සීමාවත් අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේ, පසුගිය මැයි 25 වනදා ය.
එවැන්නක් සිදුකළහොත් නීති පද්ධතියේ අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය අහිමි වනු ඇතැයි ලිපියෙන් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව යවා ඇති මේ ලිපිය මගින් එලෙස සංශෝධන කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බව දීර්ඝව පැහැදිලි කර තිබේ.
'විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබිය නොහැකියි'
මෙලෙස උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.
එම සංගමය පෙන්වා දෙන්නේ, මේ සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයක් ගෙන ඒම රජයේ අභිප්රායන් සම්බන්ධයෙන් මහ ජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බව ය.
2020 වසරේ ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය මගින් අධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ දමා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ද වැඩි කර ඇති පසුබිමක දැනට අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබිය නොහැකි බව ය.
වර්තමාන රජය එවැනි පියවරක් ඉදිරියට ගතහොත්, අධිකරණමය කාර්යයන් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සැලසුමක් නොමැතිව සංශෝධන සිදු කිරීම අනාගත රජයන්ට භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවට මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් ඔහු මේ වන විට විදේශගතව සිටින බැවින් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
'විශ්‍රාම යාමේ වයස් වෙනස් කරන්න කියලා අද වෙනකන් කිසි කෙනෙක් ඉල්ලලා නෑ' - නීතිඥ අජිත් පී. පෙරේරා
මේ අතර මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසුවේ, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් ප්‍රසිද්ධියේ ඉල්ලීම් කර නොමැති බව ය.
"අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගියාට පස්සෙත් වැටුප් දීමනා ලබන තනතුරු පවා ලබා ගැනීමට නොහැකි යි. ඒ වගේ ම නීතිඥ වෘත්තියේ නිරත වෙන්නත් පුළුවන් ඒ සඳහා විශේෂිත අවසරයක් ලබා ගත්තොත් විතර යි. ඒකෙන් අදහස් වෙන්නේ විශ්‍රාම ගියාට පසේ තමාට ලැබෙන තනතුරු සලකා බලන්න වෙන පෙළඹවීම නතර කරන්න. ඒක ලෝකේ පිළිගත්ත දෙයක්," ඔහු පවසයි.
"අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කරන්න බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් ඇරෙන්න. ඒක ඉතා බරපතළ සංශෝධනයක්. මේ රටේ කිසි ම කෙනෙක් ප්‍රසිද්ධියේ මේ විශ්‍රාම යාමේ වයස් වෙනස් කරන්න කියලා අද වෙනකන් කිසි කෙනෙක් ඉල්ලලා නෑ," යැයි මන්ත්‍රීවරයා පැවසුවේ ය.
තව ද ඔහු පෙන්වා දුන්නේ, මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක සාකච්ඡා වී නොමැති බව ය.
"පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා නෑ, පාර්ලිමේන්තු කමිටුවක සාකච්ඡා වෙලා නෑ, වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම එකක් සඳහන් වෙලා නෑ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ වෙනත් කිසි කෙනෙක් එහෙම ඉල්ලලා නෑ."
මේ සම්බන්ධයෙන් දැනට කෙටුම්පත් සකස් කරමින් සිටින බවට ඔවුන්ට තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසුවේ ය.
"රජය දැනට ඉන්න විනිශ්චයකාරවරුන් ඇතුළත් වන පරිදි විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා යෝජනා කිරීමට කෙටුම්පත් සකස් කරමින් ඉන්නවා. අපට තොරතුරු තියෙනවා නීති කෙටුම්පත් සම්පාදකට ඒ සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා. ඒ වගේ ම අපට තොරතුරු තියෙනවා ජනාධිපතිවරයා නොනිල වශයෙන් පහළ අධිකරණ විනිසුරුවරුන්ට මේ ගැන දැනුම් දුන්නා කියලා."
එමෙන් ම ඔහු පෙන්වා දුන්නේ, මෙලෙස සංශෝධනයක් සිදු කිරීම සංකල්පමය වශයෙන් නිවැරදි නොවන බව ය.
"මේක හරියට ධුර දරන විනිසුරුවරුන්ට අල්ලසක් දෙනවා වගේ වැඩක්. එක එක විනිසුරුවරයෙක් ගැන ප්‍රශ්නයකට වඩා ඒක සංකල්පමය වශයෙන් වැරදි යි. ඒක විනිසුරුවරුන් මත බලපෑමක් ඇති කරන වක්‍ර ක්‍රියාවක්."
අධිකරණ අමාත්‍යංශයෙන් ප්‍රතිචාරයක් නෑ
මේ අතර මෙලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමක් සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන් විස්තර දැනගැනීම සඳහා බීබීසී සිංහල විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ එම අමාත්‍යංශයේ ලේකම් අයේෂා ජිනසේන දුරකතනය හරහා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනකදී උත්සහ කළ නමුත් සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
පසුව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය නීතිඥ සුනිල් වටගලගෙන් විමසීමක් කළ නමුත් තමාට මේ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බව ඔහු පැවසුවේ ය.