ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාමල් රාජපක්ෂ ගැන අපැහැදිලි කරුණු 3ක් පිළිබඳව අධිකරණය පැමිණිල්ලෙන් කරුණු විමසයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 30 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (සැප්. 23) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
ඒ සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අධිකරණයට දැනුම් දුන්නේ;
"මේ සිද්ධියට අදාළ මුල් තොරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට වාර්තා කර තිබුණේ, 2019 වසරේ සැප්තැම්බර් මස 24 වන දා.
"2016 වසරේ රාජ්‍ය ව්‍යවසාය කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව එහි සඳහන් කර තිබුණා.
"ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බඳ මහත එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් එම මුල් තොරතුර තුළින් අධිකරණයට දැනුම් දී තිබුණා.
"මෙම නඩුවේ පළමු සැකකරු වශයෙන් නම් කළ කපිල චන්ද්‍රසේන මේ වන විට මියගොස් තිබෙනවා. දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
"තුන්වන සැකකාර ශමින්ද්‍ර රාජපක්ෂ ද අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කළා. ඊට අමතරව මෙම නඩුවේ හතර වන සැකකරු වශයෙන් නාමල් රාජපක්ෂ ඉකුත් 26 වන දා අධිකරණයට ඉදිරිපත් කෙරුණා."
මහේස්ත්‍රාත්වරයා තවදුරටත් මෙසේ ද පැවසීය:
"මෙම සිද්ධියට අදාළව අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවට වාර්තා කර තිබුණා. මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ එම සිද්ධියට සම්බන්ධව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනය යි.
"දූෂණ විරෝධී පනත සම්මත වීමට පෙර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අල්ලස් කොමිසමට බලය තිබුණේ නැහැ. නමුත් දූෂණ විරෝධී පනත තුළින් ම එම බලය දැන් අල්ලස් කොමිසමට ලැබී තිබෙනවා. දූෂණ විරෝධී පනතේ 61 වගන්තියට අනුව අල්ලස් කොමිසමට තවත් විමර්ශන ආයතනයක් සමග එක්ව ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදු කිරීමට හැකියාව තිබෙනවා.
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් කොමිසම ගොනු කළ නඩුකරයකට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. එම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර තිබේ දැයි පැමිණිල්ල පැහැදිලිව කරුණු දක්වා නැත.
"එවැනි සහතිකයක් පවතින අවස්ථාවක ඇප නියම කළ හැක්කේ, සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණි. එම නිසා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන අවස්ථාවක මා විසින් පැමිණිල්ල වෙතින් කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීමට අපේක්ෂා කරනවා.
"එම කරුණු පැහැදිලි කර ගැනීමකින් තොරව මගේ අධිකරණයට මෙම ඇප ඉල්ලීම සලකා බැලිය හැකි ද? යන ගැටලුව මතු වෙනවා.
"එම නිසා මා පැමිණිල්ලෙන් පැහැදිලි කිරීම් තුනක් ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියට සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් පනත යටතේ සිදු කරන විමර්ශන ඒකාබද්ධව සිදු කරන්නේ ද? යන කාරණය පිළිබඳව දැනුම් දෙන ලෙසත්, මෙම අධිකරණයේ පවතින නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ යුතු ද? යන කරුණ පිළිබඳව දැනුම් දෙන ලෙසත්, සැකකාර නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරයේ දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද? යන කාරණා සම්බන්ධයෙන් ලබන 30 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත් මා පැමිණිල්ලට නියම කරනවා."
එම කරුණු ඉදිරිපත් වීමෙන් පසුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන් ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සැකකරුට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුකරයට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙන බව ය.
කෙසේ වෙතත්, අධිකරණය මගින් ඉල්ලා සිටින පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් තමන් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
ඉන්පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර නාමල් රාජපක්ෂ ලබන 30 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේ ය.
අධිකරණය ඉල්ලා සිටින පැහැදිලි කිරීම් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.