ගෝඨාභයගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි: ඊළඟ පියවර ගැන දැනුම් දෙයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (ඔක්. 01) නියෝග කළේ ය.

මෙම පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මෙලෙස පැවසීය:

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා."

"අපරාධ යුක්ති ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විමර්ශන සිදුකිරීම අවශ්‍ය යි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගෙනත් නැහැ. එම තත්ත්වය යටතේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත්වීමට අධිකරණය අපේක්ෂා කරන්නේ නැහැ. එසේ වුවහොත් අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාදාමය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වෙනවා."

ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම සඳහා වන නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කළේ ය.

නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව අද දින ප්‍රකාශයට පත් කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා අපේක්ෂා කරන බව ය.

එම අභියාචනය ඉදිරිපත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වන කරුණු දැක්වීම් ඔක්තෝබර් 9 වන දා සිදු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ය.