ඊශ්‍රායලය බලා ගිය Flydubai ගුවන් යානය තුළදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ 'වීර' ගුවන් නියමුවා කවුද?

    • Author, හෙන්රි මුවර්
    • Role, ලන්ඩන්
    • Author, ශාරණ්‍යා රිෂිකේෂ් සහ මෙරිල් සෙබෙස්තියන්
    • Role, දිල්ලි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

බදාදා (සැප්: 30) ඊශ්‍රායලය බලා පියාසරකරමින් තිබූ ගුවන් යානයක් තුළදී තියුණු ආයුධයකින් පහර කෑමෙන් තුවාල ලැබූ නියමුවා, ඉන්දීය ජාතික කපිතාන් ස්මිත් මච්චාර් ලෙස හඳුනාගෙන ඇත.

තෙල් අවිව් බලා ගමන් කරමින් සිටි Flydubai ගුවන් යානයකදී තවත් ගුවන් නියමුවෙකු විසින් කැප්ටන් ස්මිත් මච්චාර්ට ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර, ඒ හේතුවෙන් සෞදි අරාබිය වෙත හදිසියේ ගුවන් යානයේ මග වෙනස් කිරීමට සිදු විය.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් "සැබෑ වීරයෙකු" ලෙස හැඳින්වූ කපිතාන් මච්චාර්, ප්‍රහාරයෙන් අනතුරුව සෞදි අරාබියේ වයඹ දිග පිහිටි ටුබක් නගරයේ රෝහලකට ඇතුළත් කරනු ලැබී ය. රියාද්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය පවසන්නේ ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් බව ය.

Xහි සටහනක් තබමින් නෙතන්යාහු පැවසුවේ, කපිතාන් මච්චාර් "පුද්ගලයන් 174 දෙනෙකුගේ ජීවිත බේරාගත්" බවත්, "ගුවන් ගමනක් අතරතුර සිදුවිය හැකි විනාශකාරී ව්‍යසනයක් වැළැක්වූ" බවත් ය.

කපිතාන් මච්චාර් ගැන අප දන්නේ මොනවා ද?

කපිතාන් මච්චාර් ඉන්දියාවේ මුම්බායි නගරයේ හැදී වැඩුණු අතර, ඔහුගේ දෙමාපියෝ තවමත් එහි වාසය කරති. 2011 වසරේදී ඔහු ඉන්දීය ගුවන් සේවයක් වන ස්පයිස්ජෙට් (SpiceJet) සමග එක්වූ අතර, පසුව ඩුබායි වෙත පදිංචිය මාරු කළේ ය. 2022 වසරේදී Flydubai ගුවන් සේවයට බැඳෙන විට ඔහු අත්දැකීම් බහුල ගුවන් නියමුවෙකු ලෙස සැලකිණි.

ඔහුගේ LinkedIn පිටුවට අනුව, කපිතාන් මච්චාර්ට පැය 9,750කට වඩා වැඩි ගුවන් පියාසර අත්දැකීම් ඇති අතර, එයින් පැය 6,400කට අධික ප්‍රමාණයක් ඔහු ගුවන් යානයේ ප්‍රධාන නියමුවා (Pilot-in-Command) ලෙස සේවය කර ඇත.

ඔහුගේ පෙර සේවාදායකයා වූ ස්පයිස්ජෙට් (SpiceJet) සමාගම නිවේදනයක් නිකුත් කරමින්, මච්චාර් "වීරයෙකු" ලෙස හැඳින්වූ අතර, ඔහු "ජීවිත රැසක් බේරාගත්" බව ප්‍රකාශ කළේ ය.

පසුගිය වසරේදී, කපිතාන් මච්චාර් තමන් ගුවන් නියමුවෙකු වීම ආරම්භ කළ ආකාරය සහ ගුවන් නියමුවෙකු ලෙස ලැබූ අත්දැකීම් පිළිබඳව Bona-Fide Banter නම් පොඩ්කාස්ට් වැඩසටහනකදී අදහස් දක්වා තිබිණි.

ඔහු පවසා ඇත්තේ, ගුවන් සේවයට යොමුවීම තමන්ගේ "ළමා වියේ සිහිනයක් නොවූ" බව ය. වයස අවුරුදු 19දී පමණ, පවුලේ ව්‍යාපාරයට එක්වීමේ අපේක්ෂාවෙන් ඔහු කළමනාකරණ පාඨමාලාවකට එක්විය. එහෙත්, එක් අවස්ථාවක ගුවන් සේවා සම්මන්ත්‍රණයකට සහභාගී වූ පසු, "ඒ පිළිබඳ දැඩි උනන්දුවක් තමන් තුළ ඇති වුණා" යැයි ඔහු පැවසීය.

කපිතාන් මච්චාර් තවදුරටත් පැවසුවේ, තමන් ගුවන් නියමු නිල ඇඳුම පැළඳ සිටින විට ඉතාමත් වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කළ බවත්, එවැනි අවස්ථාවලදී "සිය රාජකාරිය ගැන 100%ක් ම අවධානය යොමු කළ" බවත් ය. කෙසේ වෙතත්, තරුණ වියේදී මෙන් නොව, මේ වන විට රැකියාව සහ ජීවිතය සාර්ථකව සමතුලිතතාවකින් පවත්වාගෙන යාමට සහ පවුලේ අය සමග කාලය ගත කිරීමට වැඩි අවධානයක් යොමු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

"පෞද්ගලික ජීවිතයටත් සමාන වැදගත්කමක් ලබා දෙන්න. එය ඔබට තවත් දිගු කාලයක් පියාසර කිරීමට උපකාරී වනු ඇත," යනුවෙන් ඔහු උපදෙස් දුන්නේ ය.

ඔහු ගුවන් ගමන් අතරතුර මුහුණ දුන් අභියෝගාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳවත් විස්තර කළේ ය. එවැනි එක් අවස්ථාවකදී, ගුවන් යානයේ සිටි මගී කාන්තාවක නියමිත කාලයට පෙර ප්‍රසව වේදනා අත්විඳි අතර, දරුවා ආරක්ෂිතව මෙලොවට බිහි කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ව කටයුතු කළ බව ඔහු සඳහන් කළේ ය.

"ගුවන් සේවා ක්ෂේත්‍රයේ මා අද සිටින ගුවන් නියමුවා බවට පත්වීමට උපකාර කළ පුද්ගලයන් සමග වර්ධනය වීමට ලැබීම මා ලැබූ වාසනාවක්," යැයි ඔහු පැවසීය. දැඩි පීඩනකාරී සහ ආතතිමය අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දෙන ආකාරය තමන්ට ඉගැන්වූයේ, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් බව සඳහන් කරමින් ඔහු ඔවුන්ට ගෞරවය පුද කළේ ය.

එම සංවාදය පැවති අවස්ථාවේදී කපිතාන් මච්චාර් පවසා තිබුණේ, තමන් පියාසර කළ කිසිදු ගුවන් යානයකට මෙතෙක් හදිසි ගොඩබෑමක් සිදු කිරීමට අවශ්‍ය වී නොමැති බව ය. කෙසේ වෙතත්, ගුවන් ගමන් අතරතුර ඇති වූ සෞඛ්‍යමය හදිසි තත්ත්වයන් සහ ගුවන් යානයේ සුළු කාර්මික දෝෂ හේතුවෙන් ප්‍රමාදවීම්වලට මුහුණ දීමට තමන්ට සිදුවී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

"ප්‍රමාදවීම් කියන්නේ මගේ ප්‍රශ්නයක් නොවේ. ඔබ ගුවන් ගමන අවසානයේ ගුවන් යානයෙන් ආරක්ෂිතව පිටතට යන එක තමයි මට අවශ්‍ය වන්නේ," යැයි ඔහු පැවසීය.

කපිතාන් මච්චාර්ගේ අනන්‍යතාව හෙළිවීමෙන් පසු ඉන්දීය සමාජ මාධ්‍ය ඔහුට ප්‍රශංසා කිරීම්වලින් පිරී ගොස් ඇති අතර, බොහෝ දෙනා ඔහුව 'වීරයෙකු' ලෙස හඳුන්වා තිබේ. එමෙන් ම, ඔහු Bona-Fide Banter පොඩ්කාස්ට් වැඩසටහනේදී පළ කළ අදහස්වල කොටස් ද සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වී තිබේ.

Flydubai ගුවන් යානය තුළ සිදුවූයේ කුමක් ද?

Flydubai ගුවන් සේවයේ FZ1073 දරන ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එරට වේලාවෙන් පෙ.ව. 07:05ට ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා ගමන් ආරම්භ කළේ ය.

මෙම ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් අවම වශයෙන් 150 දෙනෙකු සිටි අතර, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ, එම මගීන්ගෙන් "ආසන්න වශයෙන් සියලු දෙනා ම" ඊශ්‍රායල් ජාතිකයන් වූ බව ය.

Flightradar24 ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියේ දත්ත අනුව, ගුවන් යානය පිටත්වී පැය දෙක හමාරකට පමණ පසු සෞදි අරාබියට ඉහළ අහසේදී හදිසියේ පහළට බැසීමක් සිදු කර ඇත. පෙරවරු 05:21ට පමණ මිනිත්තු දෙකකටත් අඩු කාලයක් තුළ එය අඩි 17,000කට (මීටර් 5,000කට) වැඩි උස ප්‍රමාණයක් අඩු කරමින් වේගවත් අවරෝහණයක නිරත වූ බව එම දත්තවලින් පෙන්වයි.

මිනිත්තු කිහිපයකට පසු, ගුවන් යානය හදිසි තත්ත්වයක් දැනුම් දීමට භාවිත කරන Squawk 7700 කේතය නිකුත් කළේ ය. ඉන් අනතුරුව එය Squawk 7500 කේතයට මාරු කරනු ලැබූ අතර, එම කේතය සාමාන්‍යයෙන් ගුවන් යානයක් පැහැර ගැනීමකට ලක්ව ඇති බව සංඥා කිරීමට භාවිත කෙරේ.

පෙරවරු 05:40ට, කෙටි වේලාවක් ජෝර්දානයේ ගුවන් කලාපයට ඇතුළු වූ මෙම ගුවන් යානය යළි සෞදි අරාබිය දෙසට හැරී පියාසර කළේ ය. එහිදී පසුව ගොඩබැස්වීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන් පැයකට අඩු කාලයකට පසු, ගුවන් යානය නැවතත් Squawk 7700 හදිසි තත්ත්ව කේතය භාවිත කළේ ය. එමගින් ගුවන් යානය තවදුරටත් හදිසි මෙහෙයුම් තත්ත්වයක පවතින බව ගුවන් පාලන අංශ වෙත දැනුම් දී තිබේ.

මුල් වාර්තාවලට අනුව, ඊශ්‍රායල් නිලධාරීන් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කළේ, ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා අතර ගැටුමක් ඇති වී තිබූ බව ය.

කෙසේ වෙතත්, සිද්ධියෙන් අනතුරුව බදාදා දින අදහස් දක්වමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු තහවුරු කළේ, එක් ගුවන් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, ඉන් අනතුරුව ඔහු "ගුවන් යානය කඩා වැට්ටවීමට උත්සහ කර ඇතැයි පෙනී යන" බව ය.

ඔහු පැවසුවේ, ඊශ්‍රායල් මගියෙකු තමන්ට දැනුම් දුන් පරිදි, "ගුවන් යානය කරකැවෙමින් පහළට බැසීමට පටන් ගත්" බව ය. ඉන් අනතුරුව එම මගියා සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු එක්ව නියමු මැදිරියට (cockpit) ඇතුළු වී, "තියුණු ආයුධයෙන් පහර දුන් ගුවන් නියමුවා" අල්ලා ගත් බව ද නෙතන්යාහු සඳහන් කළේ ය.

ස්ථානීය දත්ත අනුව, ගුවන් යානය සෞදි අරාබියේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ටබුක් (Tabuk) ගුවන් තොටුපොළ වෙත යොමු කරනු ලැබූ අතර, පෙරවරු 06:58ට එය ආරක්ෂිතව ගොඩබැස්වූ බව වාර්තා වේ.

සෞදි අරාබියේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය අනුව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන තියුණු ආයුධයෙන් පහර කෑ ගුවන් නියමුවා, පසුව කපිතාන් ස්මිත් මච්චාර් ලෙස හඳුනා ගන්නා ලදී.

මෝදි සහ ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

බරපතළ තුවාල ලබා සිටිය ද, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ මච්චාර් "අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අප්‍රතිහත ධෛර්යයක් සහ නොසැලෙන අධිෂ්ඨානයක් පෙන්නුම් කළ" බව ය.

"ඔහුගේ වීරත්වය සිය ගණනකගේ ජීවිත බේරා ගැනීමටත්, විශාල ඛේදවාචකයක් වළක්වා ගැනීමටත් උපකාරී විය," යනුවෙන් ඔහු Xහි තැබූ සටහනක සඳහන් කළේ ය. කපිතාන් මච්චාර් ඉක්මනින් සුවය ලබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් කපිතාන් මච්චාර්ගේ "අසාමාන්‍ය ධෛර්යය සහ, බරපතළ අනතුරක් ඉදිරියේ පවා පෙන්නුම් කළ විශිෂ්ට සිහිබුද්ධිය" අගය කරමින් ප්‍රශංසා කළේ ය. ඔහුගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට හැකි වූ බවද ජයිශංකර් සඳහන් කළේ ය.

ධවල මන්දිරයේ මාධ්‍යවේදීන් අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, "එම ගුවන් නියමුවා ඉතා බරපතළ තත්ත්වයක සිටි" නමුත් ප්‍රහාරය අතරතුර නියමු මැදිරියේ දොර විවෘත කිරීමට තරම් සිහිබුද්ධියක් ඔහුට තිබූ බව ය.

"අදහාගත නොහැකි දෙයක්. එක් අතකින් බැලූ විට ඔහු වීරයෙක්. එම දොර විවෘත කිරීමට ඔහුට හැකි වුණා. ඔහු තුවාල ලබා ඉන්න අවස්ථාවකදීත් නියමු මැදිරියේ දොර විවෘත කර තැබීමට හැකි වුණා," යැයි ට්‍රම්ප් පැවසීය.