ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකය කැළඹූ PHP ගැටලුව කුමක් ද? එය ලොව පුරා සයිබර් ආරක්ෂණ හදිසි අවදානමක් ඇති කළේ ඇයි?
- Author, ඔස්මන්ඩ් චියා
- Role, ව්යාපාරික වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉන්ටර්නෙට්හි බොහෝ සේවාවන් සහ පද්ධති පදනම් කර ගත් තාක්ෂණයේ පැවති බරපතළ දුර්වලතා හඳුනාගෙන තිබුණේ නැත.
එම දෝෂ අනාවරණය කිරීමට හැකි වූයේ, කෘත්රිම බුද්ධිය (AI) හරහා වන අතර, එය ලොව පුරා සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක් නිර්මාණය කළේ ය.
මෙම දුර්වලතා පවතින්නේ, වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා 2000 දශකයේ සිට ජාත්යන්තර වශයෙන් භාවිත කෙරෙන PHP නම් ප්රෝග්රමිං ලැංවේජ් එක තුළ ය.
මෙම අනාවරණයෙන් ඇති වූ බලපෑම් පාලනය කිරීමට ලොව පුරා ආණ්ඩු සහ සයිබර් ආරක්ෂණ ආයතන බදාදා දිනයේ උත්සහ කරමින් සිටි අතර, වෙබ් අඩවි ක්රියාකරුවන්ට හදිසි යාවත්කාලීන කිරීමක් කරන ලෙස හෝ තම වේදිකා තාවකාලිකව අක්රීය කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ද උපදෙස් දී තිබේ.
මෙම දුර්වලතා සොයා ගත් පර්යේෂකයන් සිටින සමාගම්වලින් එකක් වන සයිබර් ආරක්ෂණ සමාගමක් වන 'Wiz', මෙම දෝෂ හැඳින්වූයේ, කෘත්රිම බුද්ධිය (AI) මගින් මෙතෙක් හඳුනාගෙන ඇති "වඩාත් ම බරපතළ" දෝෂ ලෙස යි.
මෙම දෝෂ සොයා ගැනීම සඳහා තාක්ෂණය යොදා ගැනුණු OpenAI ආයතනය, මෙම සොයාගැනීම හැඳින්වූයේ "මෑත කාලීනව හමු වූ, වඩාත් ම බලපෑම්සහගත ආරක්ෂක ගැටලුවක්" ලෙස ය.
දෝෂය කුමක් ද?
PHP යනු Hypertext Preprocessor යන නාමයේ කෙටි යෙදුමයි. බොහෝ දෙනෙකු ඒ පිළිබඳව අසා නොතිබිය හැකි වුව ද, ඔවුන් දිනපතා ම එය සමග ක්රියාකරයි.
ඉන්ටර්නෙට් ඔස්සේ ක්රියාත්මක වන භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවි, විකිපීඩියා සහ බ්ලොග් වැනි බොහෝ වෙබ් අඩවි පවත්වාගෙන යාම සඳහා භාවිත වන WordPress අන්තර්ගත කළමනාකරණ පද්ධතිය ඇතුළු වේදිකා විශාල සංඛ්යාවක් PHP භාවිත කරයි.
Gorilla Cyber Security සමාගමේ ප්රධාන විධායක නිලධාරී පෝල් ස්පේන් බීබීසීයට පැවසුවේ, ඔබ විකිපීඩියා වැනි වෙබ් අඩවියක් වෙත පිවිසෙන විට ඔබට අවශ්ය තොරතුරු එකතු කර කියවිය හැකි ආකාරයෙන් ඉදිරිපත් කරන කේතය PHP බව ය.
නමුත් සත්යාපනයකින් තොරව බලපෑමට ලක්වූ වෙබ් සේවාදායකයන් පාලනයට ගෙන සංවේදී දත්ත සොරකම් කිරීමට ප්රහාරකයන්ට ඉඩ සලසන දෝෂයක් හේතුවෙන් PHP මත ගොඩනගා ඇති සියල්ල අවදානමට ලක් විය.
AI මගින් එවැනි ප්රහාර වඩාත් පහසු හා වේගවත් කළ හැකි බව ස්පේන් පැවසූ අතර, මෙම දෝෂය වෙබ් අඩවි "මිලියන ගණනකට" බලපෑ හැකි බව ඔහු ඇස්තමේන්තු කළේ ය.
හැකර්වරුන් හෝ රටවල් මෙම දෝෂය ප්රහාරක අරමුණු සඳහා භාවිත කර වෙබ් අඩවිවල පෞද්ගලික දත්ත අත්පත් කර ගතහොත් එය "ව්යසනකාරී" වනු ඇතැයි ඇඩිලේඩ් විශ්වවිද්යාලයේ සයිබර් ආරක්ෂක පර්යේෂක ජිල් ස්ලේයි පැවසුවා ය.
බලපෑමට ලක්වූ වෙබ් අඩවි මොනවා ද?
මෙම අනතුරු ඇඟවීම හේතුවෙන් ගේමිං ප්ලැට්ෆෝම්වල සිට රාජ්ය වෙබ් අඩවි සහ ඉන්ටර්නෙට් සංවාද මණ්ඩප දක්වා වූ සේවාවන් ලොව පුරා බලපෑමට ලක්ව ඇත.
මීට 'විකිමීඩියා' ද ඇතුළත් වේ. මෙය ඉන්ටර්නෙට් විශ්වකෝෂයක් වන 'විකිපීඩියා' පවත්වාගෙන යන සංවිධානය වන අතර, ඔවුහු පූර්වාරක්ෂක පියවරක් ලෙස තම පද්ධති කිහිපයක් අක්රිය කිරීමට කටයුතු කළහ.
ෆින්ලන්ත රජය, එඩින්බරෝ කවුන්සිලය සහ බීබීසී විසින් වෙබ් අඩවි සහ පිටු ඉන්ටර්නෙට් වෙතින් ඉවත් කරනු ලැබ ඇති අතර, නෙදර්ලන්තයේ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ද ඔවුන්ගේ වෙබ් අඩවිය ඉවත් කර තිබේ.
ස්කොට්ලන්තයේ ප්රාදේශීය සභා සහ සෞඛ්ය මණ්ඩල ඇතුළු රාජ්ය ආයතන රැසක් ද සිය වෙබ් අඩවි අක්රීය කර ඇත.
ඇතැම් විශේෂඥයන් අනතුරු අඟවන්නේ, ආරක්ෂණ ක්රමවේද සීමිත කුඩා ආයතනවලට අයත් හා නිසි ලෙස නඩත්තු නොකෙරෙන වෙබ් අඩවි මෙම දෝෂය හේතුවෙන් වැඩි අවදානමකට ලක් විය හැකි බව ය.
UNSW Sydney හි සයිබර් ආරක්ෂක පර්යේෂක සලීල් කන්හේරේ පැවසුවේ, මෙම දෝෂවල තාක්ෂණික විස්තර දැන් ප්රසිද්ධියට පත් වෙමින් පවතින බැවින් ඉදිරි සති කිහිපය තුළ එම දෝෂවලින් ප්රයෝජන ගැනීමට තවත් උත්සහයන් දැරීමට ඉඩ ඇති බව ය.
දෝෂ අනාවරණය වූ පසු සිදුවූයේ කුමක්ද?
PHP වේදිකාවේ සංවර්ධකයන් බදාදා දිනයේදී වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ මෘදුකාංගයේ සැඟවී තිබූ මෙම දෝෂ නිවැරදි කිරීම සඳහා යාවත්කාලීන නිකුත් කළහ.
"සියලු PHP භාවිත කරන්නන් වහා ම යාවත්කාලීන කරන ලෙස දැඩි ලෙස දිරිගන්වනු ලැබේ," යැයි සමාගම ප්රකාශ කළේ ය.
ලොව පුරා බලධාරීන් සහ ආරක්ෂක සංවිධාන ද වෙබ් අඩවි ක්රියාකරුවන්ට ඔවුන්ගේ වේදිකා සුරක්ෂිත කරන ලෙස එම අනතුරු ඇඟවීම් හරහා නැවත අවධාරණය කර ඇත.
අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) PHP භාවිත කරන සියලු ආයතන වෙත උපදෙස් දී ඇත්තේ, වහා ම යාවත්කාලීන කළ නොහැකි නම් සිය පද්ධති අක්රීය කරන ලෙස ය. එම දෝෂය පද්ධතියක දත්ත ගබඩාව වෙත ඍජුව ප්රවේශ වීමට මගක් සලසන බව ද එම ආයතනය සඳහන් කළේ ය.
"මෙම අවදානම් කෙතරම් බරපතළ ද යත්, එක්සත් ජනපද රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන පුරා වහා ම නිවැරදි කිරීම අවශ්ය වේ," යැයි එම ආයතනය පැවසීය.
එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂක මධ්යස්ථානය ද ඒ හා සමාන උපදෙස් ලබා දුන් අතර, "ප්රහාරකයෙකු විසින් ස්ථාපනය කරන ලද රහසිගත ප්රවේශ" පවතී දැයි පරීක්ෂා කර බලන ලෙස ආයතනවලට දැනුම් දී තිබේ.
යුරෝපා සංගමය, සිංගප්පූරුව සහ ඔස්ට්රේලියාව යන රටවල ඊට අදාළ ආයතන ද මෙවැනි ම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ජපාන අගමැති සනයි තකයිචි මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ ප්රසිද්ධ වෙබ් අඩවි ක්රියාත්මක වන්නේ PHP මගින් ද යන්න පරීක්ෂා කර බලන ලෙස ය.
"අද රාත්රියේ ම ක්රියාමාර්ග ගන්න කියලා අපි සියලු දෙනාගෙන් හදිසි ඉල්ලීමක් කරනවා," යැයි තකයිචි X සමාජ මාධ්යයේ සටහනක් තබා තිබිණි.
"දෝෂ නිවැරදි කිරීමේ යාවත්කාලීන යෙදීම වහා ම යෙදීම අපහසු නම්, වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීම සහ ඒ හා සමාන පියවර ගැනීම අවදානම අවම කරගැනීම සඳහා ඵලදායී ක්රමයක් ලෙස සැලකිය හැකි ය," යැයි ඇය පැවසුවා ය.
තාක්ෂණික සමාගම් ද සිය පද්ධති සුරක්ෂිත කර ගැනීමට වේගයෙන් ක්රියා කරමින් සිටී.
ඊ-වාණිජ්ය ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන Amazon පැවසුවේ, PHP ගැටලුව ප්රසිද්ධියේ හෙළිදරව් කිරීමට දින කිහිපයකට පෙර තමන් කිහිප වතාවක් ඉලක්ක කර ගත් බව ය. ප්රහාරකයන් මෙම අවදානම පිළිබඳ කෙසේ දැන ගත්තේ ද යන්න ඔවුහු නොදනිති.
කෘත්රිම බුද්ධිය මෙම දුර්වලතා සොයා ගන්නේ කෙසේ ද?
මෙම දෝෂ අනාවරණය කර ගනු ලැබුවේ, Calif සහ Wiz ආරක්ෂක සමාගම්වල පර්යේෂකයන් විසිනි.
ඔවුන් භාවිත කළේ, මිනිසුන්ට හෝ පැරණි පද්ධතිවලට වඩා වේගයෙන් කේත විශ්ලේෂණය කර දෝෂ හඳුනාගත හැකි උසස් කෘත්රිම බුද්ධි මෙවලම් ය.
"නූතන මෘදුකාංග අතිශය සංකීර්ණ වන අතර, ඇතැම් දුර්වලතා වසර ගණනාවක් යනතුරු හඳුනා නොගෙන පැවතිය හැකි ය," යැයි කන්හේරේ පැවසීය.
"මූලික දෝෂ අලුත් ඒවා නොවේ. වෙනස් වුණේ ඒවා සොයා ගැනීමට අපට ඇති හැකියාව යි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සොයාගැනීම පිළිබඳ තොරතුරු මේ සතියේ ඉන්ටර්නෙට් හරහා හෙළි වූ අතර, ඒ හේතුවෙන් PHP වේදිකාවේ සංවර්ධකයින්ට එම ආරක්ෂක දෝෂය සහ එහි දැවැන්ත පරිමාණය පිළිබඳ නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට සිදුවිය.
OpenAI සමාගම බ්ලොග් සටහනක සඳහන් කළේ, මෙම සිදුවීම "කෘත්රිම බුද්ධිය මගින් ආරක්ෂක දෝෂ හඳුනාගත හැකි ආකාරය" පෙන්වා දෙන අතර ම, "ප්රහාරකයන්ට ඉක්මනින් ප්රහාරක මෙවලම් සහ භාවිත කිරීම් වර්ධනය කිරීමට ද උපකාර කළ හැකි ආකාරය" ද පෙන්නුම් කරන බව ය.
ChatGPT නිර්මාණය කළ එම සමාගම PHP වේදිකාව ආරක්ෂිත ද යන්න පරීක්ෂා කිරීම සඳහා වැඩසටහනක් ද නිකුත් කළ බව පැවසීය.
මෙම දෝෂ බොහොමයක් ඇති වී තිබෙන්නේ, අතීතයේ මෘදුකාංග නිර්මාණය කළ ආකාරය නිසා ය; එනම්, එකල මෘදුකාංග ගොඩනැගුණේ ක්රියාකාරීත්වය ඉලක්ක කරගෙන මිස, ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් නොවේ," යැයි ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්යාලයේ සයිබර් පර්යේෂණ මධ්යස්ථානයේ රයන් කෝ පැවසීය.
ජනතාවට තමන්ගේ වෙබ් අඩවි ආරක්ෂා කර ගත හැක්කේ කෙසේ ද?
වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, PHP හි නවතම අනුවාදය භාවිත කරමින් තම වෙබ් අඩවි සුරක්ෂිත කර ගන්නා ලෙස ය.
PHP මෘදුකාංග පැච් (patch) එක බොහෝ තාක්ෂණික කණ්ඩායම් සඳහා කුඩා, සාමාන්ය නිවැරදි කිරීමක් බව ස්පායින් පැවසීය.
ඉදිරි සතිවලදී "වැඩි අවධානයකින්" පසුවන ලෙසත්, මෘදුකාංග සැපයුම්කරුවන්ගේ යාවත්කාලීන කිරීම් සමීපව නිරීක්ෂණය කරන ලෙසත් අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය උපදෙස් දී ඇත.
"එම පද්ධතිවලට අදාළ යාවත්කාලීන කිරීම් යෙදවීමේදී අතිශය සැලකිලිමත් වීම අත්යවශ්ය යි," යැයි එම ආයතනය පවසයි.
මෙහි ප්රධාන වගකීම වෙබ් අඩවි ක්රියාකරුවන් සතු වුව ද, මුරපද වෙනස් කරන ලෙස කෙරෙන ඉල්ලීම් වැනි, අදාළ සේවාවන් මගින් නිකුත් කරනු ලබන ආරක්ෂක උපදෙස් පිළිබඳව පරිශීලකයින් ද අවධානයෙන් සිටිය යුතු බව කන්හේරේ පැවසීය.
මෙම සිදුවීම වටා ඇති ප්රසිද්ධිය ප්රයෝජනයට ගනිමින් එවන ඕනෑ ම 'ෆිෂිං' (phishing) පණිවිඩයක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔහු ජනතාවට අනතුරු ඇඟවීය.