ඇප ඉල්ලූ චාමර සම්පත් ගැන කොළඹ මහේස්ත්‍රාත් ගත් තීරණය

චාමර සම්පත්
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැ: 20) ප්‍රතික්ෂේප කළේ ය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස්. බෝදරගම පැවසුවේ, දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව ය.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

අධිකරණයේදී සිදුවූ දේ

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයා වන සුමතිපාල ලියනාරච්චි වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි විසින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබී ය.

ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මුල් බී වාර්තාව සහ අවසාන වැඩිදුර වාර්තාව අතර පවතින කරුණු එකිනෙකට පරස්පර බව ය.

එසේ ම මෙම අල්ලස් මුදල ලබා දුන් බව කියන දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් අල්ලස් කොමිසම විසින් ඉකුත් වසරේ ජූනි මස 24 වන දා අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගත් බවත්, එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා මෙම මුදල් පළමු වන සැකකරුට ලබා දී තිබෙන්නේ චාමර සම්පත් දසනයකගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධනයට බවට සඳහන් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එම කරුණ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇතුළත් කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ ඉදිරිපත් කළ සහතිකය නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නේ ය.

ඒ අනුව අදාළ කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

නමුත්, එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් පසු දින ම ඔහු විදේශගත වී තිබෙන බවත්, මෙම නඩුකරයට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් පැවසීය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය මෙම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර නොහැකි බවත්, එය සිදු කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පමණක් බවත් මෙහිදී සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සුමතිපාල ලියනආරච්චි නමැති සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වන දා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළේ ය.

ෆොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් 3කට අවශ්‍ය බලපත්‍ර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක, ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුමතිපාල ලියනආරච්චි ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.