හිටපු ඇමති චාමර සම්පත් රිමාන්ඩ්: අධිකරණයේදී හෙළි වූ කරුණු මොනවා ද?

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්ෆේට් අපනයන බලපත්‍ර ලබා දීම සඳහා පෞද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබා ගැනීම ඇතුළු අල්ලස් ලබා ගැනීමේ සිද්ධි 5ක් සම්බන්ධයෙන් සැකපිට චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
පැමිණිල්ලේ කරුණු දැක්වීම්
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, " ස්වාමීනි... මෙම සැකකරු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළ අවධියේ නියමිත පටිපාටියට බැහැරව පුද්ගලික සමාගම් දෙකකට පොස්ෆේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා," යනුවෙන් සඳහන් කළා ය.
ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි...ලංකා පොස්ෆේට් සමාගම පොස්ෆේට් අපනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ සිදු කරන ලෙස විෂය භාර අමාත්‍යංශයේ ලේකම් උපදෙස් ලබා දී තිබෙනවා. එසේ තිබියදී D.M. Traders සමාගමට සහ තිසරු ඉන්ටර්නැෂනල් යන සමාගම්වලට පොස්ෆේට් අපනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදෙන ලෙස භූ විද්‍යා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයාට මෙම සැකකරු බලපෑම් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී සැකකරු මෙම බලපෑම සිදුකර ඇති බවටත් තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙම බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් D.M. Traders සමාගම විසින් රුපියල් ලක්ෂ 22ක් සහ තිසරු ඉන්ටර්නැෂනල් සමාගම විසින් රුපියල් ලක්ෂ 59ක මුදලක් මෙම සැකකරුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තාගේ ගිණුමට බැර කර තිබෙනවා. එසේ ලබා දුන් මුදල් මෙම සැකකරුගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබෙන බවට ඔහුගේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව මෙම විමර්ශන ආරම්භ විමෙන් පසු මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා D.M. Traders සමාගමේ ප්‍රධානියාට වට්ස්ඇප් දුරකතන ඇමතුමකින් කතා කර අදාළ මුදල් ලබා දුන්නේ අල්ලස් වශයෙන් නොවන බවට සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලා තිබෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කරනවා. මේ අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා. විමර්ශන කටයුතු අවසන් නෑ."
ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේදී විමර්ශන නිලධාරිය වෙත ප්‍රශ්නයක් යොමු කළ මහෙස්ත්‍රාත්වරයා "භූවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට මෙම සැකකරු විසින් බලපෑම් සිදු කළ බව ප්‍රකාශ වුණා. ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා ද? යනුවෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා, "ස්වාමීනි...තවම ප්‍රකාශයක් සටහන් කරගෙන නෑ. නමුත් වෙනත් විමර්ශනයකදී අනාවරණය වෙලා තිබෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රැස්වීමේදී මෙම සැකකරු බලපෑම් සිදුකර ඇති බව," යනුවෙන් සඳහන් කළේ ය.
විත්තියේ කරුණු දැක්වීම්
අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි... මෙම සැකකරු අල්ලස් ලබා ගත් බවට කිසිදු සාක්ෂිකරුවෙකු ප්‍රකාශ කර නෑ. මෙය මෙම සැකකරුගේ අමාත්‍යංශයට සම්බන්ධ කටයුත්තක් නෙවෙයි. ඔහු රාජ්‍ය අමාත්‍යවරයා පමණ යි. ඔහුට ඉහළින් රේඛීය අමාත්‍යවරයෙක් සිටිනවා. බලපත්‍ර නිකුත් කළ සමාගම් තෝරා ගත්තේ මෙම සැකකරු නොවෙයි. කමිටුවකින් තමයි එම තෝරා ගැනීම සිදු කළේ," යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකු වන බව දන්වමින්, ඊට අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.
ඒ අනුව, සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින්, "මේ අවස්ථාවේදී අධිකරණයට අල්ලස් කොමිසම විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී අධිකරණය සලකා බලන්නේ මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබේ ද යන කරුණු සම්බන්ධයෙන් පමණ යි. මේ අවස්ථාවේදී සැකකරු වරදකරු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබීම අවශ්‍ය නෑ. කෙසේ වෙතත්, දැනට ඉදිරිපත් කර තිබෙන කරුණු මත මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් අධිකරණය සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙනවා. එසේ ම අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරල්වරයා විසින් මෙම නඩුකරයට අදාළව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඇප මත සැකකරු මුදා හැරීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරිම අවශ්‍ය යි. නමුත් මෙම සැකකරු විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා තුළින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවොත් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න විය හැකි බවට සෑහීමකට පත් විය හැකි බවට වාර්තා ඉදිරිපත් වී නෑ."
ඒ අනුව සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති නිසා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.


































