එල් නිනෝ සක්‍රීය වෙයි: දරුණු කාලගුණික විපර්යාස ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images
- Author, මැට් මැක්ග්‍රාත්
- Role, පරිසර වාර්තාකරු
- Author, සයිමන් කිං
- Role, ප්‍රධාන කාලගුණ නිවේදක
- Author, මාක් පොයින්ටින්
- Role, දේශගුණ වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
එල් නිනෝ නැමැති ගෝලීය උෂ්ණත්වය වැඩි කරන ස්වභාවික පැසිෆික් කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.
පැසිෆික් සාගරයේ නිවර්තන කලාපයේ එල් නිනෝ තත්ත්වයන් ආරම්භ වී ඇති බව එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) නිවේදනය කර ඇත්තේ මෑත මාසවලදී මුහුදු මතුපිට උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක යි.
බොහෝ අනාවැකිවලින් පෙනී යන්නේ මෙම එල් නිනෝව පැවසෙන පරිදි ම "සුපිරි" එල් නිනෝවක් විය හැකි බවත්, එය මෙතෙක් වාර්තා වී ඇති ප්රබලතම එකක් විය හැකි බවත්ය.
දශක ගණනාවක් තිස්සේ මිනිසුන් විසින් ම ඇති කරන ලද ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග, බොහෝ විට 2027 වසර තවත් වාර්තාගත උණුසුම් වසරක් වීමට ඉඩ ඇති අතර, එය එම වසර පුරා කාලගුණික රටා, ආහාර සැපයුම් සහ ආර්ථිකයන්ට බාධා ඇති කළ හැකි ය.
NOAA (ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය) හි නිවේදනය අනපේක්ෂිත එකක් නොවේ. මෙම වසර මුලදී ලා නිනා හෙවත් සිසිල් "සහෝදර" කාලගුණ රටාව අවසන් වීමෙන් පසු මෙම උණුසුම් අවධිය ගැන අනාවැකිකරුවන් ඒ වන විටත් පුරෝකථනය කර තිබිණි.
මධ්‍යම සහ නිවර්තන පැසිෆික් කලාපයේ මුහුදු ජලයේ මතුපිට උෂ්ණත්වය මේ වන විට ඇමරිකානු විද්‍යාඥයින් එල් නිනෝ සිදුවීමක් අර්ථ දැක්වීමට භාවිතා කරන සාමාන්‍ය සීමාවට වඩා සෙල්සියස් අංශක 0.5 ඉක්මවා ගොස් ඇත.
"පසුගිය මාසය තුළ එල් නිනෝ තත්ත්වයන් කෙමෙන් වර්ධනය වීමත් සමග, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගරය පුරා මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ ගියා," ඒජන්සිය පැවසීය.
NOAA කාලගුණ ඒජන්සිය සමකාසන්න පැසිෆික් සාගරයට ඉහළින් ඇති සුළං වල වෙනස්කම් ද නිරීක්ෂණය කර ඇත. මෙය සාගරය තනිවම උණුසුම් වීම පමණක් ම නොව, දැන් වායුගෝලය උණුසුම් වූ සාගරයට ප්‍රතිචාර දක්වමින් සිටින බවට ද ලකුණකි.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පර්යේෂකයන් පුදුමයට පත් කර ඇති කරුණක් වන්නේ මෙම එල් නිනෝවේ ශක්තිය පිළිබඳව පරිගණක ආකෘති දැනටමත් පෙන්නුම් කොට ඇති ඉහළ මට්ටමේ විශ්වාසය යි.
එල් නිනෝවක තීව්‍රතාවය මනිනු ලබන්නේ පැසිෆික් සාගරයේ ප්‍රධාන කලාපයක මුහුදු ජලයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා කෙතරම් දුරට ඉහළ යනවා ද යන්න මත ය.
සාමාන්‍යයට අගයට වඩා සෙල්සියස් අංශක 1.5කට වැඩි උෂ්ණත්වයක් ප්‍රබල තත්ත්වයක් ලෙස අර්ථ දැක්වෙන අතර, සෙල්සියස් අංශක 2ට වැඩි තත්ත්වය ඉතා ප්‍රබල සිදුවීමක් ලෙස අර්ථ දැක්වේ.
"නොවැම්බර්-ජනවාරි කාලය තුළ ඉතා ප්‍රබල එල් නිනෝවක් ඇතිවීමේ සම්භාවිතාව 63%ක් වන අතර, එය 1950 දක්වා දිවෙන ඉතිහාසයේ විශාලත ම එල් නිනෝ සිදුවීම් අතරට එකතු වනු ඇති," බවට NOAAහ ජූනි මාසයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.
එතැන් සිට ඇති වූ ප්‍රබලම සිදුවීම් තුන 1982/83, 1997/98 සහ 2015/16 යන වර්ෂවල සිදු වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය (ECMWF) නවතම ආකෘතිවලින් සමහරක් තවත් ඉදිරියට යමින් පෙන්වා දෙන්නේ වසර අවසන් වන විට නිවර්තන පැසිෆික් කලාපයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 3ට වැඩියෙන් ඉහළ යා හැකි බව යි.
කෙසේ වෙතත්, සිදුවීමේ ප්‍රබලත්වය පිළිබඳ එහි අනාවැකියේ තේරුම අර්ථ නිරූපණය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස එක්සත් ජනපද ඒජන්සිය උපදෙස් දී තිබේ.
"ඉතා ප්‍රබල එල් නිනෝ සිදුවීම් පවා සෑම තැනක ම අපේක්ෂිත බලපෑම් ඇති නොකර යි. කෙසේ වෙතත්, ප්‍රබල සිදුවීම් අපේක්ෂිත ප්රතිඵලවල සම්භාවිතාව වැඩි කළ හැකි යි."
කෙසේ වෙතත්, වඩාත් කනස්සල්ලට කරුණ නම්, මේ සියල්ල සිදුවන්නේ සාමාන්‍යයට වඩා දැනටමත් අප ග්‍රහලෝකය බොහෝ උණුසුම් වී ඇති පසුබිමකයි.
"අපි බලපෑම් ගැන කනස්සල්ලට පත් විය යුතු යි," එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ මාසයක සිට දශකයක් දක්වා වන අනාවැකි පවසන අංශයේ ප්‍රධානී මහාචාර්ය ඇඩම් ස්කයිෆ් පැවසීය.
"වර්තමාන එල් නිනෝ තත්ත්වය...ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සැලකිය යුතු මට්ටමකට මුහුණ දෙමින් සිටියදී ම එන එකක්."
"මෙයින් අදහස් කරන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් එල් නිනෝ නිසා ඇති වන උණුසුම තවදුරටත් වැඩි වන බැවින්, බලපෑමට ලක් වූ කලාපවල උෂ්ණත්වය වාර්තාගත මට්ටම් කරා ළඟා විය හැකි බව."
ඉතා ප්‍රබල එල් නිනෝවක් සාමාන්‍යයෙන් සාගරයෙන් තාපය වායුගෝලයට මුදා හැරීමෙන් ගෝලීය වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.2 කින් පමණ වැඩි කරයි. මෙම අතිරේක උණුසුම දැන් පැමිණෙන්නේ ලෝකය දැනටමත් වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් අත්විඳිමින් සිටින අවස්ථාවක ය.
වාර්තාගත උණුසුම් ම වසර වූ 2024 වර්ෂය, එතරම් ප්‍රබල නොවූ එල් නිනෝ සිදුවීමක් මගින් විශේෂයෙන් ම උණුසුම් විය.
ලා නිනා සිදුවීමක සිසිල් බලපෑම තිබියදීත්, 2025 තවමත් වාර්තාගත තුන්වන උණුසුම්ම වසර වී ඇති අතර, එය 2016 ඉතා ප්‍රබල එල් නිනෝවක් ඇති වූ වර්ෂයේදී වාර්තා වූ උෂ්ණත්වයන්ට වඩා ඉහළ ගියේ ය.
"මේ වසර අවසානයේ සහ 2027 වසර වන විට, ගෝලීය වශයෙන් ඉතා ඉහළ උෂ්ණත්වයක් අපට දැකගත හැකි යි," මහාචාර්ය ස්කයිෆ් පැවසීය.
"2027 දී, අපට දැනටමත් තියෙන ගෝලීය උණුසුමට අමතරව අතිරික්ත උෂ්ණත්වයක් එන්න පුළුවන්, ඒක පහසුවෙන් තවත් වසරක් අංශක 1.5ට වඩා [19 වන සියවසේ අගභාගයේ මට්ටම්වලට වඩා උණුසුම් වීමක්] ඇති කළ හැකි යි."

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
එල් නිනෝ සංසිද්ධි දෙකක් එක සමාන නොවේ, නමුත් ඒවායේ බලපෑම් සාමාන්‍යයෙන් වඩාත් ප්‍රබල ලෙස දැනෙන්නේ නිවර්තන කලාපවලට ය.
පේරුහී උතුරු කොටසේ සහ දකුණු ඉක්වදෝරයේ ගංවතුර සුලබ වන අතර නැගෙනහිර අප්‍රිකාවේ, මධ්‍යම ආසියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිගට වන්නට මෙයින් බලපෑම් ඇතිවිය හැකිය.
ඒ සමග ම, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ දකුණු ඇමරිකාවේ උතුරු ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවල නියඟ සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යන අතර එය කෘෂිකර්මාන්තයට සහ ගෝලීය ආහාර සැපයුමට බලපායි.
එල් නිනෝ සාමාන්‍යයෙන් අත්ලාන්තික් සාගරයේ කුණාටු සංඛ්‍යාව සහ ප්‍රබලතාවය අඩු කරන අතර, කාලගුණ අනාවැකිකරුවෝ දැනටමත් සාමාන්‍යයට වඩා නිහඬ කුණාටු සමයක් පුරෝකථනය කරමින් සිටිති.
"ඒක හොඳ දෙයක් වගේ පෙනුණත්, මධ්‍යම ඇමරිකාවට ඒකෙන් ගොඩක් අඩු වර්ෂාපතනයක් සහ නියඟ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්," රීඩින් විශ්වවිද්‍යාලයේ දේශගුණික අවදානම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ මහාචාර්ය ලිස් ස්ටීවන්ස් පවසයි.
එක්සත් රාජධානිය පවා බලපෑමට ලක්ව ඇති නමුත් ඒ සුළු වශයෙන් පමණි. එය ශීත ඍතුවේ මෘදු ආරම්භයක් සහ ඍතුව වඩාත් සීතල අවසානයක් දක්වා ගෙන යාමේ සම්භාවිතාව වැඩි කළ හැකි නමුත්, එහි ඇති සම්බන්ධතාවය දුර්වල ය. බොහෝ දෙනෙකුට, මෙම අනාවැකි සැබෑ ජීවිතයේදී වැදගත් ය.
"එල් නිනෝ ප්‍රකාශයට පත් කිරීමක් කියන්නේ කාලගුණ අනාවැකියකට වඩා වැඩි දෙයක්. මිලියන ගණනක් ජනතාවට එය බරපතල අනතුරු ඇඟවීමකි," පවර් ෂිෆ්ට් හි අප්‍රිකා ප්රචාරක කණ්ඩායමේ අධ්යක්ෂ මොහොමඩ් ඇඩෝව් පැවසීය.
"එයින් අදහස් වන්නේ අසාර්ථක වැසි කාලයන්, අස්වනු විනාශ වීම්, ආහාර මිල ඉහළ යාම සහ පවුල් නැවතත් අවදානමකට තල්ලු වෙනවා කියන එක. විශේෂයෙන් නැගෙනහිර අප්‍රිකාවේ, මේ නිසා මෑත වසරවල නියඟ හා ගංවතුරෙන් පීඩා විඳි ප්‍රජාවන්ට ආපහු බලපාන්න පුළුවන්."
ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය ද (JMA) එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වී ඇති බව විශ්වාස කරයි. සරත් කාලය පුරා ම මෙම තත්ත්වයන් පවතිනු ඇති බවට බොහෝ දුරට ස්ථිර බව එම ආයතනය පවසයි.
කෙසේ වෙතත්, සියලුම කාලගුණ ආයතන නිල වශයෙන් එල් නිනෝ සිදුවීමක් ප්‍රකාශයට පත් කර නැත. ඔස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) දැඩි ප්‍රමිතියක් භාවිතා කරන අතර එම ප්‍රකාශය කිරීමට පෙර මුහුදු ජලයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.8ට වඩා වැඩි විය යුතු ය.
මේ සතියේ ඔවුහු පැවසුවේ පැසිෆික් සාගරයේ නිවර්තන කලාපය"එල් නිනෝ තත්ත්වයන්ට ළඟා වෙමින් පවතින" බවත්, මධ්‍යම පැසිෆික් සාගරයේ උෂ්ණත්වය දැනටමත් එහි සීමාවන් ඉක්මවා යන බවත් ය. නමුත් මේ තත්ත්වය ආරම්භ වී ඇති බව විධිමත් ලෙස ඔවුන් ප්‍රකාශ කර නොමැත.
මෙම වසර අගදී එල් නිනෝ තත්ත්වය වර්ධනය වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරන අතර එය ශක්තිමත් විය හැකි බව ද පවසයි.
එල් නිනෝව සෑම වසර දෙකක සිට හතකට වරක් සිදුවන අතර සාමාන්‍යයෙන් වසරක් පමණ පවතී.
දේශගුණික විපර්යාස මෙම සිදුවීම් නිතර සිදුවීමට හෝ ශක්තිමත් වීමට හේතු වන බවට තවමත් පැහැදිලි සාක්ෂි නැත. කෙසේ වෙතත්, උණුසුම් ලෝකයකට මෙම සිදුවීම්වල බලපෑම වැඩි කළ හැකි ය.
අතිරේක වාර්තාකරණය අර්වන් රිවෝල්ට් විසිනි.


































