ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චමරි අතපත්තු: 'මගේ අන්තිම අවස්ථාවත් නැති වුණා වගේ දැනෙනවා'
ලෝක කුසලාන කාන්තා T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගය අද (ජූනි 23) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත ය.
අයර්ලන්තය සමග අද පැවැත්වෙන තරගය මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවන තවත් තීරණාත්මක තරගයකි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පසුගිය ඉරිදා (ජුනි 21) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට පිවිසීමට ඇති අවස්ථාව සීමිත වී තිබේ.
'පරාජයේ වගකීම මම භාර ගන්න ඕන' - චමරි
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදීව අදහස් පළ කර තිබිණි.
ඒ අනුව, තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් චමරි අතපත්තු පැවසුවේ, ICC කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට තමන්ට තිබූ අවස්ථාව තමන් අතින් ගිලිහී ගිය බව ය.
"ඇත්තට ම ඒක වචනවලින් කියන්න බැරි දුකක්. මම හිතන්නේ මම ජාතික කණ්ඩායම වෙනුවෙන් අවුරුදු 18ක් විතර ක්‍රීඩා කළා, මගේ කණ්ඩායම ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට ගෙනියන්න මට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නැහැ," එහිදී චමරි පැවසුවා ය.
'මම මගේ උපරිමය කළා'
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉරිදා (ජුනි 21) පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 98කට දැවී ගිය අතර එහිදී චමරි අතපත්තු රැස් කළේ ලකුණු දෙකක් පමණි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන් නායකයෙකු ලෙස අසාර්ථක වූ බව ය.
"මම පෞද්ගලිකව බොහෝ දේ අත්පත් කරගෙන තිබුණත්, නායකයෙකු විදිහට මම අසාර්ථක යි කියලා මම හිතනවා. මොක ද ඒක ක්‍රීඩකයෙකුට ලොකු වේදනාවක් කියලා මම දන්නවා. ඇත්තට ම, දැන් මට ඒ වේදනාව දරාගන්න වෙනවා."
"මම හිතන්නේ මම මගේ උපරිමය කළා, මම හිතන්නේ මම මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කළ යුතුව තිබුණා, අද මම මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කළා නම්, අපට අද තරගය ජය ගන්න තිබුණා. ඉතින්, මම ඒ ගැන කනගාටු වෙනවා. විශේෂයෙන් මම කාටවත් දොස් කියන්න කැමති නැහැ. ක්‍රීඩකයෙක් විදිහට, කණ්ඩායමේ නායකයා විදිහට සහ අත්දැකීම් වැඩියෙන් ම තියෙන ක්‍රීඩිකාව විදිහට මට වැඩි වගකීමක් තියෙනවා කියලා මම හිතනවා. මට ගොඩක් දුකයි, මගේ අන්තිම අවස්ථාවත් නැති වුණා වගේ දැනෙනවා."
ඉදිරි ක්‍රීඩා දිවිය ගැන චමරිගෙන් ප්‍රකාශයක්
2028 වසරේදී පකිස්ථානයේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ ද? යන්න පිළිබඳව චමරි අතපත්තු ඍජු අදහස් දැක්වීමක් සිදුකර නොතිබිණි.
"දැනට මට ඒ ගැන කිසි ම පැහැදිලි කිරීමක් කරන්න බැහැ, මොක ද මගේ වයසත් එක්ක දැන් මට අවුරුදු 36ක් වෙනවා. හැම දෙයක් ම තීරණය වෙන්නේ ශරීර යෝග්‍යතාවත් එක්ක. මගේ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක තබා ගන්න ඕන වගේ ම දක්ෂතාවන් ඉහළ මට්ටමක තබා ගන්න මම උපරිමයෙන් උත්සහ කරන්න ඕන. "
"කණ්ඩායමට අවශ්‍ය නම්, මම අනාගතයේදී ක්‍රීඩා කරනවා. නමුත් මගේ දක්ෂතාවන් වගේ ම ශරීර යෝග්‍යතා මට්ටම අනුව මම ක්‍රීඩා කරනවා ද නැද්ද කියලා තීරණය වේවි," ඇය වැඩිදුරටත් පැවසුවා ය.