අපි අපේ මුතුන්මිත්තන්ට වඩා උස ඇයි? ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය 3ක්

Collage on a purple graph-paper background showing a black-and-white vintage photo of a smiling factory worker holding a bottle of milk and a slice of bread, beside a taller modern young woman in a blue jacket with beaded braids and her arms crossed. A hand-drawn coral arrow zigzags upward behind them.
    • Author, කැතරීන් හීත්වුඩ්
    • Role, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඔබේ මුතුන්මිත්තන් (මුත්තලා සහ ආච්චිලා) සමඟ සසඳන විට ඔබ කොතරම් උසද? බොහෝ දුරට, ඔබ ඔවුන්ට වඩා සැලකිය යුතු ලෙස උස වීමට ඉඩ තිබේ.

Our World in Data පර්යේෂණ ප්‍රකාශනයට අනුව, ලොව පුරා අද වන විට සිටින තරුණ ප්‍රජාව සාමාන්‍යයෙන් මීට වසර 100කට පෙර සිටි ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වඩා සෙන්ටිමීටර 10ක් පමණ උසින් වැඩි ය.

1896 සහ 1996 වසරවල උපත ලැබූ පුද්ගලයින් සංසන්දනය කරමින් 2016 වසරේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ දකුණු කොරියානු කාන්තාවන් සහ ඉරාන පිරිමින් පිළිවෙලින් සෙන්ටිමීටර 20 කින් සහ සෙන්ටිමීටර 17 කින් වැඩි ම වර්ධනයක් පෙන්වා ඇති බව යි.

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අරවින්ද ගුන්ටුපල්ලි පවසන්නේ, මෙය ආහාර වේලෙහි වැඩිදියුණු වීම්, රෝගවල පසුබිම, එන්නත්කරණය සහ තවත් බොහෝ සාධක නිසා සිදු වූ බව ය.

නමුත් මිනිසාගේ උස පිළිබඳ කතාව සැමවිට ම සුමටව ඉහළයාමක් සිදුව නැත. වසර දහස් ගණනක් පුරාවට ආහාර රටාව, යුද්ධය, රෝගාබාධ සහ අනෙකුත් දැවැන්ත සමාජීය වෙනස්කම් අපගේ උස ප්‍රමාණයේ උච්ඡාවචනවලට හේතු වී තිබේ.

A photo of an elderly woman being helped by a younger woman as they walk along a paved alley in between houses in South Korea
ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව පුරා සිටින සෞඛ්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් 2016 වසරේදී සිදු කළ දත්ත විශ්ලේෂණයකින්, 20 වන සියවස තුළ දකුණු කොරියානු කාන්තාවන්ගේ උස සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 20කින් වැඩි වී ඇති බව සොයා ගත්හ

ඉතිහාසය දෙස බැලීමක්

වෙනත් ආකාරයේ ඓතිහාසික හෝ සංඛ්‍යානමය දත්ත නොමැති විට, ජීවන තත්ත්වයන් පිළිබඳ පුළුල් කතාවක් අපට කියා දීමට උසට හැකි බව පර්යේෂකයෝ පවසති.

"උස කියන්නේ යහපැවැත්ම පිළිබඳ හොඳ දර්ශකයක්," උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික ඉතිහාසඥයෙකු සහ ප්‍රායෝගික මහාචාර්යවරයෙකු වන ආචාර්ය මාතියස් බ්ලම් පවසයි.

අධ්‍යයනවලින් යෝජනා කෙරෙන්නේ යන්නේ උසින් 80%ක් හෝ 90%ක් ජාන මගින් තීරණය වන බව යි.


ලොව පුරා ජීවත් වන මිනිසුන් සමග ඔබේ උස සසඳන්න

මෙම පිටුවේ ඇතැම් අංග ක්‍රියාත්මක වීමට JavaScript අවශ්‍ය වේ. සම්පූර්ණ අත්දැකීම ලබා ගැනීම සඳහා, JavaScript සක්‍රීය කර ඇති නවීන වෙබ් බ්‍රව්සරයක් භාවිතා කරන්න.

ඉතිරි කුඩා කොටස පෝෂණය, රෝගවලට නිරාවරණය වීම, ළමා කාලයේ පරිසරය සහ සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැනි සාධකවල බලපෑමට ලක් වේ.

"උස වැඩිවීම ඉහළ ජීවන තත්ත්වයක් පෙන්නුම් කරනවා," බ්ලම් පවසයි.

ජානමය වෙනස්කම් සැලකිල්ලට ගැනීම සඳහා, පර්යේෂකයෝ විශාල ජනගහන කාණ්ඩවල සාමාන්‍ය උස පිළිබඳව අධ්‍යයනය කරති. දළ දේශීය නිෂ්පාදිතය වැනි මිනුම්වලින් හෙළි නොවිය හැකි ප්‍රවණතා සහ අසමානතා හඳුනා ගැනීමට මෙය ඔවුන්ට උපකාරී වේ.

කෘෂිකර්මාන්තය අපගේ උස අඩු කරනවා ද?

බ්ලම්ට අනුව, ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය දෙකක් තිබිණි.

පළමුවැන්න නව ශිලා යුගයේ විප්ලවයත් සමඟ සිදු වූ අතර, එහිදී මානවයා වසර 12,000 සිට 10,000 දක්වා කාලය තුළ දඩයම් කිරීම සහ එක්රැස් කිරීම සිට ගොවිතැන දක්වා පැමිණියේ ය.

ඈත අතීතයේ පැවති ප්‍රවණතා අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයන් ඇටසැකිලි ආශ්‍රිත දත්ත මත විශ්වාසය තබන අතර, ඒවාට සීමා පවතී.

කෙසේ වෙතත්, බොහෝදෙනෙකු එකඟ වන්නේ ගොවිතැනට ළඟාවීම උස අඩුවීමට හේතු වූ බවට යි.

A boy looks on from a walkway at ancient stone ruins below; crowds of people can be seen looking at the same ruins from the opposite side.
ඡායාරූප ශීර්ෂ වැකිය, මුල් ම ගොවි ප්‍රජාවන් කිහිපයක් බිහි වූයේ, වර්තමාන තුර්කියේ පිහිටි මෙම ස්ථානය ද ඇතුළත් වන මැද පෙරදිග ඉහළ මෙසපොතේමියා කලාපයේ විසූ දඩයම්කරුවන් සහ ආහාර එකතු කරන්නන්ගෙනි
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජානමය විවිධත්වය සැලකිල්ලට ගත් විට, නව ශිලා යුගයට පෙර විසූ ජනතාව හා සසඳන විට, නව ශිලා යුගයේ විසූ ජනතාව සාමාන්‍යයෙන් අපේක්ෂිත ප්‍රමාණයට වඩා සෙන්ටිමීටර 2.8කින් උසින් අඩු බව 2022 වසරේ සිදු කළ අධ්‍යයනයකදී ඇස්තමේන්තු කර ඇත.

කෘෂිකර්මාන්තයට මාරුවීම වඩාත් ස්ථාවර ආහාර සැපයුම් රැගෙන ආ නමුත් ඇත්ත වශයෙන් ම වඩා හොඳ පෝෂණයක් නොලැබිණි.

දඩයම්කරුවන් සහ ආහාර එකතු කරන්නන්ගේ ආහාර වේල්වල සත්ව සම්භවයක් ඇති නිෂ්පාදන වැඩිපුර අඩංගු වූ අතර, බ්ලම් පවසන පරිදි එය ඉතා වැදගත් සාධකයකි.

"අපි මෙහිදී කතා කරන්නේ කුසගින්න ගැන හෝ කුසගින්නේ නොසිටීම ගැන යි, ඒ මත පදනම්ව, සත්ව නිෂ්පාදන වැඩිපුර ලබා ගැනීම හොඳ අදහසක්, මොකද මේ ඇමයිනෝ අම්ල ලබා ගැනීම ඔබට ඇත්තෙන් ම අත්‍යවශ්‍ය යි," ඔහු පවසයි.

බ්ලම් පවසන පරිදි, දඩයම් කරමින් හා ආහාර එකතු කරමින් ජීවත් වූ මිනිසුන්ට වඩා හොඳින් පෝෂණය ලැබීමට හැකි වූවා පමණක් නොව, ඔවුන්ට එක් තැනක සිට තවත් තැනකට යාමටත්, එමගින් තම අපද්‍රව්‍ය එම ස්ථානවලම ඉතිරි කර දමා යාමටත් හැකි විය. නමුත් ගොවිතැන් කළ මිනිසුන්ට එසේ කිරීමට නොහැකි විය.

ඔවුන් බෝවන රෝගවලින් පීඩා විඳි අතර ''ඔවුන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට තිබුණා, ඔවුන්ට ඔවුන්ගේ නිවාස සහ පශු සම්පත නඩත්තු කිරීමට තිබුණා, සහ ඔවුන් සතුන් අසල ම ජීවත් වුණා," ඔහු පවසයි.

ඉන් පසු සහස්‍ර ගණනාවක් පුරා විවිධ කලාපවල උස මට්ටම් ඉහළ පහළ ගිය නමුත්, බ්ලම් (Blum) පවසන පරිදි, එම වෙනස්කම් බොහෝ විට දිගු කලක් පැවතියේ නැත.

"දිගු කාලයක් පුරාවට, ඔබට පැහැදිලි ඉහළ යෑමේ හෝ පහළ යෑමේ නැඹුරුතාවක් සොයාගන්න ලැබෙන්නේ නැහැ. සාගත තිබෙනවා, යුද්ධ තිබෙනවා, නමුත් පසුකාලීනව ජනගහනය නැවත ඉහළ යනවා," ඔහු පවසයි.

A human skeleton lying on its side is partially excavated from the ground, with several pots seen nearby.
ඡායාරූප ශීර්ෂ වැකිය, විසූ මිනිසුන්ගේ උස ඇස්තමේන්තු කිරීම සඳහා, පර්යේෂකයන් බොහෝ විට අස්ථි අවශේෂවල ඇති කලවා අස්ථිය වැනි දිගු අස්ථිවල දිග පරීක්ෂා කර බල යි.

සමහර අර්බුද අනපේක්ෂිත ප්‍රතිඵල ඇති කළේය. 14 වන සියවසේ මැද භාගයේදී යුරෝපයේ ජනගහනයෙන් අඩක් පමණ මිය යාමට හේතු වූ 'කළු මරණය' නම් වසංගතයෙන් පසුව, මිනිසුන්ගේ සාමාන්‍ය උස වැඩි වූ බව අධ්‍යයනවලින් පෙනී යයි.

ගුන්ටුපල්ලි සහ ඇගේ සගයන් එංගලන්තයේදී අස්ථි කොටස් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් සොයා ගැණුනේ 14 වන සියවසේ මුල් භාගයේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 170ක් පමණ වූ බව යි. 15 වන සියවසේ මුල් භාගය වන විට මෙය සෙන්ටිමීටර 174ක් දක්වා වැඩි විය.

ඇය පවසන්නේ ඒ පිළිබඳ දත්ත එතරම් නොමැති වුවත්, "සමහරවිට වැටුප් ඉහළ යාම හේතුවෙන් උස වැඩි වන්නට ඇතැයි" ඇය අනුමාන කරන බව යි. ඊට හේතුව ලෙස ඇය දක්වන්නේ, ශ්‍රම හිඟය පැවතීම නිසා සේවකයින්ට වැඩි කේවල් කිරීමේ බලයක් ලැබී තිබූ බවත්, එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් තිබිය හැකි බවත් ය.

'නවෝත්පාදන සමූහයක්'

බ්ලූම්ට අනුව මිනිසාගේ උසෙහි සිදුවූ දෙවන ප්‍රධාන වෙනස, 18 වන සියවසේ බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වී ලෝකයේ සෙසු ප්‍රදේශවලට ද ව්‍යාප්ත වූ කාර්මික විප්ලවයත් සමග පැමිණියේ ය.

කාර්මීකරණය මගින් ආර්ථිකයන් කෘෂිකර්මාන්තයේ සිට කර්මාන්තය වෙත වෙනස් විය. එය වැඩි පිරිසක් නගර වෙත සංක්‍රමණය වීමට හේතු වූ අතර, නව තාක්ෂණයන් හඳුන්වා දීමටත්, රටවල් අතර වෙළඳාම පුළුල් කිරීමටත් මග පෑදී ය.

එහි ප්‍රතිඵලයක් ලෙස උස වැඩි වීමක් සිදු වූ නමුත් එය ඉක්මනින් සිදු නොවී ය.

මුල්කාලීන කාර්මික පරිසරය ''සෞඛ්‍යයට හිතකර වුණේ නැහැ," ගුන්ටුපල්ලි පවසයි. දුර්වල සනීපාරක්ෂාව, අවහිර වූ නිවාස සහ වෙහෙසකර කර්මාන්තශාලා කටයුතු විවිධ රටවල් තුළ මුල් දශක කිහිපයේදී උස පහත යාමට මූලික විය.

බ්ලූම් පවසන්නේ ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානවලදී, මිනිසුන් මාරුවෙන් මාරුවට එකම ඇඳේ නිදා ගත් බව යි.

A black-and-white wood engraving of a historic scene from an English factory town, showing lots of tall chimneys releasing thick smoke into the sky, with many houses and several people on the streets below.
ඡායාරූප ශීර්ෂ වැකිය, කාර්මික විප්ලවය සමයේ කර්මාන්තශාලා සහ ගල් අඟුරු පතල් තුළ පැවති තත්ත්වයන් අතිශය භයානක සහ වෙහෙසකර විය හැකිව තිබිණි

ආදායම් වර්ධනය වූ විට සහ මහජන සෞඛ්‍ය පියවර පුළුල් වූ විට, උස සැලකිය යුතු ලෙස ඉහළ යාමට පටන් ගත්තේ ය.

බ්ලූම් එය වැඩිදියුණු කළ සනීපාරක්ෂාව, නිවාස සහ ආහාර සහ වෛද්‍ය තාක්‍ෂණයේ සොයාගැනීම ලෙස දක්වයි. "ඒක එකට එක්ව සිදුකරන නවෝත්පාදනවල විශාල එකතුවක්," ඔහු පවසයි.

දකුණු කොරියාව කාර්මීකරණයට අත්විඳිනු ලැබුවේ පසුකාලීනව වුව ද, එහි වේගවත් ආර්ථික සංවර්ධන පසුගිය සියවස තුළ වාර්තා වූ වඩාත්ම නාට්‍යාකාර සාමාන්‍ය උස සමග ඉහළයාම සමග පැමිණියේ ය. 2016 වසරේ සිදුකළ විශ්ලේෂණයකට අනුව පිරිමින්ගේ උස සෙන්ටිමීටර 15කින් සහ කාන්තාවන්ගේ උස සෙන්ටිමීටර 20කින් ඉහළ ගොස් තිබේ.

එහි උච්චතම අවස්ථාවට ළඟාවීම

Our World in Data මගින් වාර්තා කර ඇති පරිදි 1996 වසරේ උපත ලැබූවන් අතර ලොව පුරා පිරිමින්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 171ක් සහ කාන්තාවන්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 159ක් වේ.

වර්තමානයේ ඉතා දියුණු රටවල, ආදායම්, ඵලදායිතාව, නිෂ්පාදන සහ සේවා වැඩි වීම තවදුරටත් ඉහළ සාමාන්‍ය උසකට හේතු නොවන බව බ්ලුම් පවසයි.

මෙය සිදුවූයේ මන්දැයි පර්යේෂකයන්ට නිශ්චිතවම කිව නොහැක. ඇතැමුන් විශ්වාස කරන්නේ, මෙම ජනගහනවලට තම ජාන මගින් ඉඩ ලබා දෙන උපරිම උස ප්‍රමාණයට ළඟා වීමට ඉඩ ඇති බව යි. තවත් සමහරුන් සිතන්නේ, මෙය ක්ෂණික ආහාර පරිභෝජනය ඉහළ යාම සහ ශාරීරික ක්‍රියාකාරකම් අඩු ජීවන රටාවන් සමග සම්බන්ධ විය හැකි බව යි.

බ්ලූම් පවසන්නේ අපට අනාගතයේ දී උසට අමතරව "ජීව විද්‍යාත්මක ජීවන තත්වයන්" පිළිබඳ නව මිනුම් සොයා ගැනීමට අවශ්‍ය විය හැකි බව යි.

උදාහරණයක් ලෙස, ඔහු පවසන්නේ නිර්මාංශ වීම සහ නිර්මාංශ ආහාරවල වැඩිවීමක් අනිවාර්යයෙන්ම ඉහළ සාමාන්‍ය උසකට පරිවර්තනය නොවිය හැකි නමුත් සෞඛ්‍ය සම්පන්න හෝ වඩා තිරසාර වීම වැනි වෙනත් ප්‍රතිලාභ ලබා ගත හැකි බව යි.

සමස්තයක් ලෙස ලෝකය සම්බන්ධයෙන් ගත් විට ගුන්ටුපල්ලි පවසන්නේ ආහාර හා ඉන්ධන හිඟය සහ වර්තමානයේ පවතින "ඉතාමත් විශාල කැපී පෙනෙන අසමානතා" මිනිසුන් තවදුරටත් උස යනු ඇති ද යන්න පිළිබඳ ඇයට සැකයක් පවතින බව යි.

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල "වයසට සරිලන උස නොමැතිවීම ඉහළ මට්ටමක පවතින අතර, මෙම රටවල දුප්පත් ජනතා ව උසින් අඩුම අය යි" ඇය පවසයි. වයසට සරිලන උස නොමැති වීම යනු දරුවන් ඔවුන්ගේ වයසේදී බොහෝ සෙයින් මිටි වීම වන අතර එය මිටි වැඩිහිටියන් සඳහා මග පාදයි.

එපමණක් නොව, නියඟය සහ ගංවතුර වැනි දරුණු කාලගුණික සිදුවීම් ආහාර නිෂ්පාදනයට සහ කිරි සහ අනෙකුත් සත්ව නිෂ්පාදන සඳහා ප්‍රවේශයට බලපෑම් එල්ල කරමින් පවතින බව ගුන්ටුපල්ලි පවසයි.

"අපිට ගෝලීය සෞඛ්‍ය උදෙසා ලබාදෙන අරමුදල් කප්පාදුවක් ද සිදුවෙමින් තිබෙන නිසා එන්නත්කරණ වැඩසටහන්, පෝෂණ වැඩසටහන් සහ සරණාගතයින් සඳහා වන වැඩසටහන් රැසකට ඉන් බලපෑම් එල්ල වෙලා තිබෙනවා," ඇය වැඩිදුරටත් පවසයි.

ගුන්ටුපල්ලි විශ්වාස කරන්නේ මෙම "විනාශකාරී තත්වය" සමගින්, ධනවත් හා දුප්පත් රටවල් අතර පමණක් නොව, සමාජ තුළ ද උස අසමානතාවය වැඩි වීම අපට දකින්නට ලැබෙනු ඇති බව යි.

"අපි ඉන්නේ අසමාන ලෝකයක," ඇය පවසයි.