ඔබේ මුඛයේ ඇති හිතකර බැක්ටීරියා ආරක්ෂා කර ගැනීමට ඔබ ගත යුතු ආහාර මෙන්න

දත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ජැස්මින් ෆොක්ස්-ස්කෙලී
    • Role, බීබීසී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

ඔබේ මුඛයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් නිරෝගී මුඛයක් සහ ශරීරයක් සඳහා ප්‍රධාන සාධකයකි. ඒවාට අවශ්‍ය නිසි පෝෂණය ලැබෙන බවට වග බලා ගන්නේ කෙසේ ද යන්න මෙහි දැක්වේ.

සීනි අධික ආහාර දත් කුහර ඇති වීමට හේතු විය හැකි බව බොහෝ දෙනා දනිති. එයට හේතුව ඒවා මුඛයේ ඇති හානිකර බැක්ටීරියා පෝෂණය කිරීමයි. නමුත් දත් සහ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම යනු ඇතැම් ආහාරවලින් වැළකීම පමණක් නොවේ. ඔබ කන ආහාරත් ඒ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පලතුරු, චීස් ඇතුළු ඇතැම් ආහාර මුඛ සෞඛ්‍යයට ලබාදෙන ප්‍රතිලාභ ඔබ නොසිතූ තරම් විය හැකි ය.

මුඛ ක්ෂුද්‍රජීවීන්ගේ වැදගත්කම අනාවරණය කර ගැනීමට පර්යේෂණ දිග හැරෙමින් තිබේ. මෙම ක්ෂුද්‍ර ජීවී කණ්ඩායම විවිධ බැක්ටීරියා විශේෂ 700කින් මෙන් ම වෛරස්, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සමන්විත වේ. ඒවාට අපගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි ය. කෙසේ වෙතත් වර්තමානයේ එය බොහෝ විට නොසලකා හරිනු ලැබේ.

නමුත් එය එසේ විය යුතු නැත. ඔබේ මුඛයේ ක්ෂුද්‍රජීවීන් රැකබලා ගැනීම අපහසු දෙයක් නොවේ. ආමාශ ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් මෙන් ම, මෙහිදී ද ඔබේ ආහාර රටාව ප්‍රධාන සාධකයක් වේ. දන්ත සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට ආහාර තෝරාගැනීමේදී ඔබ දැනගත යුතු කරුණු මෙහි දැක්වේ.

සමෘද්ධිමත් ප්‍රජාවක්

Cheerful beautiful Indian woman home head shot. Happy young adult 20s girl in yellow cloth looking at camera with toothy smile, showing white teeth, laughing, posing for video call screen portrait

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔබේ මුඛය තුළ ක්ෂුද්‍ර ජීවීන් ආවේණික ස්ථානයක් තෝරා ගන්නා අතර, එක් එක් විශේෂය වෙන් වෙන් ස්ථානවලට කැමැත්තක් දක්වයි. ඇතැම් බැක්ටීරියා දත්වල මතුපිට වාසය කිරීමට තෝරා ගන්නා අතර තවත් කොටසක් දිව මත හෝ දත් සහ විදුරුමස් අතර ඇති කුඩා විවර තුළ සිටීමට කැමැත්තක් දක්වයි.

මෙම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇතැම් ඒවා හානිකර වේ. දත් මතුපිට ජීවත් වෙමින් සීනි අනුභව කිරීමට ප්‍රිය කරන ස්ට්‍රේප්ටොකොකුස් පිළිබඳව සලකා බලන්න. මෙම බැක්ටීරියාව සීනි, අම්ල බවට පත් කර ඒවා මගින් දත්වල ඇති ආරක්ෂිත එනමලය විනාශ කර දමයි. අවසානයේදී මෙය දත් දිරායාමට හෝ කුහර ඇති වීමට හේතු විය හැකි අතර, ඇමෙරිකානුවන්ගෙන් 80%කට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ වයස අවුරුදු 30 ගණන්වල මැද භාගයේදී මෙම තත්ත්වයට මුහුණ දෙති.

මුඛයේ සිටින අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාකාරී ලෙස උපකාරී වේ. නිදසුනක් ලෙස වේලොනැලා, ඇක්ටිනෝමයිසිටීස් සහ ඇතැම් ස්ට්‍රේප්ටොකොකුස් විශේෂ හෝ නයිසිරීයා වැනි ප්‍රයෝජනවත් බැක්ටීරියා ඔබේ මුඛය ඔවුන්ගේ නිවහන කර ගන්නේ නම් ඔවුන්ට හානිකර රෝග කාරක ප්‍රභේද බෝවීම වැළැක්වීමේ හැකියාව පවතී.

නීරෝගී ක්ෂුද්‍ර ජීවීන් මුඛයේ සිටීම වැදගත් වන්නේ දන්ත සෞඛ්‍යයට පමණක් නොවේ. ඔබ නිතිපතා හෝ ප්‍රමාණවත් පමණින් දත් නොමදී නම්, දත් සහ විදුරුමස් අතර අවකාශය තුළ කුඩා කුහර නිර්මාණය විය හැක. මෙම ඔක්සිජන් ඉතා අඩු පරිසරය තුළ ප්‍රෝපෙරෝමෙනස් ජින්ජායිවලිස් වැනි බැක්ටීරියාවන්ට වර්ධනය විය හැක.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒවා ඇතුළු වූ විට පී. ජින්ජායිවලස් විදුරුමස් රෝග ඇති කරන අතර හෘද වාහිනී රෝග, මානසික අවපීඩනය, ඇල්සයිමර් රෝගය, දියවැඩියාව, බඩවැල් ආශ්‍රිත ප්‍රදාහයන්, රූමටෝයිඩ් ආතරයිටිස් සහ නොමේරූ දරු උපත් වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම ද වැඩි කරයි. මෑත වර්ෂවලදී විද්‍යාඥයින් වැඩි වශයෙන් සොයා ගෙන ඇත්තේ මුඛයේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ දුර්වලතා සහ මහ බඩවැලේ සහ අග්න්‍යාශ පිළිකා සමග සම්බන්ධතාවක් ඇති බවට ය.

මෑතකදී සිදු කළ අධ්‍යයනයකදී, එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් පර්යේෂණයකට සහභාගී වූ පිරිසකගේ ඛේටය පරීක්ෂා කර පසුව පිළිකා ඇතිවීමේ අවදානම හඳුනා ගැනීමට පසු විපරමක් සිදු කළහ. දත් දිරායාම හෝ කැන්ඩීඩා යීස්ට් සමග සම්බන්ධ ඇතැම් බැක්ටීරියා විශේෂ සිය මුඛ ක්ෂුද්‍රජීවය තුළ අඩංගු වූ පිරිසට අග්න්‍යාශ පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව එහිදී සොයා ගන්නා ලදී.

බඩවැල්වල මෙන් ම මුඛයේ ද ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වයක් පැවතීම වැදගත් බවට සාක්ෂි මතු වෙමින් පවතියි. උදාහරණයක් ලෙස, මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මුඛය තුළ ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය අඩු වීම සහ මානසික අවපීඩනය අතර සම්බන්ධයක් පවතින බව යි.

නමුත් තීරාණාත්මක ලෙස මෙම ක්ෂුද්‍ර ජීවී ප්‍රජාව පවත්වාගෙන යාමට දත් මැදීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ ආහාරයට ගන්නා සෑම දෙයක් ම ඔවුහු ද ආහාරයට ගනිති. මෙය ඒවා වර්ධනය විය හැකි දේ සඳහා ඍජු බලපෑමක් ඇති කරයි.

girl eating cheese

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එස්. මියුටන්ස් නිසා ඇති වන ඇතැම් හානිවලට බාධා කිරීමේ හැකියාව චීස්වලට පවතී

ආහාරයට ගත යුතු දේ සහ වැළකී සිටිය යුතු දේ

ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු කෙටි ආහාර හෝ පාන වර්ග බොහෝසෙයින් සීනි භාවිතයෙන් සකස් කර ඇති අතර, දත් කුහර ඇති කරන බැක්ටීරියා විසින් ඒවා ගිල දමනු ලබයි. එමෙන් ම, සැකසූ කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය සීමා කිරීමද සුදුසු වන අතර ඒවා මුඛය තුළදී ඉතා පහසුවෙන් සීනි බවට පහසුවෙන් කැඩී යයි. වැළකී සිටිය යුතු පිෂ්ඨය සහිත කෙටි ආහාර අතරට සුදු පාන්, ක්‍රැකර්ස්, බිස්කට්, කේක් සහ ප්‍රිට්සල්ස් ඇතුළත් වේ.

"හිතකර" බැක්ටීරියා ආකර්ෂණය කර ගැනීම හේතු දෙකක් නිසා ප්‍රයෝජනවත් වේ. ඔවුන් කුහර සහ රෝග ඇති කරන ඒවා සමග ආහාර සහ වාසස්ථාන සඳහා තරග කර ඔවුන්ගේ ගහණය අඩු කරයි. නමුත් ඇතැම් ඒවා ඔබේ මුඛයට ඇතුළුවීමට අවශ්‍ය නොවන ඒවාට ඍජුව පහර දෙයි.

"සීනිවලට ප්‍රිය කරන මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ විශාල පවුල වන Streptococcus කාණ්ඩය තුළ, අම්ලය ඉතා අඩුවෙන් හෝ කිසිසේත් නොනිපදවන බැක්ටීරියා කිහිපයක් තිබෙනවා. එපමණක් නොව, ඒවා අම්ලය නිපදවන අනෙකුත් ක්ෂුද්‍රජීවීන්ට පවා ප්‍රහාර එල්ල කරනවා," යැයි අමෙරිකාවේ Pennsylvania State University හි මානව ශාස්ත්‍රය සහ ජෛව ආචාරධර්ම පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන ලෝරා වේරිච් පවසයි. ඇය මුඛ ක්ෂුද්‍රජීවී පරිසරය (oral microbiome) සහ එය ඉතිහාසය පුරා වෙනස් වී ඇති ආකාරය පිළිබඳව අධ්‍යයනය කරයි.

"ඔවුන් නිදහස් සටන්කරුවන් වගේ. ඔවුන් ආයුධ ලෙස භාවිත කරන ඔවුන්ගේ ම ප්‍රතිජීවක තිබෙනවා. ඒ නිසා ඔබට මෙම බැක්ටීරියා තිබේ නම්, ඔබ හොඳ තත්ත්වයෙන් ඉන්න පුළුවන්," වේරිච් පවසයි. උදාහරණයක් ලෙස එස්. සැලවීවියස් නමැති හිතකර බැක්ටීරියාව අනවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් රාශියක් විනාශ කර දැමිය හැකි ප්‍රෝටීන නිපදවයි. මෙයට සාම්ප්‍රදායික ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධයක් ඇති කිරීමේ හැකියාව ඇති රෝග කාරක ඇතුළත් වේ.

ඔබේ මුඛයේ ක්ෂුද්‍රජීවී පරිසරය සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය නම්, ඔබට කළ හැකි හොඳම දේවල් අතරින් එකක් වන්නේ කොළ පැහැති පත්‍ර එළවළු බහුලව ආහාරයට ගැනීමයි. කේල්, නිවිති , බීට්රූට් සහ රාබු වැනි ආහාරවල නයිට්‍රේට් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙම නයිට්‍රේට් අපගේ මුඛයේ ජීවත් වන නයිසීරියා බැක්ටීරියාව මගින් භාවිතයට ගනු ලබ යි. මෙම ක්ෂුද්‍රජීවීන් නයිට්‍රේට් නයිට්‍රයිට් බවට පරිවර්තනය කරන අතර, පසුව අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මඟින් එය තවදුරටත් නයිට්‍රික් ඔක්සයිඩ් බවට පරිවර්තනය කරයි. නයිට්‍රික් ඔක්සයිඩ් රුධිරයේ සංසරණය වෙමින් රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වන අතර, එමගින් හෘද හා රුධිර වාහිනී සෞඛ්‍යයට ප්‍රතිලාභ සැලසෙයි. උදාහරණයක් ලෙස, එක් අධ්‍යයනයකදී සති දෙකක් පුරා දිනකට දෙවරක් නයිට්‍රේට් බහුල බීට්රූට් යුෂ පානය කළ වැඩිහිටි පුද්ගලයන්ගේ රුධිර පීඩනය සැලකිය යුතු ලෙස අඩු වූ බව සොයාගෙන ඇත.

අමුතු ස්වභාවයක් පෙනුණ ද, සුදුළූණු හැපීම මුඛයෙන් පැමිණෙන සුවඳට එතරම් යහපත් නොවුණ ද මුඛ සෞඛ්‍යයට උපකාරී විය හැකි ය. එහි කුහර සහ විදුරුමස් රෝග ඇති කරන බැක්ටීරියා විනාශ කරන ඇලිසින් නමැති රසායනික ද්‍රව්‍යයක් අඩංගු වේ.

ප්‍රධාන වශයෙන් ශාකමය ආහාර වේලක් ගැනීමෙන් ඔබේ මුඛයේ ඇති ක්ෂුද්‍ර ජීවීන්ට වෙනත් ආකාරවලින් ද වාසි සැලසිය හැකි ය. එසේ සිදුවන්නේ එහි අඩංගු පොලිෆෙනෝල් ලෙස හඳුන්වන ශාකවල දක්නට ලැබෙන සංයෝග කාණ්ඩයක් හේතුවෙනි. අධික උණුසුම, ශීතල හෝ දැඩි හිරු එළිය වැනි තත්වයන් ඇතිවිට සතුන්ට වඩාත් හිතකර පරිසරයකට ගමන් කළ හැකි ය. ශාකවලට එම පහසුකම නොමැති අතර ඒ වෙනුවට ඔවුන් පොලිෆෙනෝල් නිපදවයි. ඔවුන්ගේ සෛල සහ පටක හානිවලින් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ප්‍රතිඔක්සිකාරකයකි.

කෙසේ වෙතත්, පොලිෆෙනෝල්වලට හානිකර බැක්ටීරියාවලින් ද ආරක්ෂා විය හැකි ය. නිදසුනක් වශයෙන්, වූගේ පර්යේෂණ සහ අනෙකුත් පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ, තේවල ඇති පොලිෆෙනෝල්වලට, කුහර සහ විදුරුමස් රෝග ඇති කරන "හානිකර" මුඛ බැක්ටීරියා මර්දනය කළ හැකි බවත් ඒවා එකට එක්ව සිටීමෙන් හා දත් මතුපිට ඇලී සිටීමෙන් වළක්වා ගත හැකි බවත් ය.

"මෙම පොලිෆෙනෝල් දත්වල මැලියම්වල ඇලෙන ස්වභාවයට වගකියන එන්සයිමවලින් එකක් වළක්වනවා," මුඛ රෝග කාරක වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන ආහාර පිළිබඳ පර්යේෂණ සිදුකරන එක්සත් ජනපදයේ ඉලිනොයිස් චිකාගෝ විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාලයේ ළමා දන්ත වෛද්‍ය මහාචාර්ය ක්‍රිස්ටීන් වූ පවසයි.

වූගේ අධ්‍යයනයකදී තේ පානය කිරීම ද දිවේ පසුපස ජීවත් වන සහ දුර්ගන්ධය ඇති කිරීමට වගකිව යුතු බැක්ටීරියා වළක්වන බව පෙනී ගොස් ඇත.

පොලිෆෙනෝල්වලින් පොහොසත් අනෙකුත් ආහාර අතරට බොහෝ පලතුරු, විශේෂයෙන් තද පැහැති බෙරි වර්ග අයත් වේ. බලාපොරොත්තු වූවාට වඩා වෙනස්ව සීනි සහ අම්ල බහුල මෙම ආහාර වර්ග මුඛ සෞඛ්‍යයට හිතකර විය හැක. ක්‍රැන්බෙරි යුෂ පානය කිරීමෙන් දත් මත මැලියම් ස්තරය තැන්පත් වීම වළක්වා ගත හැකි අතර දත් කුහර සහ විදුරුමස් රෝග ඇති කරන බැක්ටීරියා වළක්වා ගත හැකි බව වූගේ පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. මී පැණිවල ද පොලිෆෙනෝල් බහුලව අඩංගු වන අතර, එය ද මැලියම් ස්ථරය සෑදීම වැළැක්වීමට සහ කුහර ඇති කරන බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමට ද එය හේතු වන බව පෙන්වා දී ඇත.

චීස් හැපීමෙන් ද අපගේ මුඛයේ සිටින ක්ෂුද්‍රජීවීන්ට ප්‍රතිලාභ ඇති බව ද සැලකෙයි.

ඉතාලියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද කුඩා අධ්‍යයනයකට සහභාගීවූවන් නව දෙනෙකුට දින පහක් පුරා සෑම දිනක ම ග්‍රානා පදානෝ චීස් ආහාරයට ගන්නා කරන ලෙස දැනුම් දුන්නේ ය. අධ්‍යයනය අවසානයේදී විද්‍යාඥයන් සොයා ගත්තේ, ඔවුන්ගේ මුඛයේ සිටි බැක්ටීරියා ප්‍රජාවන්ගේ ජානමය ලක්ෂණ සුළු වශයෙන් වෙනස් වී ඇති අතර එහිදී සීනිවලට ප්‍රිය කරන එස්. මියුටන්ස් බැක්ටීරියා ප්‍රමාණය අඩු වී ඇති අතර, නිරෝගී මුඛයක් තුළ බහුලව හමුවන එස්. සන්ග්විනිස් බැක්ටීරියා ප්‍රමාණය වැඩි වී ඇති බව ය.

girl brushing teeth

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දත් මැදීම සහ දත් අතර පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි

එස්. මියුටන්ස් නිසා ඇති වන ඇතැම් හානිවලට බාධා කිරීමේ හැකියාව ද චීස් සතුව පවතී.

"කිරිවල ඇති සියලු ම ගුණාංග අඩංගු වන නිසා චීස් ඉතා ම හොඳ යි, නමුත් ඒක ඝන යි, ඒ නිසා ඔබ එය හපන විට ඛේටය වැඩිවෙනවා," වූ පවසයි. "ඛේටය මගින් දත් මත හෝ මුඛය තුළ ඇති අමතර සීනි ඉවත් කරනවා, කෙළ උදාසීන නිසා මුඛය තුළ නිපදවෙන අම්ලවල බලපෑම සමනය කරනවා."

පැසීමට ලක් කළ ආහාර ඔබේ මුඛ ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රයෝජනවත් විය හැක, ඒවායේ "හානිකර" බැක්ටීරියා සමග තරග කරන ප්‍රයෝජනවත් බැක්ටීරියා අඩංගු වේ. උදාහරණයක් ලෙස මෑතකාලීනව සිදු කළ සමාලෝචනයකින් හෙළි වූයේ කෙෆීර් (පැසීමට ලක් කළ කිරි වර්ගයක්) පානය කිරීමෙන් ඇතැම් මුඛ රෝග කාරක වළක්වා ඒවායේ ඇලෙන සුළු ජෛව පටල නිපදවීම නැවැත්විය හැකි බව ය.

කෙසේ වෙතත්, ඉතාලියේ කතානියා විශ්වවිද්‍යාලයේ දන්ත විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ගේටානෝ ඉසෝලාට අනුව, මුඛ සෞඛ්‍ය සඳහා තනි "සුපිරි ආහාරයක්" නොමැති අතර වඩා වැදගත් වන්නේ සමස්ත ආහාර රටාව යි.

"අපි නැවත නැවතත් පිරිපහදු කළ සීනි සහ පහසුවෙන් පැසවීමට ලක්වන කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කරනවා නම්, අම්ල නිපදවීමට සහ අම්ලවලට ඔරොත්තු දීමට විශේෂයෙන් දක්ෂ ක්ෂුද්‍ර ජීවීන්ට අපි උදව් කරනවා," ඔහු පවසයි. මෙමගින් සිදුවන්නේ කාලයාගේ ඇවෑමෙන් මුඛයේ සිටින ක්ෂුද්‍රජීවී ප්‍රජාවේ අසමතුලිතතාවක් හට ගැනීම බව ඔහු පැහැදිලි කරයි.

"ඊට වෙනස්ව, සම්පූර්ණ ශාක ආහාර, තන්තු සහ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්වලින් පොහොසත් සහ, නිතර පිරිපහදු කළ සීනිවලට නිරාවරණය වීම අඩු සමස්ත ආහාර වේලක් ස්ථාවර මුඛ පරිසර පද්ධතියක් පවත්වා ගැනීම සමග වඩාත් අනුකූල වෙනවා."

ඉසෝලා (Isola) ලබාදෙන සරල හා ප්‍රායෝගික උපදෙසක් වන්නේ, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් (refined carbohydrates) වලට වඩා සම්පූර්ණ ශාකමය ආහාර තෝරා ගැනීමයි. එනම්, එළවළු, සම්පූර්ණ පලතුරු, රනිල බෝග (legumes) සහ සම්පූර්ණ ධාන්‍ය (whole grains) වැනි ආහාර වැඩිපුර ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව ය.

ඉසෝලා සම්බන්ධ වූ මෑතකාලීන අධ්‍යයනයකින් හෙළි වූයේ පලතුරු, එළවළු, සම්පූර්ණ ධාන්‍ය සහ සෞඛ්‍ය සම්පන්න මේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා ප්‍රසිද්ධ මධ්‍යධරණී ආහාර රටාව වඩාත් සමීපව අනුගමනය කළ පුද්ගලයින්ට ඇති විදුරුමස් රෝග දරුණු බවින් අඩු බවට ය. මධ්‍යධරණී ආහාර රටාව එතරම් සමීපව අනුගමනය නොකළ රෝගීන්, විශේෂයෙන් ඔවුහු නිරන්තරයෙන් රතු මස් පරිභෝජනය කරන්නේ නම්, වඩාත් දරුණු විදුරුමස් රෝග ඇති වීමට නැඹුරුතාවක් දක්වති.

රතු මස් අනුභවය සහ විදුරුමස් රෝග අතර ඇති මෙම සම්බන්ධයට හේතුව කුමක්දැයි පැහැදිලි නැත. එක් මතයක් වන්නේ එම ප්‍රෝටීන පී. ජින්ජිවාලාස් වැනි හානිකර ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර මුඛ පරිසරයක් නිර්මාණය කළ හැකි බව යි.

ඇත්ත වශයෙන් ම, දත් මැදීම සහ දත් අතර පිරිසිදු කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය වේ. දත් අතර පිරිසිදු කිරීම දන්ත රෝග කාරකයක් වන එස්. මියුටන්ස්හි සාන්ද්‍රණය අඩු වීම සමග සම්බන්ධ අතර දත් සහ දිව මැදීම මගින් දන්ත රෝගවලට සම්බන්ධ ක්ෂුද්‍ර ජීවීන් සැලකිය යුතු ලෙස අඩු කරයි.

සාමාන්‍යයෙන් කඩසාප්පුවලින් මිල දී ගත හැකි මුඛ සේදුම් දියර ඔබේ මුඛයේ ක්ෂුද්‍ර ජීවයට බලපාන්නේ කෙසේ දැයි විද්‍යාඥයෝ තවමත් නොදනිති. බලාපොරොත්තුව වන්නේ, දිනෙක ඒවා මගින් මුඛයේ සිටින සමස්ත බැක්ටීරියා ප්‍රමාණය අඩු කිරීමට වඩා, ක්ෂුද්‍රජීවී ප්‍රජාවන් සමතුලිත කිරීමටද මේවා භාවිත කළ හැකි වනු ඇති බවට යි. අනෙක් අතට ක්ලෝරෙක්සීඩින් අඩංගු ඇතැම් මුඛ සේදුම් දියරවලින් මුඛ ක්ෂුද්‍ර ජීවීන්ගේ සමතුලිතතාවයට බාධා කරන බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. කෙටි කාලීනව විදුරුමස් රෝග සහ අනෙකුත් මුඛ ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට මේවා තවමත් උපකාරී වේ.

නමුත් සෞඛ්‍ය සම්පන්න මුඛ ක්ෂුද්‍රජීවීන් සඳහා, නිවැරදි ආහාර අනුභව කිරීම ඔබේ අවි ගබඩාවේ ඇති ප්‍රබලතම මෙවලමකි.

"හැමෝම නිතර ම කියන එකම දේ ඒක තමයි, ටිකක් කම්මැලි යි කියලා එළවළු, පලා වර්ග, මේදය අඩු ප්‍රෝටීන බහුල සමබල ආහාර වේලකට යොමු වී සිටීම සහ සීනි පරිභෝජනය, විශේෂයෙන්ම පැණි බීම වර්ග සීමා කිරීම," වේරිච් පවසයි.

එබැවින් ඔබ වෙනුවෙන් ප්‍රණීත සලාදයක් හෝ උණුසුම් තේ කෝප්පයක් සමඟ රස විඳිය හැකි කදිම චීස් වර්ග කිහිපයක් සූදානම් කර නොගන්නේ ඇයි? එසේ කිරීමෙන් ඔබේ ශරීරයට ප්‍රයෝජනවත් වනවා පමණක් නොව ඔබේ මුඛයේ සිටින හිතකර ක්ෂුද්‍ර ජීවීන් ද සතුටු වනු ඇත.