පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට නියම කළ ගම්පහ මහේස්ත්රාත්වරයා අද පොලිසියට දුන් තීරණය

ඡායාරූප මූලාශ්රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
රට වැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීම් නොකරන ලෙස සමස්ත පොලිස් නිලධාරීන්ට දැනුම් දෙමින් සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්ර ලේඛයක් නිකුත් කිරීම සඳහා පොලිස්පතිවරයාට නියෝගයක් දීම ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න අද (ඔක්: 22) ප්රතික්ෂේප කළේ ය.
අධිකරණ නියෝග ක්රියාත්මක නොකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස නියම කිරීමට අදාළ නඩු ගොනුවේ සම්පුර්ණ පිටපතක් පොලිස් නීතී කොට්ඨාසයට නිකුත් කිරීමට ද මහේස්ත්රාත්වරයා මෙහිදී අධිකරණ රෙජිස්ට්රාර්වරියට නියම කළේ ය.
සාමාන්ය රට වැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීම් නොකරන ලෙස සමස්ත පොලිස් නිලධාරීන්ට ම දැනුම් දෙමින් සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්ර ලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස් නීතී කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී නිලුපුල් සෝමසිංහ, පෞද්ගලිකව ම පෙනී සිටිමින් කළ ඉල්ලීමක් ප්රතික්ෂේප කරමින් මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා එලෙස නියම කළේ ය.
අධිකරණයේදී මොක ද වුණේ?
ඉල්ලීමක් කිරීම සඳහා මෙම නඩුව කැඳවන්නැයි මෝසමක් මාර්ගයෙන් පෙරවරුවේ කළ ඉල්ලීමකට අනුව නඩුව පසුවරුවේ කැඳවනු ලැබී ය.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥවරුන් වන ප්රධාන පොලිස් පරීක්ෂ ප්රණීත ජයවර්ධන, පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සමග පෞද්ගලිකව ම පෙනී සිටි පොලිස් නීතී කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී නිලුපුල් සෝමසිංහ කරුණු දක්වමින්, මෙම නියෝගයට පාදක වු නඩුවල සහතික කරන ලද පිටපත් පොලිස් දෙපාර්තමෙන්තුවට නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේ ය.
පුද්ගලයින්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීම් නොකරන ලෙස සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන අන්දමට චක්ර ලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ද පොලිස් අධිකාරී නිලුපුල් සෝමසිංහ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් තමා නියෝගයක් නිකුත් කර ඇති බව අවධාරණය කළ මහේස්ත්රාත්වරයා එසේ තිබියදී පොලිසිය ඉල්ලන ආකාරයේ නියෝගයක් නිකුත් කිරීමට තමාට හැකියාවක් නැතැයි ද අවධාරණය කළේ ය.
රජයට එරෙහිව ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ නඩු තීන්දුව අනුව විනිශ්චකාරවරයෙකු දුන් තීන්දුවක් එම විනිශ්චකාරවරයාට ම වෙනස් කිරීමේ හැකියාවක් නැති බව පෙන්වා දුන් මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න, මෙම නඩු සම්බන්ධයෙන් මේ වන විටත් තමා නියෝගයක් ප්රකාශයට පත් කර ඇති බව ද පෙන්වා දුන්නේ ය.

































