එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂට ඇප නියම කිරීමට පෙර අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු මොනවා ද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 5

එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්. 30) නියම කළේ ය.

ඒ, අනුව සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

එමෙන් ම, සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස ද නියෝග කෙරිණි.

ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා තවත් ඇප කොන්දේසියක් පැනවීය.

මෙම නඩුකරය ඉකුත් දා කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා කරුණු තුනක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

මෙම අධිකරණයේ පවතින නඩුකරය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අල්ලස් නඩුකරය ඒකාබද්ධ කරන්නේ ද? මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමට පියවර ගන්නේද ? සහ මෙම සිද්ධියට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර තිබෙන නඩුවට අදාළව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරය දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද? යන කාරණා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස එම නියෝගය තුළින් දැනුම් දී තිබිණි.

ඒ අනුව, ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:

"ස්වාමීනී... ඔබතුමාගේ අධිකරණය ඉකුත් නඩු දිනයේ යොමු කළ කරුණු තුනක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම නඩුකරය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුකරය ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් නැහැ.

"මෙම අධිකරණයේ පවතින නඩුකරය වෙන ම නඩුකරයක් වශයෙන් පවත්වාගෙන යාමට අදහස් කරනවා. ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුකරයට අදාළව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. එසේ ම මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමටත් තීරණයක් ගෙන නැහැ."

තවදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා මෙසේ ද පැවසීය:

"ස්වාමීනී... දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම එකඟතාවකට පැමිණ ඒකාබද්ධව තමයි මේ සිද්ධියට සම්බන්ධ විමර්ශන සිදු කරන්නේ.

"විමර්ශන බොහෝ දුරට අවසන් වී තිබෙනවා. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අල්ලස් චෝදනාවලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් චෝදනා ගොනු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ."

ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් සඳහන් කළේ;

"ස්වාමීනී... ඇප පනත යටතේ ඇප ලබා දීම තමයි නීතිය. මේක මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන නඩුකරයක්. එම නිසා ඔබතුමාට ඇප ඉල්ලීම සලකා බලන්න නීතිමය බාධාවක් නෑ.

"ස්වාමීනී... මගේ සේවාදායකයා කිසි ම අවස්ථාවක රටින් පලා යන්නේ නැහැ. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වන පුද්ගලයෙක්. දේශපාලනය නිසා තමයි ඔහුට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ.

"ඔහු කිසි ම අවස්ථාවක රටින් පලා යයි කියලා හිතන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ වගේ ම මේ වරද කළා කියලා චෝදනා කරන්නේ සැකකරුට කිසියම් බලයක් තිබුණු අවස්ථාවකයි.

"නමුත් ඔහුට දැන් එහෙම බලයක් නෑ. ඒ නිසා ඔහුට තවදුරටත් මෙවැනි වැරදි කිරීමට හැකියාවක් නෑ. ඒ වගේ ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් මේ සැකකරුට හැකියාවක් නෑ. මේ නඩුවේ සාක්ෂිකරු හැටියට ඉන්නේ නිමල් පෙරේරා නමැති පුද්ගලයා විතරයි. ඔහුගේ සාක්ෂිය විතරයි තිබෙන්නේ. ඔහු විදේශගතවයි සිටින්නේ. ඒ නිසා ඔහුට බලපෑම් කිරීමට හැකියාවක් නෑ."

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සැකකරුට ඇප නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දැක්වීය:

"ස්වාමීනී... මෙම සැකකරුට ඇප ලබා දීමෙන් පසුව ඔහු විදේශගත නොවී සිටියි කියලා මට සහතිකයක් ලබා දෙන්න බෑ. මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු වන නිමල් පෙරේරා නැමැත්තට ජීවිත තර්ජන එල්ල වී තිබෙනවා. තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවට පවා තමන්ට පැමිණිය නොහැකි බව තමයි ඔහු ප්‍රකාශ කරලා තිබෙන්නේ.

"ඒ නිසා තමයි විමර්ශන නිලධාරීන්ට ඔස්ට්‍රේලියාවට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලයේදී එම සාක්ෂිකරුගේ සාක්ෂිය සටහන් කරගැනීමට සිදු වුණේ. ඔස්ට්‍රේලියාවේ පවා ඔහුට බලපෑම් තර්ජන තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමටත් වාර්තා ලබා දී තිබෙනවා.

"මෙම සැකකාර නාමල් රාජපක්ෂගෙන් තර්ජන එල්ල වී තිබෙන බවක් මේ දක්වා අනාවරණය නොවූව ද සැකකරුට ඇප ප්‍රදානය කිරීමෙන් විමර්ශන ක්‍රියාදාමයට බලපෑම් සිදුවෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඔබතුමාගේ අධිකරණය තෘප්ත වන ආකාරයේ කරුණු ඉදිරිපත් වී නොමැති නම් ඔබතුමා ගනු ලබන තීරණයට අපගේ විරුද්ධත්වයක් නැහැ."

ඉන් අනතුරුව මෙම නඩුවේ තුන්වන සැකකරු වශයෙන් නම් කර ඇති, මේ වන විට වරෙන්තු නිකුත් කර තිබෙන ශමින්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කළේ ය.

"ස්වාමීනී... තම සේවාදායකයාට එරෙහිව අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට එරෙහිව ඔහු කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සම සලකා බැලූ මහාධිකරණය ඒ සඳහා නොතීසි නිකුත් කර තිබෙනවා.

"මෙම එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු අල්ලස් මුදල් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුම හරහා මගේ සේවා දායකයාගේ ගිණුමට ලැබුණු බව ප්‍රකාශ වෙලා තිබෙනවා. නමුත් මගේ සේවා දායකයාගේ ශ්‍රී ලංකාවේ හෝ විදේශවල තිබෙන කිසි ම ගිණුමකට සත පහක්වත් ඇවිල්ලා නැහැ."

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා ඇමතූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස පැවසීය:

"මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කලින් තුන්වන සැකකරු අධිකරණය හමුවට පැමිණිය යුතුයි. ඔහු අධිකරණයට නොපැමිණ නිසා තමයි වරෙන්තු නිකුත් කරලා තිබෙන්නේ."

එම නිසා මෙම කරුණු මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.

SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සැප්. 16 වන දින ය.

කෙසේ වෙතත්, රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (සැප්: 29) නියෝග කළේ ය.

ඒ, ඔහු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ය.