නව යොවුන් දරුවන්ට සම ගැන ඇති ගැටලුවලට සරල සත්කාර විසඳුම්: විශේෂඥ උපදෙස් 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කැමිලා හොරොක්ස්
- Role, සෞඛ්‍ය වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
සමාජ මාධ්‍ය හේතුවෙන් යොවුන් වියේ පසුවන්නන් අතර "කැළැල් නැති සම" (flawless complexion) සහ සංකීර්ණ "ග්ලාස් ස්කින්" (glass skin) සම සත්කාර ක්‍රමවේද ජනප්‍රිය වෙමින් පවතී. එහිදී බොහෝ දෙනා වෘත්තීය විශේෂඥයන්ගේ උපදෙස්වලට වඩා, "Get Ready With Me" (GRWM) වීඩියෝවල බලපෑම්කරුවන් (influencers) ලබාදෙන උපදෙස්වලට ප්‍රමුඛත්වය දෙති.
එහෙත්, නව යොවුන් දරුවන්ට ඇත්ත වශයෙන් ම සංකීර්ණ සම ආරක්ෂණ සත්කාර ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය ද?
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජොනතන් කෙන්ට්ලිගේ මතය අනුව, සමාජ මාධ්‍යයේ බලපෑම් නිසා ඇති වන වඩාත් කණස්සල්ලට කරුණ වන්නේ, "සාමාන්‍ය තත්ත්වයට නොගැලපෙන රූපලාවණ්‍ය ප්රමිතීන් පෙන්නුම් කරන ඡායාරූප" දැකීම ය.
"මම රෝගීන් දහස් ගණනක් දැකල තියෙනවා. ඒත් 'ග්ලාස් ස්කින්' කියා හඳුන්වන සමක් ඇති කිසිවෙකු මම කවදාවත් දැකල නැහැ. මගේ අදහස නම් එවැනි දෙයක් සැබවින් ම නොපවතින බව යි. අධික ලෙස ෆිල්ටර් කළ මෙම රූප නිසා දරුවන්ට එය ළඟා කර ගත හැකි ඉලක්කයක් ලෙස පෙනී යනවා. නමුත් ඇත්ත වශයෙන් ම ඒක එහෙම වෙන්නෙ නෑ," යැයි ඔහු පවසයි.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කෙන්ට්ලි පවසන්නේ, සමේ දෘශ්‍යමාන රෝම සිදුරු (pores), කළු ලප (blackheads), කුරුළෑ සහ අනෙකුත් කැළැල් (blemishes), වර්ණ වෙනස්වීම් (pigmentation), රතු පැහැ ගැන්වීම් (redness) සහ කැළැල් සලකුණු (scarring) යන සියල්ල ම නව යොවුන් වියේ පසුවන්නන්ගේ සමේ දැකිය හැකි ඉතා සාමාන්‍ය ලක්ෂණ බව ය. එහෙත්, එක් එක් පුද්ගලයාගේ 'සාමාන්‍ය' තත්ත්වය වෙනස් වන බවත් ඔහු අවධාරණය කරයි. "ඇත්ත වශයෙන් ම අසාමාන්‍ය යැයි කිව හැකි දෙයක් බොහෝ විට නැහැ," යැයි වෛද්‍ය කෙන්ට්ලි පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වයස අවුරුදු 13 - 18 අතර පසුවන දරුවන්ගෙන් 80%කට අධික පිරිසක් කුරුළෑ ආසාදන අත්විඳිති.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සයිනබ් ලාෆ්තා පැහැදිලි කරන්නේ, නව යොවුන් වියේදී ඇති වන බව කියන සම සම්බන්ධ බොහෝ ගැටලු ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය සමග සම්බන්ධ වන බව ය. එම හෝමෝනය මගින් සමේ තෙල් ඇතිවීම වැඩි කරන අතර, ඒ හේතුවෙන් කුරුළෑ ඇතිවීම ද ප්‍රවර්ධනය වේ.
පිරිමි ළමුන්ට මෙවැනි සමේ ගැටලු වැඩි වශයෙන් අත්විඳිය හැකි වුවද, ගැහැනු ළමුන්ගේ ශරීරයේ ද ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය පවතින බැවින් ඔවුහු ද මෙවැනි ම ලක්ෂණ බොහෝමයක් අත්විඳිති.
"රෝම කූප අවහිර වීම සහ සමේ ආසාදන එක්වීමෙන්, කළු ලප, සුදු ලප සහ කුරුළෑ ඇති වෙනවා," වෛද්‍ය ලෆ්තා පවසයි. "කුරුළෑ කියන්නේ ඉතා සුලභ තත්ත්වයක්. ඒක ප්‍රතිකාර කළ හැකි සාමාන්‍ය දෙයක්," යැයි ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
වෛද්‍ය ලෆ්තා පවසන පරිදි, සමේ තෙල් පිරුණු රෝම සිදුරු තුළට විනිවිද ගොස්, සීබම් තෙල් හා මියගිය සමේ සෛල එකතු වීම ඉවත් කිරීමට උපකාරී වන සාලිසිලික් අම්ලය (salicylic acid), තෙල් සහිත හෝ කුරුළෑ ඇති වීමට ඉඩකඩ වැඩි සමක් ඇති නව යොවුන් වියේ පසුවන්නන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකි ය. කෙසේ වෙතත්, එය අනවශ්‍ය ලෙස හෝ අධික වශයෙන් භාවිත කිරීමෙන් සම වියළීම සහ ඉරි තැලීම ඇති විය හැකි බවට ඇය අනතුරු අඟවයි.
දරුණු කුරුළෑ තත්ත්වයක් හෝ බරපතළ සමේ ගැටලුවක් ඔබට තිබේ නම්, එය පාලනය කර ගන්නේ කෙසේදැයි සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ උපදෙස් අනුගමනය කරනවාට වඩා, ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම සුදුසු බව වෛද්‍ය කෙන්ට්ලි පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එසේ නම්, නව යොවුන් වියේ සම නිසි ලෙස රැකබලා ගන්නේ කෙසේ ද? චර්ම රෝග විශේෂඥයන් වන වෛද්‍ය සයිනබ් ලෆ්තා සහ වෛද්‍ය ජොනතන් කෙන්ට්ලි මූලික උපදෙස් 05ක් මෙසේ පැහැදිලි කරති:
1. ඔබේ සමට සරල සත්කාර ක්‍රම පමණක් අනුගමනය කරන්න
ඔබට අවශ්‍ය වන්නේ මූලික ද්‍රව්‍ය 3ක් පමණි:
• මෘදු පිරිසිදුකාරකයක් (gentle cleanser)
• සුවඳ ද්‍රව්‍ය අඩංගු නොවන මොයිස්චරයිසර් එකක් (fragrance-free moisturiser)
• SPF 30 හෝ ඊට වැඩි, පුළුල් ආරක්ෂාවක් ලබාදෙන සන්ස්ක්‍රීන් එකක් (broad-spectrum sunscreen)
2. වැඩිපුර සම සත්කාර නිෂ්පාදන භාවිත කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත නොහැක
නිතර සම පිරිසිදු කිරීම හෝ ප්‍රබල අම්ල භාවිත කරන සංකීර්ණ සම සත්කාර ක්‍රමවේද මගින් නව යොවුන් වියේ සමට අසාත්මිකතා ඇති විය හැකි ය. නව යොවුන් වියේදී සමේ ස්වාභාවික ආරක්ෂිත ස්ථරය තවමත් වර්ධනය වෙමින් පවතින බැවින්, එයට හානි සිදුවීමේ අවදානමක් ද පවතී.
වෛද්‍ය කෙන්ට්ලි පවසන්නේ, perioral dermatitis ලෙස හඳුන්වන තත්ත්වය යොවුන් වියේ පසුවන්නන් අතර සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව ය. ඔහු පෙන්වා දෙන්නේ, සමේ ආරක්ෂිත ස්ථරයට හානි කළ හැකි exfoliating hydroxy acids සහ retinoids වැනි අමුද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම සමග මෙම තත්ත්වය ඇති විය හැකි බව ය.
වෛද්‍ය ලෆ්තා මෙසේ පවසයි:
"යොවුන් වියේ පසුවන්නන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ සම සත්කාර ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා. එහිදී සීරම්, ටෝනර්, මුහුණු ආවරණ (masks) සහ විවිධ සක්‍රීය අමුද්‍රව්‍ය රැසක් භාවිත කරනවා. මේවායින් සමේ ආරක්ෂිත ස්ථරය දුර්වල වී, තවත් සමේ ගැටලු ඇති වීමට හේතු වෙන්න පුළුවන්."
3. ප්‍රමාණවත් නින්දක් සහ සමබර ආහාර වේලක් ඉතා වැදගත් ය
සුදු සහල්, සුදු පාන්, පැස්ටා වැනි පිරිපහදු කළ කාබෝහයිඩ්රේට් සහ සීනි වැඩි ආහාර අනුභව කිරීම මෙන් ම ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා කෝටිසෝල් (cortisol) හෝමෝන මට්ටම ඉහළ යා හැකි අතර, ඒවා කුරුළෑ මතුවීම සමග සම්බන්ධ වී ඇති බව පර්යේෂණවලින් පෙන්නුම් කර තිබේ.
වෛද්‍ය ලෆ්තා ප්‍රමාණවත් රාත්‍රී නින්දක වැදගත්කම ද අවධාරණය කරයි.
"නින්ද නොලැබීමෙන් කෝටිසෝල් මට්ටම් ඉහළ යන බව අපි දන්නවා. කෝටිසෝල් යනු ආතතියට සම්බන්ධ හෝමෝනයක් වන අතර, එය කුරුළෑ මතු වීමට හේතු විය හැකි යි," යැයි ඇය පවසයි.
මේ අතර, වෛද්‍ය කෙන්ට්ලි පවසන්නේ, සුදු සහල් සහ පැස්ටා වැනි කාබෝහයිඩ්රේට් බහුල ආහාර, සීනි වැඩි ආහාර රටා සහ ප්‍රෝටීන් බහුල පානවල අඩංගු whey protein නමැති ද්‍රව්‍ය කුරුළෑ වැඩි වීමට බලපාන බව අධ්‍යයනවලින් හෙළි වී ඇති බව ය.
කෙසේ වෙතත්, ඔහු අවධාරණය කරන්නේ, එක් එක් පුද්ගලයාගේ සම වෙනස් වන බව ය.
4. කුරුළෑ මිරිකන්න හෝ පුපුරවන්න එපා
කුරුළෑ මිරිකීමෙන් හෝ පිපිරවීමෙන් ඒවායෙහි ඇති ස්රාවය සම තුළට තවත් ගැඹුරට තල්ලු විය හැකි අතර, එමගින් ඉදිමුම් තත්ත්වය වැඩි වීමේ අවදානමක් පවතී. එය පසුව ස්ථිර කැළැල් සහ සමේ වර්ණය වෙනස්වීම් සිදුවීමට ද හේතු විය හැකි ය.
වෛද්‍ය ලෆ්තා පවසන්නේ, සමාජ මාධ්‍යවල ජනප්‍රිය වී ඇති pimple hydrocolloid star patches භාවිත කිරීම තමන් අනුමත කරන ක්‍රමයක් බව ය.
"මේවා මතුපිට ඇති කුරුළෑවලින් දියර අවශෝෂණය කර ගනිමින් ක්‍රියා කරන අතර, කුරුළෑ අතගෑම හෝ මිරිකීම වැළැක්වීමට උපකාරී වන ආරක්ෂිත ආවරණයකුත් නිර්මාණය කරනවා," ඇය පැහැදිලි කරයි.
5. වෛද්‍යවරයකු හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න
දිගු කාලයක් පවතින, වේදනාකාරී කුරුළෑ තත්ත්වයක් හෝ කැළැල් ඇති කරන කුරුළෑ තිබේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් ය. එවැනි අවස්ථාවලදී බොහෝවිට සාමාන්‍ය වෙළෙඳසල්වලින් ලබාගත හැකි නිෂ්පාදනවලට වඩා, වෛද්‍යවරයෙකු නිර්දේශ කරන ඖෂධමය ප්‍රතිකාර ලබා ගැනීම වඩා සාර්ථක ය.
පිරිමි ළමුන් කුමක් කළ යුතු ද?
නව යොවුන් වියේදී ඇති වන බව කියන "සමේ ගැටලු" ලෙස සලකන බොහෝ දෑ, ඇන්ඩ්‍රොජන් නම් හෝමෝනය සමග සම්බන්ධ වේ. මෙම හෝමෝනය ගැහැනු ළමුන්ගේ ශරීරයේ ද පවතින නමුත්, එය පිරිමි ළමුන් තුළ වඩාත් බහුලව දක්නට ලැබේ.
"ඒ නිසා පිරිමි ළමයින්ගේ සම සමහර විට තෙල් ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට කුරුළෑත් වැඩි වශයෙන් ඇති විය හැකි යි. ඒ වගේ ම, පිරිමි ළමයින්ගේ මූණේ රෝම වර්ධනය වීම සහ රැවුල කපන්න හුරුපුරුදු වෙන කාලයත් ඒක ම නිසා, පිරිමි ළමයින්ගේ මුහුණේ කුරුළෑ වැඩිපුර ඇති වෙන්න පුළුවන්," වෛද්‍ය කෙන්ට්ලි පැහැදිලි කරයි.
"ඔබ නිසි ආකාරයෙන් රැවුල කැපීම සිදු නොකරන්නේ නම්, folliculitis නම් තත්ත්වය සැලකිය යුතු ලෙස ඇති විය හැකියි. එය කුරුළෑ සමග යම් අන්දමක සම්බන්ධතාවක් ඇති සමේ ආසාදන තත්ත්වයක්. එමගින් සමේ ආරක්ෂිත ස්ථරයට ගොඩක් හානි වෙන්න පුළුවන්," යැයි වෛද්‍ය කෙන්ට්ලි පවසයි.
සම ආරක්ෂා කර ගනිමින් රැවුල කැපීම සඳහා වෛද්‍ය කෙන්ට්ලිගේ ප්‍රධාන උපදෙස් මෙන්න:
- නෑමෙන් පසු රැවුල කපන්න. එවිට සම උණුසුම් වී, වාෂ්පයට නිරාවරණය වී ඇති බැවින් රැවුල කැපීම සඳහා හොඳින් මුහුණ සූදානම් වේ.
- රැවුල් රෝම සමෙන් ඉහළට ඔසවා තැබීමට ෂේවිං බුරුසුවක් (shaving brush) භාවිත කරන්න.
- ෂේවිං ෆෝම් හෝ ෂවර් ජෙල් වැනි ලිහිසි ගුණ ඇති නිෂ්පාදනයක් මුහුණේ තවරා රැවුල කපන්න. මෙය ඝර්ෂණය අඩු කර සමට හානිවීම් වළක්වයි.
- සෑම විට ම රෝම වැඩෙමින් පවතින දිශාවට ම රැවුල කපන්න.



































