සහෝදරියගේ මරණය තහවුරු කරන්න ඇටසැකිල්ල බැංකුවකට ඔසවාගෙන ගිය සහෝදරයෙක්

जीतू मुंडा

ඡායාරූප මූලාශ්‍රය, RAKHI GHOSE

ඡායාරූප ශීර්ෂ වැකිය, ජිතු මුණ්ඩා බැංකුවට ඇතුළු වූ වහා ම එහි සිටි සේවකයෝ සහ ගනුදෙනුකරුවෝ පුදුමයට පත් වූහ
    • Author, රාඛි ගෝෂ්
    • Role, බීබීසී හින්දි සේවය, කියොන්ජාර් සිට
  • කියවීමේ කාලය: මිනිත්තු 4

52 හැවිරිදි ජිතු මුණ්ඩා ඇටසැකිල්ලක් උරහිසේ තබාගෙන බැංකුවට ඇතුළු වූ විට ඔඩීෂාහි කියොන්ජාර් දිස්ත්‍රික්කයේ බැංකුවක සේවකයෝ සහ ගනුදෙනුකරුවෝ සඳුදා (අප්‍රේල් 27) දහවල් පුදුමයට පත්වූහ.

එම බැංකුව පැට්නා බ්ලොක්හි මල්ලිපෝෂි ගම්මානයේ පිහිටි ඔඩිෂා ග්‍රාමීන් බැංකුවේ ශාඛාවකි.

පැට්නා බ්ලොක්හි දියනාලි ගම්මානයේ පදිංචිකරුවෙකු වන ජිතු මුණ්ඩා, ඔහුගේ සහෝදරියගේ ග්‍රාමීන් බැංකු ගිණුමෙන් ඉන්දීය රුපියල් 19,300ක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි.

ඔහුගේ 56 හැවිරිදි සොහොයුරිය වන කල්රා මුණ්ඩා විවාහ වී සිටියේ අසල්වැසි ජජ්පූර් දිස්ත්‍රික්කයේ සුක්රු මුණ්ඩා සමග ය.

කල්රා මුණ්ඩා සහ සුක්රු මුණ්ඩාට පුතෙක් ලැබිණි. නමුත් ඇගේ සැමියා සහ පුතාගේ මරණයෙන් පසු, ඇය ඩයනාලිහි ඇගේ මවගේ නිවසට ආපසු ගොස්, ජීවිකාව ගෙන යාම සඳහා දවසේ වැටුප් ලබන කම්කරුවෙකු ලෙස සේවය කළා ය.

මාස කිහිපයකට පෙර, කල්රා ඇගේ එක් වසු පැටවෙකු විකුණා එයින් ලැබුණු ඉන්දීය රුපියල් 19,300ක් ඇගේ ගිණුමට බැර කර තිබිණි.

ජිතු ඇටසැකිල්ල බැංකුවට ගෙන ආවේ ඇයි?

සහෝදරියගේ ඇට සැකිල්ල රැගෙන යන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, RAKHI GHOSE

ඡායාරූප ශීර්ෂ වැකිය, බැංකු සේවකයින් තමාට ඇහුම්කන් නොදුන් බවත්, පසුව ඇටසැකිල්ල රැගෙන බැංකුවට පැමිණි බවත් ජිතු මුණ්ඩා පවසයි

මාස දෙකකට පෙර කල්රා මුණ්ඩා මිය ගිය අතර ඇගේ සහෝදරයා වන ජිතු මුදල් ලබා ගැනීමට බැංකුවට ගොස් තිබේ.

"මගේ නංගි මාස දෙකකට කලින් මැරුණා කියලා බැංකු කළමනාකරුට තේරුම් කරන්න මම කිහිප වතාවක් ම ආවා. බැංකු කළමනාකරු මට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරලා ගිණුම් හිමියා එක්කන් එන්න කියලා හෝ නීත්‍යනුකූල උරුමක්කාරයාගේ ලියකියවිලි ගෙනැත් දීලා මරණය ගැන සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා දිගට ම කියද්දී, මම කලකිරිලා ඇටසැකිල්ල අරන් ආවා සාක්ෂි පෙන්වන්න," ජිතු පවසයි.

ඔහු ගමේ සුසාන භූමියට කිලෝමීටර් තුනක් ඇවිද ගොස්, තම සහෝදරියගේ දේහය පිටතට ගෙන, ගෝනියක දමා, දැඩි රස්නය මැද තම උරහිස් මත තබාගෙන ගියේ ය.

බැංකු පරිශ්‍රයේ සිටි සේවකයෝ සහ ගනුදෙනුකරුවෝ මෙයින් පුදුමයට පත්වූහ. බැංකුව වහා ම පොලිසිය සහ ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලය අමතා තිබේ.

පොලිසිය සහ ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලය ජිතුගේ ඉල්ලීමට සවන් දෙන බව ඒත්තු ගැන්වූ අතර ඇටසැකිල්ල නැවත එම ආදාහන භූමියට ම ගෙන යන ලෙස ඉල්ලා සිටියේ ය. ඉන්පසු ජිතු ඇටසැකිල්ල උරහිස් මත තබාගෙන කිලෝමීටර් තුනක් දුරින් පිහිටි ආදාහන භූමියට ඇවිද ගියේ ය.

දිස්ත්‍රික් පරිපාලනය නිකුත් කළ නිවේදනය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ජිතු මුදල් ලබා ගැනීමට ආව ම මම කිව්වේ අදාළ පුද්ගලයා මෙහි සිටිය යුතුයි කියලා. මුලදී, ඔහු පැවසුවේ ඔහුගේ සහෝදරිය අංශභාග රෝගයෙන් පෙළෙන ඒ නිසා එන්න බෑ කියලා. බැංකු කාර්ය මණ්ඩලය ඔයාගේ ගෙදරට එයි කියලා කිව්වම, ඔහු කිව්වා ඇය මිය මිය ගිහින් කියලා," ඔඩීෂා ග්‍රාමීන් බැංකුවේ කළමනාකරු සුෂාන්ත් කුමාර් සේති පැවසුවේ ය.

පසුගිය මාස දෙක තුළ ජිතු කිසි විටෙකත් මුදල් ලබා ගැනීමට බැංකුවට පැමිණ නොමැති බව බැංකු කළමනාකරු පැවසීය. කල්රාට තවත් නීත්‍යානුකූල උරුමක්කාරයන් දෙදෙනෙකු සිටින බවත්, ඔවුන් ද මුදල් ලබා ගැනීමට බැංකුවට පැමිණි බවත්, එබැවින් බැංකුව ජිතුගෙන් නීතිමය ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

අප්‍රේල් 28 වන දින සිදු කළ විමර්ශනයෙන් පසු, ගිණුමේ තැන්පත් කර තිබූ ඉන්දීය රුපියල් 19,410ක් ජිතු සහ කල්රාගේ (ඇගේ සහෝදරයා සහ සහෝදරිය) තවත් නීත්‍යානුකූල උරුමක්කාරයන් දෙදෙනෙකුට භාර දෙන ලදී.

"අපි එයාලට කිව්වා ඒ මුදල සමානව බෙදා ගන්න කියලා," පොලිසිය පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ඔඩීෂා ප්‍රාන්තයේ ආදායම් අමාත්‍ය සුරේෂ් පුජාරි පැවසුවේ, දානා මංජිගේ සිදුවීමෙන් පසු ඔඩීෂාවේ සිදු වූ දෙවන එවැනි සිදුවීම මෙය බව යි. [2016 වසරේ දානා මංජි නම් ඉන්දියාවේ දුගී මිනිසෙක් තම බිරිඳගේ දේහය රැගෙන යාමට ගිලන් රථයක් ලබා දීමට රෝහල අපොහොසත් වීමෙන් පසු කිලෝමීටර් 12ක දුරක් ඇගේ දේහය ඔසවාගෙන ගියේ ය.]

දිස්ත්‍රික් ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත්, බැංකු කළමනාකරුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.

මේ වන විට කියොන්ජාර් දිස්ත්‍රික් පරිපාලනය මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

"ජනතාවගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම දිස්ත්‍රික් පරිපාලනයේ මූලික අරමුණයි," යනුවෙන් දිස්ත්‍රික් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම කල්රා මුණ්ඩාගේ සහෝදරයා වන ජිතු මුණ්ඩාට දිස්ත්‍රික් රතු කුරුස අරමුදලෙන් රුපියල් 30,000 ක මූල්‍ය ආධාර ලබා දුන් බව දිස්ත්‍රික් පරිපාලනය පවසා තිබේ.

පරිපාලනය පවසා ඇත්තේ "මේ හැර, ඔහුට මරණ සහතිකය සහ නීත්‍යානුකූල උරුමක්කාර සහතිකය නිකුත් කර ඇති" බවයි.

අනාගතයේදී කිසිදු අසරණ පුද්ගලයෙකුට එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවන බව සහතික කිරීමට සම්පූර්ණයෙන් ම කැපවී සිටින බව දිස්ත්‍රික් පරිපාලනය ද පවසා තිබේ.