වසර 4ක සිර දඬුවමෙන් නිදහස් වීමට ඥානසාර හිමි ගොනු කළ අභියාචනයට ලැබුණු තීන්දුව

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවම අභියාචනාධිකරණය අද (නොවැ: 18) තහවුරු කළේ ය.

විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ, අදාළ දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමිනි.

අභියාචනාධිකරණ විනිසුරුගෙන් බෞද්ධ දර්ශනය ගැන ලැබුණු පණිවුඩය

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මෙසේ පැවසීය.

"බෞද්ධ දර්ශනය තුළින් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ආදරය, කරුණාව, මෛත්‍රිය යනාදී ගුණාංග තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ දකින්නට තිබෙන්නේ. ඒ තුළ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කිසිදු සඳහනක් නෑ. ආගමික නායකයින් තුළ යහපත් දිවි පෙවෙතක් මෙන් ම ආගමානුකූලව පිහිටා කටයුතු කළ යුතු යි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා මහාධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බව පැහැදිලි වෙනවා."

ඒ අනුව මහාධිකරණ තීන්දුවට මැදිහත් වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත්, විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේ ය.

ඒ අනුව මෙම නඩු තීන්දුවේ පිටපත් අවශ්‍ය පියවර ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසත් විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ ය.

2016 මාර්තු 30 වන දින කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පැවති කූරගල විහාරස්ථානය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදී පළකරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

එම චෝදනාවලට වැරදිකරු කෙරුණඅ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවම් නියම කළේ ය.

එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.