ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් ගැන ඉන්දීය විදේශ ඇමතිගෙන් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු ඉක්මනින් නිදහස් කර නැවත ගෙන්වා ගැනීම සඳහා රජය ද්විපාර්ශවික යාන්ත්‍රණ සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඉන්දීය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ලෝක් සභාවට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ජාත්‍යන්තර සමුද්‍රීය සීමා රේඛාව (IMBL) තරණය කිරීම සම්බන්ධයෙන් නිතර අත්අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවරයින්, විශේෂයෙන් තමිල්නාඩු ධීවරයින්ගේ ආරක්ෂාව සහ ශුභසාධනය සඳහා ඉන්දීය රජය ඉහළ ම ප්‍රමුඛතාව ලබා දෙන බව ය.
තමිල්නාඩු රජයේ නියෝජිතයින් ඇතුළත් ඉන්දියා-ශ්‍රී ලංකා ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම වැනි ආයතනික යාන්ත්‍රණ හරහා ධීවරයින් සම්බන්ධ වන ගැටලු ද සාකච්ඡා කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ගැන වාර්තාවක්
2026 ජූලි 31 වන දිනය විට තමිල්නාඩු ධීවරයින් 27 දෙනෙකු සහ ධීවර බෝට්ටු 249ක් ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසු වන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෝක් සභාවට දැනුම් දුන්නේ ය.
ඉන්දීය ලෝක් සභාවේදී හෙළිකරන ලද දත්තවලට අනුව, ශ්‍රී ලංකා බලධාරීන් 2026 වසරේදී තමිල්නාඩු ධීවරයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන බෝට්ටු 17ක් සිය භාරයට ගෙන ඇත. 2025 වසරේදී ඉන්දීය ධීවරයින් 317 දෙනෙකු සහ බෝට්ටු 43ක් සිය භාරයට ගෙන ඇත. 2024 දී ධීවරයින් 526ක් සහ බෝට්ටු 72ක් ශ්‍රී ලංකා බලධාරීන් සිය භාරයට ගෙන ඇති බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
අත්අඩංගුවේ පසුවන ධීවරයින්ට ලබා දුන් සහන
එමෙන් ම, පසුගිය වසර තුන තුළ බලපෑමට ලක්වූ ධීවරයින් සහ ඔවුන්ගේ පවුල්වලට සහය වීම සඳහා ඉන්දීය රජය ඉන්දීය රුපියල් කෝටි 1.84කට වඩා වටිනා ආධාර ලබා දී ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සහ ඔවුන් නිදහස් කර නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සහය ලබා දීම වෙනුවෙන් ඉන්දීය දූත මණ්ඩල සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලවල නිලධාරීන් නිතිපතා රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාර වෙත පැමිණෙන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
මෙම ගැටලුව විසඳීම සහ ඉන්දීය ධීවරයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසීය.


































