ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පන්දුව පළුදු කිරීමට මැදිවූ බැන්ක්‍රොෆ්ට්ගේ හෙළිදරව්වෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක
- Author, ස්ටෙෆාන් ෂෙමිල්ට්
- Role, ක්‍රිකට් වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
2018 වසරේ සිදුවූ වැලි කඩදාසි (Sandpaper) සිද්ධිය පිළිබඳ කුමන්ත්‍රණය ගැන මුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් දැන සිටි බවට කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් කරන ලද ආන්දෝලනාත්මක හෙළිදරව්වත් සමග වත්මන් නායක පැට් කමින්ස් ඇතුළු ඔස්ට්‍රේලියා කණ්ඩායම මත දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
'ද වෙස්ට් ඔස්ට්‍රේලියන්' (The West Australian) පුවත්පත මගින් ප්‍රකාශයට පත් කරන ලද සවිස්තරාත්මක සාක්ෂියක, මීට වසර අටකට පෙර දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේදී වැලි කඩදාසියක් ළඟ තබාගෙන සිටියදී හසුවූ පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට්, කේප් ටවුන්හිදී සිදුවූ සිද්ධිය පිළිබඳ වඩාත් ම සම්පූර්ණ විස්තරය ඉදිරිපත් කර ඇත.
"2018 දී සම්පූර්ණ සත්‍යය හෙළි වුණේ නැහැ. සිදුවූ දේ ගැන මම කවදාවත් සම්පූර්ණයෙන් ම අවංක වුණේ නැහැ," යැයි බැන්ක්‍රොෆ්ට් පැවසීය.
උස්මාන් කවාජාගේ ස්වයං චරිතාපදානය ප්‍රකාශයට පත් කිරීමත් සමග පසුගිය සති දෙක පුරා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්රය මෙම පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳ විවාදයකට මැදි වී තිබේ.
මෙම කුමන්ත්‍රණය පිළිබඳව සමස්ත ඔස්ට්‍රේලියානු කණ්ඩායම ම දැන සිටි බව කවාජා සිය කෘතියේ ලියා ඇති අතර, ඩේවිඩ් වෝනර් සහ චැඩ් සේයර්ස් ද එම ප්‍රකාශයට සහය පළ කර තිබිණි. කෙසේ වෙතත්, කමින්ස් පසුගිය දා කවාජාගේ ප්‍රකාශය "වැරදි" සහ "විකාර" එකක් ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කළේ ය.
වැලි කඩදාසි සිද්ධිය සම්බන්ධයෙන් සංවාදයක් පිහිටුවන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළ දිනයේදී ම බැන්ක්‍රොෆ්ට් සිය ප්‍රකාශය නිකුත් කළ අතර, කමින්ස් පැවැත්වූ මාධ්‍ය හමුව ඊට හේතු වූ බව ඔහු පැහැදිලි කළේ ය.
"මෙම විස්තරය ලිවීමට මට බලපෑ අවසන් හේතුව වුණේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස්ගේ මාධ්‍ය හමුවයි," බැන්ක්‍රොෆ්ට් පැවසීය.
"ඒකෙන් මට තරහක්, පාවාදීමක් වගේ ම තනිකමක් දැනුණා."
"දකුණු අප්‍රිකානු සංචාරයේදී ඔහු විතරක් නෙමෙයි අනෙක් සියලු දෙනා සමග මා දුටු, අත්විඳපු සහ කරපු දේ, කමින්ස් සිය මාධ්‍ය හමුවේදීත් මීට පෙර වසරවලදී මේ ගැන කතා කරන විටත් ඉදිරිපත් කළ ප්‍රසිද්ධ ප්රකාශයන්ට වඩා හාත්පසින් ම වෙනස්."
මෙම සිද්ධියට සම්බන්ධ වීම හේතුවෙන් ආරම්භක පිතිකරු බැන්ක්‍රොෆ්ට්ට මාස නවයක තරග තහනමක් පැනවිණි.
ස්ටීව් ස්මිත්ගේ ඔස්ට්‍රේලියානු නායකත්වය අහිමි කර වසරක තහනමක් පැනවූ අතර, උපනායක වෝනර්ට ද එම තහනම ම පැනවිණි. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට හෝ පුහුණුකරුවෙකුට දඬුවම් නොලැබිණි.
වචන 4,000කට අධික සිය ලිපිය මගින් බැන්ක්‍රොෆ්ට් පහත කරුණු හෙළි කර ඇත:
- බැන්ක්‍රොෆ්ට් හසුවූ තරගයට පෙර තරගය වූ දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී පළමු වරට වැලි කඩදාසි භාවිත කර තිබිණි.
- පන්දුව "ප්‍රමාණවත් ලෙස දෝලනය වන්නේ ද" යන්න පිළිබඳව බැන්ක්‍රොෆ්ට් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් වන කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හේසල්වුඩ් සහ මිචෙල් මාෂ් සමග සාකච්ඡා කර තිබිණි.
- දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයට පෙර, මුළු ක්‍රීඩක කණ්ඩායම සහ කාර්ය මණ්ඩලය වැලි කඩදාසියේ බලපෑම පිළිබඳව "සැමරුමක්" පවත්වා තිබිණි.
- තෙවන ටෙස්ට් තරගය අතරතුර බැන්ක්‍රොෆ්ට් හසුවූ විට, එවකට ඔස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන්, අතිරේක ක්‍රීඩක පීටර් හැන්ඩ්ස්කොම්බ්ට පවසා ඇත්තේ, "දැන් ම බැන්ගර්ස් ළඟ තියෙන වැලි කඩදාසිය අරගන්න" යනුවෙනි.
- 2021දී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම තමන්ට "දැඩි වේදනාවක්" ගෙන දුන් බව බැන්ක්‍රොෆ්ට් පවසයි.
කවාජාගේ ස්වයං චරිතාපදානය සහ ඉන් අනතුරුව වෝනර් සහ වේගපන්දු යවන ක්‍රීඩක සේයර්ස් විසින් කරන ලද ප්‍රකාශ, වැලි කඩදාසි සිද්ධියට අදාළ පැරණි තුවාල යළි පාරවා තිබේ.
එසේ වුව ද, සිද්ධියට සම්බන්ධ වූ ක්‍රීඩකයෝ පසුගිය වසර අට පුරාවට ම තමන් ඉදිරිපත් කළ ස්ථාවරයන්හි ම රැඳී සිටියහ.
වඩාත් ම වැදගත් ප්‍රතික්ෂේප කිරීම පැමිණියේ කමින්ස්ගෙනි. ඔහු සිඩ්නි නුවරදී මාධ්‍ය අමතමින් පැවැත්වූ මිනිත්තු 68ක විශේෂ මාධ්‍ය හමුවේදී කවාජාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේ ය. ලීමන් සහ ස්ටාර්ක් ද තම ප්‍රතික්ෂේප කිරීම් යළිත් අවධාරණය කර තිබේ.
දැන්, බැන්ක්‍රොෆ්ට් විසින් සපයන ලද මෙම පුළුල් තොරතුරු මගින් මෙම මතභේදය පිළිබඳ නව ආලෝකයක් විහිදුවිය හැකි අතර කමින්ස්, ලීමන් සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත තවදුරටත් ප්‍රශ්න එල්ල වීමට ඉඩ ඇත.
කමින්ස් දෙසැම්බර් 9 වන දින නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාව මෙහෙයවීමට නියමිත ය.
කමින්ස් වෙනුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ: "කැම් ගැන සහ ඔහු මුහුණ දුන් සෑම දෙයක් ගැන ම අපට කනගාටුවක් දැනුණත්, පැට් සිය මාධ්‍ය හමුවේදී පිළිතුරු නොදුන් කිසිවක් එම ප්‍රකාශයේ අඩංගු නොවේ," යනුවෙනි.
"කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කතාව පැවසීමට ගත් පියවරට අපි ගරු කරන අතර, ඔහුගේ අදහස් සලකා බැලීමට අපි කාලය ගන්නවා," ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක එසේ සඳහන් විය.
"2018 සිදුවීම සම්බන්ධයෙන් පැති කිහිපයක් ඇතැයි අප අපේක්ෂා කරන අතර, අදාළ සිදුවීම පිළිබඳ ක්‍රීඩකයින්ගේ අදහස් ඉදිරිපත් කරන්න අප සංසදයක් පිහිටුවා තිබේ."
" අපි එහි සාක්ෂි රැස් කිරීමේ කාර්ය පටිපාටිය අවසන් කරමින් සිටින අතර හැකි ඉක්මනින් එහි විමර්ශන ක්‍රියාවලිය ආරම්භ කරන්නෙමු."
සිය විස්තරයේදී බැන්ක්‍රොෆ්ට් මෙසේ පැවසීය: "ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම අවස්ථාවකදී මම ඉගෙන ගත්ත පාඩම්, වගවීම සහ අවංකභාවය ගැන කතා කරමින් මම වසර අටක් ගත කළා.
"කොහොම වුණත්, 2018දී සම්පූර්ණ ඇත්ත හෙළි වුණේ නැහැ. සිදුවූ දේ ගැන මම සම්පූර්ණයෙන් ම අවංක වුණේ නැහැ.
"දකුණු අප්‍රිකාවේදී මම පන්දුව පළුදු කරන්න වැලි කඩදාසි යොදා ගත්ත එක ගැන දැනගෙන හිටියේ ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් හා මම විතරක් නෙමෙයි. මුළු කණ්ඩායම ම ඒ ගැන දැනගෙන හිටියා."
"ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ පරීක්ෂණයේදී මගෙන් ප්‍රශ්න කළා ම, මම සම්පූර්ණයෙන් ම ඇත්ත තොරතුරු ලබා දුන්නේ නැහැ.
"වැලි කඩදාසි භාවිතය ආරම්භ වූයේ කවදා ද, එය කොපමණ කාලයක් පැවතුණා ද, සහ අනෙක් අයගේ මැදිහත්වීම සහ දැනුවත්භාවය ඇතුළු වැදගත් තොරතුරු මම සැඟවූවා.
"මා ඒ කරුණු සැඟවූයේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ පරීක්ෂණය ආරක්ෂා කිරීමට සහ මා වටා සිටි අනෙක් අයව ඒකට පටලවා නොගන්න යි."
දෙවන දිනය අවසානයේ සහ තෙවන දිනය ආරම්භයට පෙර මුළු කණ්ඩායම ම තමන්ගේ ක්‍රියාවන් "සාකච්ඡා කළ" සහ "පිළිගත්" බව බැන්ක්‍රොෆ්ට් පැවසීය. පසුව එංගලන්ත කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ සේකර් විසින් තමන්ව ඊට දිරිමත් කළ බව ද ඔහු සඳහන් කළේ ය.
බැන්ක්‍රොෆ්ට්ට අනුව, පන්දුව පළුදු කිරීම පිළිබඳව කණ්ඩායම තුළ අප්‍රසාදය පළ කළ එක ම පුද්ගලයා වූයේ මාධ්‍ය කළමනාකාරිනී කේට් හචිසන් ය.
"ක්‍රීඩකයන්ගෙන් සහ පුහුණු කාර්ය මණ්ඩලයෙන්, විශේෂයෙන් ඩේවිඩ් සේකර්ගෙන් මට ප්‍රශංසා කිරීම් වගේ ම දිරිගැන්වීම් ලැබුණා," බැන්ක්‍රොෆ්ට් පැවසීය.
"අපේ මාධ්‍ය කළමනාකාරිනී කේට් හචිසන් සිද්ධ වෙන දේ ගැන විරෝධය පළ කළා.
"ඒක වැරදි දෙයක් කියලා ඇය විශ්වාස කරන බවත්, ඒකට කිසි ම විදිහකින් සම්බන්ධ වෙන්න ඇයට අවශ්‍ය නැති බවත් ඇය පැහැදිලිව කියලා, ඇය ඒ සාකච්ඡාවෙන් ඉවත් වෙලා ගියා මට මතක යි."
"මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. කවුරුහරි ඒකට විරුද්ධව හඬ නැගුවා.
"කණ්ඩායමේ සාමාජිකයෙකු වෙනවා කියන්නේ කණ්ඩායම කරන හැම දෙයක් ම පිළිගන්න සිදුවෙනවා කියන එක නෙමෙයි කියලා කවුරු හරි පෙන්නලා දුන්නා. නමුත් මම ඒක නොසලකා හැරියා."
කේප් ටවුන්හි පැවති තෙවන ටෙස්ට් තරගයේදී පන්දුව සම්බන්ධයෙන් තවත් මහන්සි වී වැඩ කරන ලෙස තමන්ව දිරිමත් කළ බවට කවාජා විසින් සඳහන් කළ පුහුණුකරු සේකර් බව බැන්ක්‍රොෆ්ට් හඳුනාගත් බව ය. 33 හැවිරිදි ඔහු පැවසුවේ, නායකත්වයෙන් ඉවත් කරනු ලැබූ ස්මිත් වෙනුවට නායකත්වය භාරගත් විකට් රකින්නා වූ ටිම් පේන් සහ සියලු පන්දු යවන්නන්ගෙන් තමන් ඊට "ප්‍රතිචාර" ලබාගත් බව ය.
කේප් ටවුන්හිදී, බැන්ක්‍රොෆ්ට් සිය කලිසම තුළ වැලි කඩදාසිය සඟවන ආකාරය රූපවාහිනී කැමරාවල සටහන් වීමත් සමග විනිසුරුවරු ඔහුගෙන් ප්‍රශ්න කළහ. ලීමන් විසින් හැන්ඩ්ස්කොම්බ් හරහා තමන්ට පණිවිඩයක් එවූ බව ඔහු පැවසීය.
"මම අහුවුණාට පස්සේ වතුර බොන විවේකයේදී පීටර් හැන්ඩ්ස්කොම්බ් පිටියට දුවගෙන ඇවිත් මගේ කලිසම ඇතුළට වැලි කඩදාසිය එබුවා," බැන්ක්‍රොෆ්ට් ලිවීය.
"ඔහු මට කිව්වා, 'මම හිතන්නේ දැන් මම ඒක ඔයාගෙන් ගන්න වෙලාව හරි' කියලා. පීට් කළේ බූෆ් (ලීමන්) වෝකි ටෝකි යන්ත්‍රයෙන් 'දැන් ම බැන්ගර්ස් ළඟ තියෙන වැලි කඩදාසිය අරගන්න' යනුවෙන් තමන්ට ලැබුණු උපදෙස් අනුව ක්‍රියා කිරීම යි."
"ඔහු ඒ ගැන දැනගෙන හිටියේ නැත්නම් ඔහු එහෙම කියන්නේ නැහැ. කලින් ඒක ප්‍රමාණවත් තරම් පැහැදිලි වුණේ නැත්නම්, දැන් ඒක හොඳට ම පැහැදිලි යි."
2021දී ඩර්හැම් කණ්ඩායම සමග ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී, බැන්ක්‍රොෆ්ට් 'ද ගාඩියන්' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසුවේ, මෙම කුමන්ත්‍රණයට පන්දු යවන්නන්ගේ සම්බන්ධය "අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවන ඕනෑ ම අයෙකුට තේරුම් ගත හැකි දෙයක්" බව ය.
ඊට ප්‍රතිචාර වශයෙන් කමින්ස්, ස්ටාර්ක්, හේසල්වුඩ් සහ දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පන්දුව පළුදු කිරීමක් සිදුවූ බවට තමන් කිසිවක් නොදැන සිටි බව ප්‍රකාශ කළහ.
"එම ප්‍රකාශය කියවීම ම මට දැඩි වේදනාවක් ගෙන දුන්නා," බැන්ක්‍රොෆ්ට් පැවසීය.
"පෝට් එලිසබෙත් සහ නිව්ලන්ඩ්ස් පිටියේදී සිදුවූ සංවාද, පන්දුව පිළිබඳ ප්‍රතිචාර සහ බෙදාගත් සැමරුම් පිළිබඳ මතකයන් නිසා ඒ ප්‍රකාශය මට දරා ගන්න අපහසු වුණා."
විශ්ලේෂණය: තරගයේ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් ඇති විය හැකියි
උස්මාන් කවාජාගේ ස්වයං චරිතාපදානයේ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් සති දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්රය තමන් සමග ම යුද්ධයක පැටලී සිටියේ ය.
නමුත් ඊට පැහැදිලි, ප්‍රබල සාක්ෂියක් නොතිබිණි. ස්පර්ශ කළ හැකි, නව, ශක්තිමත් සාක්ෂි නොමැතිව ඉතිරි වූයේ එකිනෙකාට එරෙහි ප්‍රකාශයන් සහ ප්‍රති-ප්‍රකාශයන් පමණි.
ස්වභාවිකව ම, කේප් ටවුන්හිදී පන්දු යවන්නෙකු ලෙස කටයුතු කිරීම සහ ඉන්පසු වසරවලදී ඔස්ට්‍රේලියානු නායකත්වයට පත්වීම නිසා පැට් කමින්ස් වෙත සියලු අවධානය යොමු විය.
පසුගිය සතියේ සජීවී රූපවාහිනිය ඔස්සේ මාධ්‍ය ඉදිරියේ ඔහු දැක්වූ ක්‍රියාකලාපය අසාමාන්‍ය විය. මිනිත්තු 68ක් පුරා ඔහු සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර ඔහුගේ පිළිතුරු පිළිගත හැකි මට්ටමක පැවතිණි.
කවාජාගේ ප්‍රකාශය "විකාරයක්" ලෙස හඳුන්වමින් එය තරයේ ප්‍රතික්ෂේප කිරීමේදී, පසුව තමන් සත්‍යය නොපැවසූ බව හෙළි වුවහොත් ඊට මුහුණ දීමට සිදුවන ප්‍රතිවිපාකවලට ද නායකයා නිරාවරණය විය.
වැදගත් ම කරුණ නම්, කැමරන් බැන්ක්‍රොෆ්ට්ට හඬ අවදි කිරීමට බල කළේ, කමින්ස්ගේ මාධ්‍ය හමුවයි.
නමුත්, 2018 වසරේදී නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේ ඔස්ට්‍රේලියානු විවේකාගාරයේ සිටි පැට් කමින්ස් හෝ වෙනත් කිසිවෙකු වරදකරු බවට පත් කිරීමට බැන්ක්‍රොෆ්ට්ගේ ප්‍රකාශය ඍජු හා අවසාන සාක්ෂියක් නොවන බව අවධාරණය කළ යුතු ය.
නමුත් එය නිසැකව ම ඊට සම්බන්ධ වූ අයෙකුගෙන් අප ඇසූ වඩාත් ම සම්පූර්ණ විස්තරය වන අතර, කුමන්ත්රණයේ ආරම්භය, එය ක්‍රියාත්මක කිරීම සහ ඉන්පසු ඇති වූ තත්ත්වය පියවරෙන් පියවර විස්තර කරයි. බැන්ක්‍රොෆ්ට් නම් සඳහන් කර ඇත: කමින්ස්, අනෙකුත් පන්දු යවන්නන්, ටිම් පේන්, පුහුණුකරු ඩැරන් ලීමන් සහ සහයක පුහුණුකරු ඩේවිඩ් සේකර් මෙම මුළු සිද්ධිය ම නව දිශාවකට යොමු කරන තීරණාත්මක මැදිහත්වීමක් විය හැකි ය.
අහම්බෙන් හෝ සැලසුම්සහගතව, මෙය සිදුවූයේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වැලි කඩදාසි මතභේදය පිළිබඳ සාක්ෂි විමසීමේ සංසදය ප්‍රකාශයට පත් කළ දිනයේදී ම ය. බැන්ක්‍රොෆ්ට්ගේ ප්‍රකාශයට පෙර ක්‍රිකට් ආයතනයේ ක්‍රියාමාර්ගය සෑහීමකට පත්විය නොහැකි අතරමැදි පියවරක් ලෙස හැඟී ගියේ, එය පරීක්ෂණයක් නොවූ අතර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවට සහතිකයක් ද නොතිබිණි.
මීළඟට කුමක් සිදුවේ ද? ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තවදුරටත් ඉදිරියට යයි ද? බැන්ක්‍රොෆ්ට් විසින් චෝදනා එල්ල කරන ලද පුද්ගලයින් ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී කමින්ස් ඔස්ට්‍රේලියාවට නායකත්වය දෙන්නේ කෙසේ ද? කවාජාගේ පොත ප්‍රකාශයට පත් කළ දා සිට ස්ටීව් ස්මිත් රැකගෙන සිටි නිහඬතාව බිඳ දමයි ද?
පසුගිය දෙසතිය පුරා ම, වැලි කඩදාසි විවාදය ගැන අවධානය ක්‍රමයෙන් පහව වනු ඇතැයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්රය බලාපොරොත්තු වූ බවක් පෙනෙන්නට තිබිණි. තමන්ට කිසි දා ඒ ගැන නැවත කතා කිරීමට අවශ්‍ය නැති බව කමින්ස් පවා පැවසීය.
නමුත් එය මැකී යනවා වෙනුවට, බැන්ක්‍රොෆ්ට්ගේ විශේෂ හෙළිදරව්වෙන් පෝෂණය වෙමින් සත්‍යය සෙවීමේ අවශ්‍යතාව තවත් ඉහළ යමින් පවතී.