ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
SriLankan එයාර්බස් අල්ලස් සිද්ධිය: නාමල් රාජපක්ෂට මහාධිකරණය අද දුන් නියෝගය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
SriLankan ගුවන් සේවයට එයාර්බස් මිල දී ගැනීමේදී අල්ලස් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (නොවැ: 19) නියම කළේ ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබ තිබූ අධිචෝදනා පත්‍ර භාර දීම ද අද සිදුවිය.
අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු
නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය දැන් අවසන් වී ඇති හෙයින් ඔහුගේ නිදහස තවදුරටත් සීමා කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ දූෂණ විරෝධී පනත යටතේ බව පෙන්වා දුන්නේ ය.
එම පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර ඇති විට නඩු විභාගය අවසන් වන තුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ප්රදානය කළ හැක්කේ විශේෂ අවස්ථානුගත කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණක් බවත් සඳහන් කළේ ය.
එහෙත්, මෙම අවස්ථාව වන විට මෙම විත්තිකරුට ඇප ලබා ගැනීම සඳහා විශේෂ අවස්ථානුගත කරුණු ඉදිරිපත් වී නොමැති නිසා විත්තිකරු රිමාන්ඞ් භාරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් අධිකරණයට නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, "දූෂණ විරෝධී පනතේ 149 (2) වගන්තිය ප්‍රකාරව ඇප ප්රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් වීම අවශ්‍ය බව සඳහන් කළේ ය.
මෙම අවස්ථාවේ ඇප පනත අදාළ නොවන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා ඒ අනුව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් වීමක් සිදුවී නොමැති හෙයින් විත්තිකරුගේ නිදහස සීමා නොකරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය.
ඒ අනුව, විත්තිකාර නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් තැබීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ ය.
ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අධිකරණය හමුවේ නොමැති විත්තිකරුවන් වන ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ සාක්ෂි මෙහෙයවීමට අපේක්ෂා කරන බවත් ඊට අදාළව සාක්ෂි ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් පැවසීය.
ඒ අනුව එම සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව අදාළ සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ ය.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ ය.
මෙම නඩුව දෙසැම්බර් මස 02 වන දා යළි කැඳවීමට නියම කෙරිණි.