ට්‍රම්ප්-ෂී සාකච්ඡාවේ 'නොකී කතාව' සහ ගෝලීය දේශපාලනයේ මීළඟ හැරවුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ලෝරා බිකර්
- Role, චීන වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
පසුගිය සතියේ ෂී ජින්පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවලදී එකඟ වූ කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු චීනය සඳුදා දිනයේදී අනාවරණය කළ අතර, ඒ හරහා එහි ප්‍රායෝගික ප්‍රතිඵල කිහිපයක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දුන්නේ ය.
කෙසේ වෙතත්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමක් ද සිදු නොවී ය.
ඒ වෙනුවට, එම හමුව සම්බන්ධයෙන් ආණ්ඩු දෙක ම වෙන වෙන ම ප්‍රකාශ නිකුත් කළේ ය. ධවල මන්දිරයේ සිදු කළ සංචාර සහ යහපත් සබඳතා ගොඩනැගීම පිළිබඳ පොරොන්දු තිබියදීත්, වොෂින්ටනය සහ බිජිං තවමත් එකිනෙකා සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගතව කටයුතු කරන බව මෙයින් ඇඟවීමට හැකි ය.
මෙහි දැක්වෙන්නේ සාකච්ඡාවලදී සිදු වූ දේ පිළිබඳව අප දැන් දන්නා සහ තවමත් නොදන්නා කරුණු හතරකි.
නව AI සංවාදයක් සහ සන්නිවේදන මාර්ගයක්
නව AI සංවාදයක් ඇරඹීමට ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට පැමිණ ඇති බවත්, මීළඟ සාකච්ඡා නොවැම්බර් අගදී පැවැත්වෙන බවත් චීනය පවසයි.
දෙරටම උසස් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා දැඩි තරගයක නිරතව සිටින පසුබිමක, ව්‍යාපාරික කටයුතුවල සිට හමුදා සැලසුම්කරණය දක්වා පුළුල් ලෙස භාවිත වන මෙම තාක්ෂණය සඳහා යම් සීමා මායිම් සහ ආරක්ෂක විධිවිධාන පැනවීමේ අවශ්‍යතාවක් පවතින බව මෙම පියවරෙන් පෙන්නුම් කෙරේ.
වරදවා වටහාගැනීම් හෝ අනපේක්ෂිත වර්ධනයන් පුළුල් ගැටුමක් බවට පත්වීම වැළැක්වීම අරමුණු කරගත් කෘතිම බුද්ධිය ආශ්‍රිත සිදුවීම් සඳහා සන්නිවේදන මාර්ගයක් ස්ථාපිත කිරීමට ද ඔවුන් එකඟ වී ඇත.
Anthropic වැනි ඇමෙරිකානු සමාගම් AI තාක්ෂණය දියුණු කිරීමේ වේගය මඳක් බාල කරන ලෙස ඉල්ලා තිබුණි. ඒ අතරම, OpenAI සමාගම ඕස්ට්‍රේලියාව වැනි රටවල රජයේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වී ඇති බවත්, ඇමරිකානු රජයේ ආයතන කිහිපයක වෙබ් අඩවිවලට බලපෑම් කර ඇති බවත් හෙළි විය. මේ වටපිටාව නිසා, මෙම ට්‍රම්ප්-ෂී හමුවේදී AI තාක්ෂණය සම්බන්ධයෙන් කිසියම් එකඟතාවක් හෝ තීරණයක් ගනීවිද යන්න ගැන ලෝකය ඉතා උනන්දුවෙන් බලා සිටියේය.
වෙළඳ සටන්විරාමය - ඇතුළත් වූ කරුණු සහ මඟහැරුණු කරුණු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
චීන රාජ්‍ය මාධ්‍ය සඳුදා පළමු වරට තහවුරු කළේ වෙළඳ සටන්විරාමය ජනවාරි 10 දක්වා දීර්ඝ කර ඇති බවයි.
මෙම කෙටි දීර්ඝ කිරීම මඟින් නායකයින් දෙදෙනාම මේ වසරේ අගභාගයේදී පැවැත්වෙන ප්‍රධාන ජාත්‍යන්තර සමුළුවලදී නැවත හමුවන බව සහතික කරයි.
නොවැම්බර් මාසයේදී ෂෙන්සෙන් හි පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට ට්‍රම්ප් සහභාගී වන අතර ෂී ලබන දෙසැම්බර් මාසයේදී ජී20 (G20) සමුළුව සඳහා මියාමි වෙත යාමට නියමිතය.
ලොව විශාලතම ආර්ථිකයන් දෙකෙහි නායකයින් මේ අයුරින් නිරන්තරයෙන් හමුවීම දුර්ලභ සිදුවීමකි.
කෙසේ වෙතත්, බීජිං බලධාරීන් සටන් විරාමය තවදුරටත් දීර්ඝ කාලයක් සඳහා දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කර තිබූ බැවින්, මාස දෙකක මෙම සහන කාලය ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස නොව සාපේක්ෂව කුඩා ජයග්‍රහණයක් ලෙස සැලකේ.
ඇමරිකාවට ආනයනය කෙරෙන ඩොලර් බිලියන 30ක (පවුම් බිලියන 23ක) වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අඩු තීරුබදු අනුපාත ලබා ගැනීමට චීනය සමත් වූ අතර, ඊට ප්‍රතිචාරයක් ලෙස බීජිං පාලනයෙන් ද අනුරූපී තීරුබදු අඩු කිරීම් අපේක්ෂා කරයි.
සෙල්ලම් බඩු වල සිට කුඩා ගෘහ උපකරණ සහ නත්තල් සැරසිලි දක්වා ඇමරිකානු වෙළඳසැල් වෙත යන චීන නිෂ්පාදන අඩු තීරුබදු වලින් ප්‍රතිලාභ ලබනු ඇත.
ට්‍රම්ප් පරිපාලනය ද පැවසුවේ 2027 සහ 2028 වසරවලදී බීජිං වාර්ෂිකව අවම වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 10ක ගල් අඟුරු මිලදී ගනු ඇති බව යි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ඇමෙරිකාව තායිවානය මග හරියි - චීනය එසේ නොකරයි
චීනය විසින් එක්සත් ජනපදයට විරල ඛනිජ අපනයනය වැඩි කිරීම ගැන කිසිදු සඳහනක් කර නොතිබුණි. දියුණු ඇමෙරිකානු අර්ධ සන්නායක සඳහා වන සීමාවන් ලිහිල් කරන බවට ද කිසිදු ඇඟවීමක් නොතිබිණි.
ඇමෙරිකාව තායිවානය ගැන සඳහන් නොකළ නමුත් චීනය එසේ කළේ ය.
ධවල මන්දිරයේ කරුණු පත්‍රිකාවේ (factsheet) තායිවානය ගැන කිසිදු සඳහනක් කර නොතිබුණද, එම කරුණ ෂී ජින්පින් හට පැහැදිලිවම ප්‍රමුඛතාවයක් විය.
සාකච්ඡා පිළිබඳව බීජිං වාර්තා අනුව, තායිවානයේ නිදහසට විධිමත් ලෙස විරුද්ධ වන ලෙසත් එම ගැටලුව ප්‍රවේශමෙන් හසුරුවන ලෙසත් ෂී, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ය.
මැයි මාසයේ පැවති ඔවුන්ගේ පෙර හමුවෙන් පසුව, චීනයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් එක්සත් ජනපදය තායිවානය ආරක්ෂා කරන්නේ ද යන්න ෂී සෘජුවම විමසූ බව ට්‍රම්ප් හෙළි කළේ ය.
ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ "ඒක දන්නේ එක පුද්ගලයෙක් විතරයි, ඒ මම විතරයි" යනුවෙනි. එමෙන් ම ඔහු මතු කළ ප්‍රශ්නය වූයේ මෙම ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජනපද හමුදා" යුද්ධයක් සඳහා සැතපුම් 9,500ක් ගමන් කිරීම" අර්ථවත්ද යන්න යි.
මෙවර ට්‍රම්ප් අනාවරණ කළේ සුළු ප්‍රමාණයකි.
"අපි ඒ ගැන ඕනෑවට වඩා කතා කළේ නැහැ," ඔහු සති අන්තයේදී වාර්තාකරුවන් හමුවේ පැවසුවේ ය.
"දැනට ඒක හොඳයි. ඒක ඉදිරියට යනවා," ට්‍රම්ප් පැවසීය. "මගේ හැඟීම් මොන වගේ ද කියන එක ඔහු හොඳින් ම තේරුම් ගන්නවා."
එම නිශ්ශබ්දතාව අර්ථාන්විත විය හැක.
තායිවානය සඳහා යෝජනා කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක අවි ආයුධ පැකේජය, බීජිං පාලනය සමග කටයුතු කිරීමේදී "සාකච්ඡා සඳහා වාසිදායක සාධකයක් " ලෙස ට්‍රම්ප් මීට පෙර විස්තර කර තිබුණේ ය. මෙම අවි ආයුධ පැකේජය මාස ගණනාවක් පුරාවට අත්හිටුවා ඇත.
ව්‍යාකූලත්වය තවත් වැඩි කරමින්, චීනයේ ඇමරිකානු තානාපති ඩේවිඩ් පර්ඩියු, ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ සමුළුව අතරතුර ට්‍රම්ප්, ෂීට ආයුධ විකිණීමට ඉදිරිපත් වූ බව යි.
එක්සත් ජනපද නීතිය මගින් චීනයට ආයුධ විකිණීම තහනම් බවත්, එලෙස සිදු කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවත් අනතුරුව රාජ්‍ය දෙපාර්තමේන්තුව පැහැදිලි කළේ ය.
චීනය විසින් තායිවානය චීනයේ කොටසක් ලෙස සලකනු ලබයි. එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා නමුත් බලහත්කාරයෙන් එම දූපත අත්පත් කර ගැනීමේ ඕනෑ ම උත්සාහයකට වොෂින්ටනය විරුද්ධ වන අතර එයට අවි සැපයීමට ද කැපවී සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images
චීනය ආයෝජන දොරටු විවෘත කරමින් සිටිනවා ද?
ඇමෙරිකානු සහාය ලබන බැංකු, ආයෝජන සමාගම් සහ රක්ෂණ සමාගම් ඇතුළු විදේශීය මූල්‍ය ආයතන රැසකට චීනය තුළ ව්‍යාපාර කිරීමට සහ කාර්යාල විවෘත කිරීම සඳහා අයදුම් කිරීමට ඉඩ ලබා දෙන බව චීනය පවසයි. නමුත් ඕනෑ ම අනුමැතියක් තවමත් චීනයේ නීති සහ රෙගුලාසිවලට යටත් වනු ඇත.
අවසාන වාක්‍යය අතිශය වැදගත් ය. චීනය දොරටුව විවර කරමින් සිටින නමුත් ඒ හරහා ඇතුළු වන්නේ කවුරුන් ද යන්න තවමත් පාලනය කරයි.
තාක්ෂණික වශයෙන් වෙළඳපොළ ප්‍රවේශය ලබා දී ඇති විට පවා, නියාමන බාධා, බලපත්‍ර අවශ්‍යතා සහ පිටවීමේ තහනම් කිරීම් පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් චීනය තුළ තම ව්‍යාපාර ව්‍යාප්ත කිරීම දුෂ්කර බව විදේශීය මූල්‍ය ආයතන දිගු කලක සිට මැසිවිලි නඟති.
දෙරට අතර ගුවන් වාර සංඛ්‍යාව වැඩි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව බීජිං පාලනය ද ප්‍රකාශ කළ නමුත්, එය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම කිසිවෙකුත් පැහැදිලි කර නොමැත.
ලොව පුරා රටවල් 75කට අධික සංඛ්‍යාවක අමුත්තන්ට වීසා රහිතව ඇතුළු වීමට අවසර ලබා දී තිබුණ ද, චීනය එම පහසුකම ඇමෙරිකානුවන්ට ලබා දී නොමැත.
මේ අතර, අත්තනෝමතික නීතිය ක්‍රියාත්මක කිරීම, පිටවීමේ තහනම් කිරීම් සහ රඳවා තබා ගැනීමේ අවදානම හේතුවෙන් "වැඩි ප්‍රවේශම් විය යුතු" ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, චීනයට සංචාරය කිරීම 2 වන මට්ටමේ උපදේශනයක් ලෙස වර්ගීකරණය කිරීම දිගට ම කරගෙන යයි.
එබැවින් දෙපාර්ශවය ම ව්‍යාපාර සහ සංචාරක කටයුතු දිරිමත් කිරීම ගැන සාකච්ඡා කරමින් සිටිය දී පවා විශාල අවහිරතා කිහිපයක් තවමත් එලෙස ම පවතී.
එසේ නම් අප දන්නේ කුමක් ද?
මෙම සමුළුව තවත් සාකච්ඡාවලට මග පෑදූ නමුත්, මේ දක්වා තීරණවල සිදුව ඇත්තේ ඉතා සුළු වෙනස්කම් පමණි. උසස් තාක්ෂණය සහ තායිවානය ඇතුළු වඩාත් සංකීර්ණ ගැටලු තවමත් විසඳී නොමැත.
නමුත් නායකයින් දෙදෙනාටම මෙය හුරුපුරුදු ප්‍රතිඵලයකි. එනම්, සන්නිවේදන මාර්ග වැඩි කිරීමේ පොරොන්දුවක්, මධ්‍යස්ථ ආර්ථික සහන සහ සබඳතා ස්ථාවර කිරීම සඳහා වන මධ්‍යස්ථ යෝජනා මීට ඇතුළත් වේ.
රටවල් දෙකම ස්ථාවර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට කැපවී සිටී. කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ චීනය අතර සංවාදය දිගටම කරගෙන යාම, ඕනෑ ම රටකට සම්මුති ඇති කර ගැනීමට ඉල්ලා සිටීමට වඩා පහසු බව පෙනේ.



































