ෂී ජින්පිං: චීනයේ බලවත් නායකයා වීමට පෙර සියල්ල අහිමි වූ වරප්‍රසාද ලත් 'කුමාරයා'

ඡායාරූප මූලාශ්‍රය, Reuters/Getty Images
- Author, ෂෝන් යුවාන්
- Author, ජැක් ලාවු
- Role, බීබීසී චීන ඒකකය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
චීන ජනාධිපති ෂී ජින්පිං බදාදා (සැප්: 24) වොෂින්ටන් ඩීසී වෙත පැමිණියේ, ඔහු වසර 11කට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කරන පළමු රාජ්‍ය සංචාරය සඳහා ය.
නමුත් අද චීනයේ බලවත් ම නායකයා ලෙස සැලකෙන ෂී ජින්පිංගේ ඇමෙරිකාව සමග පළමු සම්බන්ධය ඇති වූයේ ඔහු එම තත්ත්වයට පත්වීමට බොහෝ කලකට පෙර ය.
දශක හතරකට පෙර, ෂී චීනයේ උතුරු ප්‍රදේශයක ප්‍රාදේශීය නායකයෙකු ලෙස ඇමෙරිකාවේ මධ්‍යම බටහිර ප්‍රදේශයේ අධ්‍යයන සංචාරයක නිරත විය.
ඔහු අයෝවා ප්‍රාන්තයේ දින කිහිපයක් ගත කරමින් කෘෂිකර්මාන්තය පිළිබඳව අධ්‍යයනය කළේ ය. එහිදී ඔහු ගොවිපළවල් කිහිපයකට ද ගිය අතර, ප්‍රදේශයේ නිවසක නවාතැන් ගත්තේ ය.
චීන රාජ්‍ය මාධ්‍ය, ෂී ජින්පිං එම නිවසේ නවාතැන් ගත් ආකාරය සහ එවකට අයෝවා ආණ්ඩුකාරවරයා වූ, පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ චීනයේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ටෙරී බ්‍රැන්ස්ටඩ් සමග පැවති මිත්‍රත්වය ඉස්මතු කළේ, ෂී ජින්පිංට ඇමෙරිකාව සමග ඇති පෞද්ගලික සබඳතා හුවා දැක්වීම සඳහා ය.
අද වන විට ඇමරිකා-චීන සබඳතා ඊට හාත්පසින් ම වෙනස් වී ඇති අතර, ගෝලීය බලපෑම සඳහා වන තරගය, එකිනෙකාට ප්‍රතිචාර වශයෙන් පැනවෙන තීරුබදු, තාක්ෂණික සීමා සහ හමුදාමය තරගය යන කරුණු මත එම සබඳතා හැඩගැසී තිබේ.
එමෙන් ම, 73 හැවිරිදි ෂී තවදුරටත් පහළ මට්ටමේ නිලධාරියෙකු නොවේ. චීනයේ නායකයා ලෙස වසර 14කට ආසන්න කාලයක් තුළ, ඔහු කොමියුනිස්ට් පක්ෂය සහ ලෝකය තුළ චීනයට හිමි ස්ථානය ද වෙනස් කර තිබේ.
සියල්ල අහිමි වූ 'කුමාරයා'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ෂීගේ කතාව ආරම්භ වූයේ වරප්‍රසාද මැද ය.
1953දී බීජිංහි උපත ලැබූ ඔහු, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමට උදව් කළ කොමියුනිස්ට් විප්ලවවාදියෙකු වූ ෂී ෂොංක්සුන්ගේ හය වන දරුවා ය. ඔහුගේ පියා අවසානයේ ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙකු සහ උප-අගමැතිවරයෙකු බවට පත්විය.
කුඩා දරුවෙකු ලෙස, ෂීට කීර්තිමත් පාසල්වල අධ්‍යාපනය ලැබීමට වරම් ලැබුණු අතර බොහෝ පවුල්වලට නොලැබෙන වරප්‍රසාද භුක්ති වින්ඳේ ය.
පසුව ඔහුගේ පවුලට එරෙහිව දේශපාලනය වෙනස් විය.
1960 දශකයේ මුල් භාගයේදී, ෂීගේ පියාට "පක්ෂ විරෝධී" කල්ලියක කොටස්කරුවෙකු වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඔහු ගම්බද ප්‍රදේශයක කර්මාන්ත ශාලාවක සේවය කිරීමට යවා, පක්ෂයෙන් ද නෙරපා හරිනු ලැබී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ප්‍රති-විප්ලවවාදියෙකු" ලෙස සැලකූ අයෙකුගේ පුත්‍රයෙකු ලෙස, යොවුන් වියේ පසුවූ ෂී බලහත්කාරයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කෙරිණි. ගම්බද ප්‍රදේශවලට ගොස් ගොවි ජනතාවගෙන් ඉගෙන ගැනීමට එවකට නායක මාඕ සේතුං කළ ඉල්ලීමට ඇහුම්කන් දෙමින්, 15 හැවිරිදි ෂී නගරයේ සිටි තවත් සිසුන් මිලියන ගණනක් සමග ග්‍රාමීය ප්‍රදේශ වෙත පිටත් විය.
2004 වසරේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහුගේ මෙම ගමන විස්තර කරමින් ඔහු පැවසුවේ: "දුම්රියේ සිටි සියලු දෙනා ම හඬමින් සිටියා. සිනාසෙමින් සිටි එක ම කෙනා මම විතරයි... මම එතැනින් පිටව නොගියා නම් මාත් අඬමින් ඉන්න තිබුණා. මම එතන නැවතුණා නම්, මම තවමත් ජීවතුන් අතර ඉඳීවි ද කියන එකා පවා මම දන්නේ නෑ."
ඔහු චීනයේ බටහිර ෂැන්සි පළාතේ ලියංජියාහේ නම් දූරස්ථ කඳුකර ගම්මානයට ළඟා වූ අතර එහි ඔහු වසර හතක් 'යාඕඩොං' නමින් හැඳින්වෙන කඳු බෑවුමක ඉදිකළ ගුහා නිවසක ජීවත් වෙමින්, ගොවිතැන්වල නිරත වෙමින්, පොහොර රැගෙන යාම සහ කාණු කැපීම වැනි කාර්යයන්වල ද නිරත විය.
"අච්චාරු දැමූ එළවළු මගේ ප්‍රියතම ආහාරය බවට පත්වුණා," ඔහු එහි ගත කළ කාලය ගැන පැවසීය. "අද පවා, මම තවමත් ඒ ගැන ආදරයෙන් සිහිපත් කරනවා."
වැඩ ප්‍රමාණය දැක ඔහු "මවිතයට පත්වූ" අතර, මුල් කාලයේදී කුසගින්න සහ මැක්කන් නිසා දැඩි අපහසුතාවට පත්විය. එහෙත්, දිවා ආහාරයට පෙර දුම්වැටියක් පානය කිරීමට ලැබුණු කෙටි විවේකය ඔහුට යම් සහනයක් ගෙන දුන්නේ ය.
බලයට පත්වීම
වයස අවුරුදු 22 පසු වන විට ඔහු ගම්බද ප්‍රදේශයෙන් පිටව ගියේ චීනයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යයන ආයතනයක් වන සිංහුවා විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ය.
උපාධිය ලැබීමෙන් පසු, ඔහු බීජිං නුවරින් බොහෝ දුර බැහැර පිහිටි ෆුජියන් සහ ෂෙජියැං යන වෙරළබඩ පළාත්වල ප්‍රාදේශීය නිලධාරියෙකු ලෙස සේවය කළේ ය. 1980 දශකයේ ආර්ථිකය විවෘත වූ විට ඒවා චීනයේ ධනවත් ම පළාත් බවට පත් විය.
මාඕගේ මරණයෙන් පසු ෂීගේ පියා ලැබූ පුනරුත්ථාපනය, ඔහුට පක්ෂය තුළ සබඳතා ගොඩනගා ගනිමින් මධ්‍යම රජයේ සහ හමුදාවේ තනතුරු ලබා ගැනීමට උපකාරී විය.
මෙම නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙකු පසුකාලීනව ඔහුගේ විශ්වාසවන්ත නායකත්ව කවයේ කොටසක් බවට පත්විය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ෂී ඔහුගේ පළමු බිරිඳ වූ, එක්සත් රාජධානියේ හිටපු තානාපතිවරයෙකුගේ දියණිය වන කේ ලින්ග්ලිං සමග 1979දී විවාහ වූ නමුත් වසර තුනකට පසු ඔවුහු දික්කසාද වූහ.
දෙදෙනාගේ ම මිතුරෙක් ෂීට ඔහුගේ දෙවන සහ වත්මන් බිරිඳ වන පෙන්ග් ලියුවාන් හඳුන්වා දුන්නේ ය. හමුදාවේ ජන ගී ගායිකාවක වූ ඇය ඒ වනවිටත් මිලියන සිය ගණනක් නරඹන්නන් විසින් නරඹන ලද වාර්ෂික චන්ද්‍ර අලුත් අවුරුදු රූපවාහිනී උත්සව සඳහා සිදු කළ ඉදිරිපත් කිරීම්වලින් චීනය තුළ ප්‍රසිද්ධියක් ලබා සිටියා ය.
1980 සහ 1990 දශකවල බොහෝ චීන ජාතිකයන්ට, ඇය විවාහ වූ ප්‍රාදේශීය නිලධාරියාට වඩා පෙන්ග්ව වඩාත් හොඳින් හඳුනාගත හැකි විය.
චීනයේ ජනාධිපති ආර්යාවන්ගේ සාම්ප්‍රදායික ප්‍රතිරූපයෙන් බැහැරවීමක් සනිටුහන් කරමින් පෙන්ග් බොහෝ විට ෂී සමග විදේශ සංචාර සඳහා සහභාගි වී තිබේ.
ඔවුන්ගේ දියණිය සහ එක ම දරුවා ද වන ෂී මින්ග්සේ 1992දී උපත ලැබුවා ය. ඇය එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම හැරුණු විට ඇය පිළිබඳව දත් තොරතුරු අල්ප ය.
2007දී, ෂැංහයිහි ඉහළ ම නායකයා ලෙස කෙටි කාලයක් සේවය කිරීමෙන් පසු, ෂී චීනයේ ඉහළ ම තීරණ ගැනීමේ ආයතනය වන දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවට සම්බන්ධ විය. වසර පහකට පසු, කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස ඔහු හූ ජින්ටාඕගේ අනුප්‍රාප්තිකයා බවට පත්විය.
චීනයේ නායකයා ලෙස, බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ ආකාරයෙන් ෂී ජින්පිං එරට ආර්ථික හා දේශපාලන ක්‍රමවේදවල විශාල වෙනස්කම් සිදු කළේ ය.
ෂී ගොඩනැගූ චීනය
ෂීගේ වසර 14ක පාලන කාලය තුළ, චීනය වඩ වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කරන රටක් බවට පත්ව තිබේ.
විදේශයන්හි, ෂී, ගෝලීය දකුණේ ශූරයා ලෙස බීජිං ස්ථානගත කරන අතර ම, 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' වැනි ව්‍යාපෘති හරහා චීනයේ ගෝලීය පියසටහන් පුළුල් කළේ ය.
ඒ සමග ම, දකුණු චීන මුහුදේ ආතතීන් උත්සන්න වීම, තායිවානය වටා පීඩනය වැඩි වීම සහ එක්සත් ජනපදය සමග පවතින තරගකාරීත්වය තීව්‍ර වීම ඇතුළු බොහෝ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග පවත්වන සබඳතා වඩාත් මතභේදාත්මක වී තිබේ.
එසේ වුව ද පවතින දැඩි දේශපාලනමය පාලනය මගින් චීනය තුළ ෂී ගේ උරුමය නිර්චචනය කර ඇත.
ෂී යටතේ චීනය ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි වඩාත් දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ෂින්ජියැං, ටිබෙට් සහ හොංකොං වැනි ප්‍රදේශවල ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් සාමය යළි ස්ථාපනය කර ඇති බව ආධාරකරුවන් පවසන නමුත්, සිවිල් නිදහස දැඩි ලෙස සීමා කර ඇති බවට විචාරකයෝ තර්ක කරති.
ඔහු ඔහුගේ නමින් මතවාදයක් ප්‍රවර්ධනය කළේ ය - "නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිංගේ චින්තනය" - එය ඔහුගේ පූර්වගාමීන් දෙදෙනාට කළ නොහැකි වූ දෙයකි.
ඔහුට ධූර කාල දෙකකට වඩා සේවය කිරීමට ඉඩ සලසන පරිදි ෂී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධූර කාල සීමා ද ඉවත් කළේ ය.
චීන රාජ්‍ය මාධ්‍ය ෂී බැරෑරුම් පුද්ගලයෙකු ලෙස නිරූපණය කරන නමුත්, ඔහු ඇතැම් අවස්ථාවලදී සැහැල්ලු පැතිකඩක් පෙන්නුම් කර ඇත.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමග චීන පිරිමි පාපන්දු කණ්ඩායම පිළිබඳ ඔහුගේ කලකිරීම ගැන විහිළු කරමින් පවා ඔහු පාපන්දු ක්‍රීඩාවට ඇති ඔහුගේ කැමැත්ත පිළිබඳව කතා කළේ ය. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් සමග මත්පැන් වීදුරුවක් බෙදා ගත්තේ ය. ඔහුගෙන් ත්‍යාග ලෙස හිමි වන චීනයේ නිෂ්පාදිත 'Xiaomi' දුරකතන පිළිගැනීමට පෙර, ඒවායේ කිසියම් "සැගවුණු පිවිසුම්" තිබේදැයි පරීක්ෂා කර බලන ලෙස පවසමින් දකුණු කොරියානු ජනාධිපතිවරයාට සරදම් කළේ ය.
මිතුරන් ද? සතුරන් ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
විදේශීය නායකයින් සමග ෂීගේ සබඳතා දුර්වල වී ඇති අතර, එය චීනයේ පුළුල් විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිළිබිඹු කරයි.
රුසියාවේ ව්ලැදිමීර් පුටින්ට වඩා කිසිදු විදේශීය නායකයෙකුට ඔහුට සමීප නැත. ෂී බලයට පත් වූ දා සිට ඔවුන් අවස්ථා 40 කට වඩා හමුවී ඇති අතර ෂී, පුටින් පිළිබඳ විස්තර කර ඇත්තේ ඔහුගේ "සමීපතම විශ්වාසවන්තයා" ලෙස ය.
ට්‍රම්ප් සමග ඔහුගේ සම්බන්ධතාව වඩාත් සංකීර්ණ වී ඇත. චීනය සමග වෙළෙඳ යුද්ධයක් දියත් කළ ද, ට්‍රම්ප් බොහෝ විට ෂී පිළිබඳ උණුසුම් ලෙස අදහස් දක්වන්නේ ඔහු මිතුරෙකු ලෙස හඳුන්වමින් සහ ඔහුගේ දේශපාලන ශක්තිය ප්‍රශංසා කරමිනි.
ෂී ආරම්භයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග රාජ්‍ය තාන්ත්‍රිකත්වය පිළිබඳ පෞද්ගලිකව විශාල වශයෙන් අවධානය යොමු කළේය. ආසියානු දැවැන්තයන් අතර සහයෝගීතාව අවධාරණය කිරීම සඳහා ඔවුන් නිල නොවන රැස්වීම්වලදී කතා කළ නමුත් 2020දී සිදුවූ මාරාන්තික දේශසීමා ගැටුම් ඔවුන්ගේ සබඳතා දශක ගණනාවක් තුළ වාර්තා වූ නරක ම තත්ත්වයට තල්ලු කළේ ය.
පෞද්ගලික ආකර්ෂණය හෝ ක්ෂණික තීරණ සඳහා ප්‍රසිද්ධ නායකයින් මෙන් නොව, ෂී කලාතුරකින් පුද්ගල සබඳතා රාජ්‍ය අවශ්‍යතාවලට වඩා ඉහළින් තබයි.
මෙම සතියේ ෂී නැවත වොෂින්ටන් ඩීසී වෙත පැමිණෙන විට, අයෝවා ගොවිපළවල සංචාරය කළ කුතුහලයෙන් පිරි ප්‍රාදේශීය නිලධාරියෙකු ලෙස නොව, 21 වන සියවසේ දේශපාලන චරිතය ලෙස නිර්වචනය වෙමින් ඔහු පැමිණෙනු ඇත.


































