ඉරාන යුද්ධය අවසන් වීම චීනයට වාසිදායක ඇයි? චීනයේ සහ ට්‍රම්ප්ගේ ස්ථාවරයන් සමාන ද?

ඡායාරූප මූලාශ්‍රය, BBC / Getty Images
- Author, සයීද් ජෆාරි
- Role, දේශපාලන විශ්ලේෂක
- Author, ග්‍රේස් ට්සෝයි
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඉහළ අවධානයක් යොමු වී ඇති චීන ජනාධිපති ෂී ජින්පිංගේ එක්සත් ජනපද සංචාරයට දින කිහිපයක් පමණක් තිබියදී, චීනය ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පිළිගත්තේ ය. එය ටෙහෙරානය කෙරෙහි චීනය කරන බලපෑම නැවතත් සිහිපත් කළ සිදුවීමක් විය.
බ්‍රහස්පතින්දා පැවැත්වෙන ට්‍රම්ප්-ෂී හමුවේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකා අතර ඉරාන යුද්ධය ද ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මාස හතකට පෙර ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට චීනය ස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ. චීනය ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර මෙන් ම ටෙහෙරානයට එරෙහි වොෂින්ටනයේ සම්බාධක ද හෙළා දැක ඇත. ඒ සමග ම යුද්ධය අවසන් කිරීම සහ විශේෂයෙන් ම හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නැවත නැවතත් ඉල්ලීම් කර තිබේ.
විශාල ඉන්ධන සංචිත සහ බලශක්ති ප්‍රභව විවිධාංගීකරණය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන්, ඉරාන යුද්ධයේ බලපෑම් සාර්ථකව කළමනාකරණය කිරීමට චීනයට මෙතෙක් හැකි වී තිබේ.
එක්සෙටර් විශ්වවිද්‍යාලයේ චීන-මැදපෙරදිග කටයුතු පිළිබඳ විශේෂඥ ඇන්ඩ්‍රියා ගිසෙලි පවසන්නේ, චීනයට මෙම තත්ත්වය තවත් කලක් පවත්වාගෙන යා හැකි වුව ද, ආර්ථික පිරිවැය ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව ය.
කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමේ අවශ්‍යතාව සහ අනෙකුත් භූදේශපාලනික ප්‍රමුඛතා අතර සමතුලිතතාවක් පවත්වාගැනීමට චීනයට සිදුවනු ඇතැයි ඔහු පවසයි.
"මෙම ගැටුම එක්සත් ජනපදය සමග සබඳතාවලට බාධාවක් වීම චීනයට අවශ්‍ය නැහැ. නමුත් ඉරානයේ මූලික අවශ්‍යතා සහ ඉල්ලීම් ද අඩපණ කිරීමට එය කටයුතු නොකරනු ඇත," යැයි ආචාර්ය ගිසෙලි පවසයි.
"ඉරානය සහ චීනය සාමාන්‍යයෙන් එක ම ස්ථාවරයක සිටිනවා. මේ ගැටුම ආරම්භ වීමටත් තවමත් පවතින්නටත් හේතුව එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග බව ඔවුන් දකිනවා," ඔහු පැහැදිලි කළේ ය.
බලශක්තිය සහ ආර්ථිකය
International Crisis Group ආයතනයේ හමීද්රේසා අසිසි පවසන්නේ, බලශක්ති පරිභෝජකයෙකු ලෙස යුද්ධය දිගුකාලීනව පැවතීමෙන් චීනයට හානි සිදුවන බව ය.
එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලන ආයතනයේ (US Energy Information Administration) 2025 වාර්තාවකට අනුව, චීනයේ සමස්ත බලශක්ති පරිභෝජනයෙන් පහෙන් කොටසක් පමණ ඉන්ධන මගින් සපයන අතර, එයින් 70%කට අධික ප්‍රමාණයක් ආනයනය කරනු ලැබේ.
දිනකට බැරල් මිලියන 1.4ක පමණ ඉරාන තෙල් සැපයුම, පසුගිය වසරේ චීනයේ බොරතෙල් ආනයනවලින් 12%ක් පමණක් නියෝජනය කළේ ය. එය මැදපෙරදිග අනෙකුත් රටවලින් ලැබුණු 42%ක දායකත්වයට සාපේක්ෂව බෙහෙවින් අඩු ය.
රුසියාව, බ්‍රසීලය සහ අනෙකුත් අපනයනකරුවන්ගෙන් ලැබෙන සැපයුම් මගින්, ඉරානයෙන් සහ ගල්ෆ් කලාපයේ නිෂ්පාදකයන්ගෙන් අහිමි වූ ඉන්ධනවලින් කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමට චීනයට හැකි වී තිබේ. එහෙත් එම කලාපයෙන් මිල දී ගන්නා ස්වාභාවික වායුව වෙනුවට වෙනත් මූලාශ්‍ර සොයා ගැනීම වඩාත් අසීරු වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රුසියාව, බ්‍රසීලය සහ අනෙකුත් අපනයනකරුවන්ගෙන් ලැබෙන සැපයුම් මගින්, ඉරානයෙන් සහ ගල්ෆ් කලාපයේ නිෂ්පාදකයන්ගෙන් අහිමි වූ ඉන්ධනවලින් කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමට චීනයට හැකි වී තිබේ. එහෙත් එම කලාපයෙන් මිල දී ගන්නා ස්වාභාවික වායුව වෙනුවට වෙනත් මූලාශ්‍ර සොයා ගැනීම වඩාත් අසීරු වනු ඇත.
එක්සත් ජනපදයේ කොලම්බියා විශ්වවිද්‍යාලයේ චීන බලශක්ති පර්යේෂක එරිකා ඩවුන්ස් පවසන්නේ, "චීනය යුද්ධය ආරම්භ කරන අවස්ථාවේදී බැරල් බිලියන 1.4ක පමණ සංචිතයක් සතුව තිබුණා නම්, 2025 මට්ටම අනුව මැද පෙරදිගින් ආනයනය කරන ඉන්ධන දින 254ක් සඳහා එමගින් පිරිමසා ගත හැකිව තිබුණු" බව ය.
යුද්ධය පැවතිය ද මැද පෙරදිගින් තවමත් යම් තරමක ඉන්ධන ආනයනයක් සිදුවන බැවින්, එම සංචිත ඊටත් වඩා දිගු කාලයක් පවතිනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවා ය.
කෙසේ වෙතත්, Reuters Asia Commodities තීරු ලිපි රචක ක්ලයිඩ් රසල්ට අනුව, පසුගිය මාස හතරෙන් තුනකදී ම, අගෝස්තු මාසය ද ඇතුළුව, චීනයට සිය ඉන්ධන සංචිත භාවිත කිරීමට සිදු වී තිබේ.
"සැලකිය යුතු ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යාම සඳහා, ඉක්මනින් ම සංචිත භාවිතය නවතා දැමීමට බීජිං කැමති වනු ඇත," යැයි ආචාර්ය ඩවුන්ස් පවසයි.
තව ද, ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර වැඩිකොට, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි තම පාලනය තවදුරටත් ශක්තිමත් කළහොත්, ගෝලීය බලශක්ති වෙළෙඳපොළ වඩාත් අස්ථාවර විය හැකි ය.
ඉරාන යුද්ධය නිසා ඇති වන ආර්ථික ගැටලු ගෝලීය ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි අතර, එය අපනයන මත පදනම් වූ චීන ආර්ථිකයට අහිතකර වනු ඇත.
2019 වසරේ සිට චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වී තිබේ. ලොව දෙවන විශාලතම ආර්ථිකය දේපළ අර්බුදයක්, බටහිර රටවල් සමග වෙළෙඳ ආතතීන් සහ ඉහළ යන ප්‍රාදේශීය රාජ්‍ය ණය බර සමග අරගල කරමින් සිටී.
වොෂින්ටන් නුවර පිහිටි Center for Strategic and International Studies ආයතනයට අනුව, පසුගිය වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් 32.7%ක් ම ශුද්ධ අපනයන මගින් දායක වී ඇත. එය 1997න් පසු වාර්තා වූ ඉහළ ම අගය යි. දේශීය පරිභෝජනය තවමත් මන්දගාමී බැවින්, ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකය වී ඇත්තේ අපනයන යි.
සම්බාධක, නාවික අවහිර කිරීම සහ සාකච්ඡා
යුද්ධය නතර වූ තත්ත්වයකට පත්ව ඇති අතරතුර, ට්‍රම්ප් පරිපාලනය ටෙහෙරානය මත ආර්ථික පීඩනය තවදුරටත් වැඩි කරමින් සිටී. ඉරාන ආර්ථිකයට සහය දක්වන සමාගම්, බැංකු සහ රටවල් ද්විතීයික සම්බාධකවලට මුහුණ දිය හැකි බව වොෂින්ටනය අනතුරු අඟවා තිබේ.
මේ වන තෙක්, චීන සමාගම් සහ ආයතන කිහිපයකට සම්බාධක පැනවූවත්, චීනයේ ප්‍රධාන බැංකු ඉලක්ක කිරීමට එක්සත් ජනපදය කටයුතු කර නොමැත. වොෂින්ටනය සහ බීජිං අතර වෙළෙඳ ආතතීන් තවමත් ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මෙම ප්රවේශම්කාරී ස්ථාවරය දක්නට ලැබේ.
ඉරානයට එරෙහි මූල්‍ය ව්‍යාපාරයට එක්වන ලෙස වොෂින්ටනය කළ ඉල්ලීම චීනය ප්‍රසිද්ධියේ පිළිගෙන නැත. "නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධකවලට" තමන් විරුද්ධ වන බවත්, ඉරානය සමග සහයෝගීතාව ජාත්‍යන්තර නීතියේ රාමුව තුළ සිදුකරන බවත් බීජිං පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Handout/Houthi Military Media Centre via EPA
එක්සත් ජනපද පීඩනය හේතුවෙන් චීනය ඉරාන ඉන්ධන මිල දී ගැනීමෙන් ඉවත් නොවනු ඇතැයි විශ්වාස කරන බව ඉරාන විශ්ලේෂක අසිසි පවසයි. "එක්සත් ජනපදයට පීඩනය යොදාගෙන චීන සමාගම් සහ බැංකු තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බල කළ හැකි ය යන පූර්වාදර්ශයක් ස්ථාපනය වනු දැකීමට චීන පාර්ශවයට අවශ්‍ය නැහැ," යැයි ඔහු පවසයි.
එහෙත්, එක්සත් ජනපද නාවික අවහිරතාව හේතුවෙන් චීනයේ ඉන්ධන ගැනුම්කරුවන් වෙත සැපයුම් සිදු කිරීමේ ඉරානයේ හැකියාව බරපතළ ලෙස සීමා වී ඇත.
මාර්තු මාසයේදී ඉරානය දිනකට ඉන්ධන බැරල් මිලියන දෙකක් අපනයනය කළ නමුත්, අගෝස්තු වන විට එය දිනකට බැරල් 220,000ත් 255,000ත් අතර මට්ටමකට පහත වැටී ඇත. ජූලි 14 වන දා එක්සත් ජනපදය නාවික අවහිර කිරීම නැවත ආරම්භ කිරීමෙන් පසු, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා චීනයට ළඟා වූ කිසිදු ඉරාන බොරතෙල් තොගයක් සාර්ථකව ගමන් කර නොමැති බව රොයිටර්ස් වාර්තා කරයි.
මෙම අවහිරතාව දිගට ම පැවතුණහොත්, ඉරානය සහ චීනය අතර වෙළෙඳාම වැඩි වැඩියෙන් ගොඩබිම් මාර්ගවලට සීමා වනු ඇති බවත්, එම මාර්ග වඩා මිල අධික මෙන් ම සාගර ප්‍රවාහනයට සාපේක්ෂව අපනයන හැසිරවීමේ හැකියාවෙන් ද බෙහෙවින් අඩු බවත් එක්සත් ජනපදයේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ඉරාන විශේෂඥ මොහම්මද් ගාඒඩි පවසයි.
මූල්‍ය සම්බාධකවල බලපෑම අවම කිරීමේ චීනයේ කැමැත්ත, නාවික අවහිරතාවකට අභියෝග කිරීමට එයට හැකියාවක් හෝ කැමැත්තක් තිබේ ය යන්න අදහස් නොකර යි. එවැනි අවහිරතාවක් බිඳ දැමීමට උත්සහ කිරීමෙන්, වොෂින්ටනය සමග බෙහෙවින් වෙනස් මට්ටමේ ගැටුමකට බීජිං ඇද දැමිය හැකි ය. එවැනි පිරිවැයක් දැරීමට චීන නායකත්වය සූදානම් බවට කිසිදු සලකුණක් නොමැත.
චීනය "යුද්ධයට සාකච්ඡාමය අවසානයක්" සඳහා සිය කැමැත්ත පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ආචාර්ය ගිසෙල්ලි පවසන අතර, ඉරානය ගැටුම උත්සන්න කිරීමෙන් වැළැක්වීමට ද එය කටයුතු කරනු ඇතැයි ඔහුගේ අදහස යි.
"සාකච්ඡා යළි ආරම්භ කිරීමට එය උදව් කරන්න පුළුවන්. ට්‍රම්ප් ජනාධිපතිවරයාට යම් ජයග්‍රහණයක් හිමිවූ බව ප්‍රකාශ කිරීමට සහ යුද්ධය අවසන් කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස භාවිත කළ හැකි සහන කිහිපයක් පිළිගැනීමට ඉරානය පොලඹවන්නත් එය සමත් විය හැකි යි."
කෙසේ වෙතත්, සම්බාධක ඉවත් කිරීම, අත්හිටුවා ඇති අරමුදල් වෙත ප්‍රවේශය ලබාදීම සහ හමුදා ප්‍රහාර අවසන් කිරීම වැනි තම සහකරුට ප්‍රායෝගික වාසි හිමි වන ආකාරයේ ගිවිසුමක් සඳහා චීනය පෙනී සිටිනු ඇතැයි ඔහු පවසයි.
ප්‍රධාන ඡායාරූපය: රයීස් හුසේන්



































