අධික උණුසුම් පාන වර්ගවලින් පිළිකා අවදානමක් ඇති බවට විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, මිෂෙල් රොබර්ට්ස්
- Role, ඩිජිටල් සෞඛ්‍ය පුවත් සංස්කාරක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
තේ සහ කෝපි වැනි බීම වර්ග නිරන්තරයෙන්ම ඉතා උණුවෙන් පානය කිරීම නිසා, අන්නස්‍රෝතය එසේත් නැතිනම් ගලනාලයේ පිළිකා වැළඳීමේ අවදානම ඉහළ දමන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
මිලියනයකට ආසන්න පිරිසක් යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනය, මේ දක්වා මෙම සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා සිදුකළ විශාලතම පර්යේෂණය බව පර්යේෂකයෝ පවසති.
මෙම අධ්‍යයනයට අනුව, බීම වර්ග 'ඉතා උණුවෙන්' පානය කළ පුද්ගලයන්ට, ඒවා 'නිවා' තරමක උණුසුමකින් පානය කළ අයට වඩා මෙම පිළිකාව වැළඳීමේ අවදානම තුන් ගුණයකින් පමණ වැඩි බව පෙනී ගොස් ඇත. කෙසේ වෙතත්, පොදුවේ ගත් කල මෙම පිළිකාව වැළඳීමේ සමස්ත ප්‍රවණතාව ඉතා අඩු මට්ටමක පවතින බව විශේෂඥයෝ අවධාරණය කරති.
හුමාලය පිටවන තරමට අධික ලෙස රත් වූ දියර වර්ග, ආමාශය වෙත ගමන් කරන අතරතුර දී අන්නස්‍රෝතයේ ඇතුළු බිත්තියේ ඇති සෛල ස්ථරයට හානි කළ හැකිය.
අධික ලෙස උණුසුම් පාන වර්ග
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මඟින් සිදුකර ඇති, 'ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් කැන්සර්' සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණයට අනුව, සෙල්සියස් අංශක 65 හෝ ඊට වැඩි උෂ්ණත්වයක පවතින ඕනෑම බීම වර්ගයක් 'ඉතා උණුසුම්' ලෙස අර්ථ දක්වන අතර, ඒවා මඟින් සෞඛ්‍ය අවදානමක් ඇති විය හැකි බව පෙන්වා දෙයි.
මැදිවියේ පසුවන පිරිමින් සහ කාන්තාවන් 977,282 දෙනෙකුගේ දත්තවලට අනුව, දිනකට අධික උණුසුම් බීම වර්ග හයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කිරීම ද මෙම අවදානම ඉහළ නැංවීමට හේතු වේ.
කිරි එකතු කිරීම මඟින් බීම වර්ගවල උණුසුම තරමක් අඩු කරගත හැකි වුවද, කිරි මිශ්‍ර කළ තේ හෝ කෝපි කෝප්පයක් වුවද තවමත් අධික ලෙස රත්ව පැවතිය හැකි බව පර්යේෂකයෝ පවසති.
කේතලයක් සම්පූර්ණයෙන් උතුරවා ගත් වහා ම සාදන තේවල උෂ්ණත්වය තාපාංකයට සෙල්සියස් අංශක 100 (ෆැරන්හයිට් අංශක 212) පවතියි. කෝප්පයකට වත් කළ විට එය සෙල්සියස් අංශක 90 හෝ 95 පමණ දක්වා අඩු වේ.
මේ පිළිබඳව ඇති උපදෙස වන්නේ, බීම වර්ගය වඩාත් ආරක්ෂිත උෂ්ණත්වයකට නිවෙන තෙක් එය පානය කිරීමට පෙර විනාඩි කිහිපයක් රැඳී සිටින ලෙසයි.
එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය පවසන්නේ උණුසුම් පානයක් සිසිල් වීමට කොපමණ කාලයක් තැබිය යුතු ද යන්න පිළිබඳව නිශ්චිත වේලාවක් පැවසීම අපහසු බව යි.
නමුත් ඔබ මේ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන්නේ නම්, බීම වර්ගය ඉතා උණුවෙන් පවතින විට පානය කරනවාට වඩා, එය පානය කිරීමට පහසු මඳ උණුසුම් මට්ටමකට පත්වන තෙක් සුළු වේලාවක් රැඳී සිටින ලෙස අපි යෝජනා කරමු," යැයි එම ආයතනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රධාන පර්යේෂක වෛද්‍ය කෙරන් පැපියර් පැවසුවේ, බොහෝ දෙනෙකු 'මාටේ' (Mate) නමින් හැඳින්වෙන අධික උණුසුම් ඖෂධීය පානයක් භාවිත කරන දකුණු ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණ මඟින් ද, උණුසුම් බීම සහ ගලනාලයේ පිළිකා අතර මෙවැනිම සබඳතාවක් ඇති බව දැනටමත් පෙන්වා දී තිබූ බවයි.
නමුත්, "මෙම ඉහළ යන අවදානමට සම්බන්ධ වන පාන වර්ගයක නිශ්චිත උෂ්ණත්වය කුමක් ද යන්න හඳුනා ගැනීමට දැන් තවත් පර්යේෂණ අවශ්‍යයි," ඇය පැවසුවා ය.
විවිධ කළු කෝපි වර්ග කිහිප වරක් රස බැලූ තරුණ තරුණියන් 118 දෙනෙකු යොදාගෙන වෙන වෙනම සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ, එම බීම වර්ගවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 හෝ ඊට වැඩි වූ විට පමණක් බොහෝ දෙනෙකු එය 'අධික ලෙස රත් වූ' බීමක් ලෙස සැලකූ බවයි.
එක් කෝපි නිෂ්පාදකයෙකුට අනුව පිටතට රැගෙන යාම සඳහා වන උණුසුම් කෝපි කෝප්පයකට වඩාත්ම සුදුසු උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 ත් 60 ත් අතර අගයකි.
MTPak Coffee කෝපි සමාගමට අනුව, පාරිභෝගිකයෙකු අතිශය උණුසුම් කෝපි ඉල්ලා සිටියහොත්, බැරිස්ටා කෙනෙකුට එය සෙල්සියස් අංශක 82ට වැඩි උෂ්ණත්වයකින් පිළිගැන්විය හැකි ය.
සමස්තයක් ලෙස පවතින සුළු අවදානම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලෝක පිළිකා පර්යේෂණ පුණ්‍යායතනයට (Worldwide Cancer Research) අනුව, අන්නස්‍රෝත පිළිකා යනු ලොව පුරා බහුලවම දක්නට ලැබෙන 10 වැනි පිළිකාව වන අතර, ගෝලීය වශයෙන් පිළිකා නිසා සිදුවන මරණවලට හේතු වන 7 වැනි පිළිකාව වේ.
අන්නස්‍රෝත පිළිකා (Oesophageal cancer) මුල් අවධියේ රෝග ලක්ෂණ ඉතා සියුම් මෙන්ම හඳුනා ගැනීමට අපහසු විය හැකිය. මෙහි අදහස වන්නේ බොහෝ විට මෙම පිළිකා තත්ත්වය හඳුනා ගනු ලබන්නේ එහි පසුකාලීනව වර්ධනය වූ අවධියකදී බවයි. මෙම රෝග ලක්ෂණ අතරට පහත ඒවා ඇතුළත් විය හැකිය
- ආහාර පාන ගිලීමේ අපහසුතා
- පපුවේ දැවිල්ල හෝ ආම්ලිකතාවය
- වමනය හෝ ඔක්කාරය
- කට හඬ රළු වීම
- ආහාර අරුචිය
පර්යේෂකයන් යෝජනා කරන්නේ මිනිසුන් ඉතා උණුසුම් බීමවර්ග පානය කිරීම නතර කළහොත් සෑම අන්නස්‍රෝත පිළිකා 10 කින් එකක් හෝ දෙකක් වළක්වා ගත හැකි බව යි.
අන්නස්‍රෝත ස්කොමස් සෛල පිළිකාව දුර්ලභ වන අතර වසරකට දෙතුන් දහසකට බලපෑම් එල්ල කරයි. බ්‍රිතාන්‍යයේ (UK) සමස්ත ජනගහනයෙන් 1% කට පමණ තම ජීවිත කාලය තුළදී මෙම පිළිකා වර්ගය වැළඳීමේ අවදානමක් පවතී.
එබැවින්, තද උණුසුම් පාන වර්ග නිසා යමෙකුගේ අවදානම වැඩි විය හැකි වුව ද, ඔවුන්ට මෙම පිළිකාව වර්ධනය වීමේ අවස්ථා තවමත් ඉතා අඩු මට්ටමක පවතී.
එමෙන් ම අන්නස්‍රෝත පිළිකා සඳහා විශාල අවදානමක් ඇති දුම්පානය වැනි වෙනත් සාධක තිබේ.
"මෙම පිළිකා වර්ගයේ අවදානම අවම කිරීම සඳහා වඩාත් ම වැදගත් ක්‍රම වන්නේ දුම්පානය සහ මත්පැන් පානය අඩු කිරීම නෙමෙයි," මෙම අධ්‍යයනයට අරමුදල් සැපයූ එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ ෆියෝනා ඔස්ගුන් අවධාරණය කළා ය.


































