ඔබත් 48CC මෝටර් සයිකලයක හිමිකරුවෙක් ද? අලුත් ලියාපදිංචි නීතිය ගැන ඔබ දැනගත යුතු දේවල් මෙන්න

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මීට පෙර ලියාපදිංචි නොකර මාර්ගයේ ධාවනය කළ 48CC වර්ගයේ යතුරුපැදි අනිවාර්යයෙන් ම ලියාපදිංචි කළ යුතු බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබ තිබේ.

ඒ අනුව දැන්, එම වර්ගයේ යතුරුපැදියක් ඔබ සතුව තිබෙන්නේ නම් එය නැවත ධාවනය කිරීමට ප්‍රථම ඔබ එය ලියාපදිංචි කරගත යුතු ය.

මේ එලෙස ලියාපදිංචි කරගැනීම සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු වේ.

2010ට පෙර මිලදී ගත් ඔබ කළ යුතු දේ

2010 වසර පෙර 48CC වර්ගයේ යතුරුපැදියක් ඔබ මිලට ගෙන තිබෙන්නේ නම් ඔබ සතුව ඇතැම්විට එහි ලියකියවිලි තිබිය නොහැක.

එවැනි අවස්ථාවකදී ඔබ ග්‍රාම සේවක සහතිකයක් සහ දිවුරුම් ප්‍රකාශයක් ලබා ගෙන මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියාපදිංචි කරගැනීම කළ යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.

"මේ ග්‍රාම සේවා සහතිකයකුයි, දිවුරුම් ප්‍රකාශයකුයි එක්ක මෙහෙන් ඇවිල්ලා නෝමල්විදිහට ෆෝම් එක මෙහෙන් ෆිල් කරලා ඒ දේවල් කරලා එයාට රෙජිස්ටර් කරන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.

2010ට පසු මිලදීගත්, ලියවිලි නොමැති අයට විසඳුමක්

2010ට පසු මෙම යතුරුපැදි මිලදී ගෙන ඇති නමුත්, එය ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි ඔබ සතුව නොමැති නම් එය දෙපාර්තමේන්තුවට දැනුම් දීමේ හැකියාව ඔබට පවතියි.

ඒ අනුව ඉන්පසුව ඒ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගෙන ලියාපදිංචි කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

"ඒගොල්ලොන්ට අපි දැන් ඒකේ සර්වේ එකක් කරන්න තමා මම ඔය මීඩියා හරහා දැනුම්දීමක් කරලා අපි වෙබ් පෝටල් එකක් ඕපන් කරලා තියෙනවා. ඒ ටිකෙන් අපිට දැනුම් දෙන්න කියලා එහෙම ඩොකියුමන්ට්ස් නැති අය ඒ පෝර්ටල් එකට ඇවිල්ලා."

අලුතෙන් මිලදී ගන්නා ඔබ කළ යුතු දේ

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වහනයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය ලියවිලි ඔබ සතුව පවතින්නේ නම් ඔබට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ම ඔබේ යතුරුපැදිය ලියාපදිංචි කරගැනීම කළ හැකි ය.

"නෝමල් වෙහිකල් රජිස්ටර් කරනකොට තියෙන ඩොකියුමන්ට්ස්, ඒ වගේ දේවල් ඔක්කොමත් එක්ක එන්න ඕනේ මෙහෙට," මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

"දැනටත් ඔය ඔය බයිසිකල් ඇත්තටම ලංකාවට එන්නේ මේ වාහන විදිහට නෙමෙයි කන්ටේනර් ඇතුලේ. මේ වෙළෙන්දෝ, ඒ කියන්නේ රජයට බදු ගෙවන්නේ නැතුව ඕක ගෙනැල්ලා ඉවරවෙලා මිනිස්සුන්ව නොමග යවනවා, මේ මේක රෙජිස්ටර් කරන්න ඕනේ නැති වාහනයක් කියලා විකුණනවා," ඔහු පැවසුවේ ය.

"ඔන්න ඔය සිද්ධිය නිසා තමයි මම ඕක දැනුවත් කිරීමක් කළේ. එහෙම ගන්න එපා, ඊට පස්සේ 48cc ගන්නවා නම් ප්‍රොපර් කස්ටම්ස් ඩොකියුමන්ට්ස් එක තියෙන එකක් ඇරෙන්න ගන්න එපා," කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

"සියලු ම ඩොකියුමන්ට්ස් එක්ක, ඒ කියන්නේ කස්ටම්ස්, ඒ කියන්නේ කොමර්ෂල් ඉන්වොයිස්, ඒ අදාළ ඔක්කොම... නෝමල් ඔයා වාහනයක් ගෙන්නනකොට වාහනයට හම්බවෙන ඩොකියුමන්ට් සෙට් එක තියෙන්නේ. අන්න ඒ සෙට් එක ඔක්කොම ටික එක්ක ගන්න කියන්න. එහෙම නැත්නම් නිකන් ගිහිල්ලා මේ ඉන්වොයිස් එකෙන් ම ගන්න එපා කියන එක කියන්න ඕනේ," කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

විදුලි යතුරුපැදිවලටත් මේ නීතිය අදාළ ද?

වර්තමානයේ විදුලි බලයෙක් ක්‍රියාකරන යතුරුපැදි ද මාර්ගයේ දැකගත හැකි අතර, 48cc අඩු එවැනි යතුරුපැදි ද ලියාපදිංචි කළ යුතුදැයි බීබීසී සිංහල කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසුවේ ය.

"වාහනයක් මෝටර් එකකින් නම් වැඩ කරන්නේ, ඕනෑ ම වාහනයක් රෙජිස්ටර් කරන්නම ඕනේ," ඔහු පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසු මේ වන විට විට මෙම වර්ගයේ යතුරුපැදි ලියාපදිංචි කිරීමට පැමිණෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේවෙතත් තවමත් ලියාපදිංචි නොකළ යතුරුපැදි 20,000ක් පමණ ඇත බව ඔහු පැවසීය.

ලියාපදිංචි නොකළ 48CC යතුරපැදි ධාවනය කළොත් මොකද වෙන්නේ?

මෙවැනි යතුරුපැදි ලියාපදිංචි නොකර ධාවනය කළහොත් පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසුවේ ය.

"රෙජිස්ටර් නොකරපු බයිසිකලයක් තිබ්බොත් ඒකට අපි පොලිස් නීතිය ක්‍රියාත්මක කරනවා," ඔහු පැවසුවේ ය.

එමෙන් ම, 48CC එන්ජින් බලයට අඩු යතුරුපැදි ද ලියාපදිංචි කර නොතිබෙන්නේ නම් ඒවාට ද නිතිය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවේ ය.