එ.ජා. මහා මණ්ඩලයේදී විදේශ ඇමති විජිත හේරත් කළ කතාවේ විශේෂ කරුණු 4ක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසි වාරය මේ වන විට පැවැත්වෙමින් තිබෙන අතර, සැප්තැම්බර් 28 වන දා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා එම සැසි වාරය ඇමතීම සිදු විය.

එහිදී කරුණු ගණනාවක් ම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් පළ කළ අතර, ඒවා අතරින් මැදපෙරදිග යුද්ධ වාතාවරණය සහ පලස්තීනය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීම් කැපී පෙනිණි.

ඔහු එහිදී ශ්‍රී ලංකාවේ කාර්යභාරය සම්බන්ධයෙන් ද පැහැදිලි කළේ ය.

1. බටහිර ආසියාවේ ගැටුම්වල දරුණු බලපෑමට ශ්‍රී ලංකාව ලක් වීම

පසුගිය වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයන්ට අමතරව අනෙකුත් බොහෝ රටවල් මෙන් ම ශ්‍රී ලංකාව ද බටහිර ආසියාවේ සහ වෙනත් ප්‍රදේශවල පවතින ගැටුම්වල දරුණු බලපෑමට මුහුණ දෙමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය කතාවේදී පැවසුවේ ය.

"ඉන්දියානු සාගරයේ වැදගත් සන්ධිස්ථානයක පිහිටි දූපත් රජයක් ලෙසත් බටහිර ආසියාවේ විශාල සංක්‍රමණික සේවක ප්‍රජාවක් සේවය කරන රටක් ලෙසත්, මෙම තත්ත්වයන් අපට ඍජු ආරක්ෂක, ආර්ථික සහ සමාජයීය බලපෑම් ඇති කරනවා," යැයි අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ය.

එමෙන් ම මෙවැනි අභියෝගාත්මක කාලසීමාවලදී පවා, ජාත්‍යන්තර නීතියට අදාළ සිය වගකීම් ඉටු කිරීමටත්, මානව ජීවිතයේ පාරිශුද්ධභාවය සහ මානව ගරුත්වය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බව ද ඔහු කියා සිටියේ ය.

2. ඉරාන නාවිකයන් බේරා ගැනීම

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කතාවේදී පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී "ඇමෙරිකානු" ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයන් බේරා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය.

"ගැටුමට අදාළ පාර්ශවයකට අයත් නෞකාවක් අපගේ දේශසීමා ජල තීරය ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බවත්, එහි සිටි නාවිකයන් රැසකගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවත්, අප දැනගත්තා. විවිධ සංවේදී කරුණු පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරමින් සහ අප සතුව තිබූ සීමිත ජාතික සම්පත් උපයෝගී කරගනිමින්, තුවාල ලැබූවන් සහ රෝගී වූවන් බේරා ගැනීමේ, ඔවුන් රැකබලා ගැනීමේ අසීරු කාර්යයක අපි නිරත වුණා," අමාත්‍යවරයා පැවසුවේ ය.

එය අභියෝගාත්මක වුවත් තවත් සිය ගණනක් බේරා ගැනීමටත්, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීයත්වය පදනම් කරගෙන ක්‍රියා කිරීමටත් ශ්‍රී ලංකාව කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ සැසිය අමතමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ය.

මේ නිසා "මානුෂීයත්වය ආරක්ෂා කිරීමට අපි කිසිවිටෙකත් පසුබට නොවන බව," ඔහු පැවසුවේ ය.

ගැටුම් සහ දැඩි බෙදීම් පවතින අවස්ථාවක පවා මානුෂීයත්වයට ඉඩක් පවතින බව විශ්වාස කරන, "විශාල හදවතක් ඇති කුඩා දූපත් රාජ්‍යයක් ලෙස" ලෝකය තුළ ද එම ගුණාංගය ම පිළිබිඹු වනු දැකීමට කැමැත්තෙන් පවසුවන බව එහි එම කතාවේ සඳහන් විය.

3. පලස්තීන ජනතාවගේ ස්වයංනීර්ණ අයිතිය පිළිගැනීම

විදේශ ඇමති විජිත හේරත්ගේ කතාවේ ඇතුළත් වූ තවත් විශේෂ කරුණක් වූයේ, පලස්තීනය සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් ය.

මෑත වසරවලදී මෙතරම් දැනුමක් සහ ධනයක් පවතින ලෝකයක ඖෂධ හා අධ්‍යාපනය අහිමිව දරුවන් කුසගින්නේ පෙළෙමින් සිටියදී අවි ආයුධ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් දිගින් දිගට ම වැය කිරීම පිළිගැනීමට අපහසු බව ඔහු පැවසුවේ ය.

"ස්වයං-නිර්ණ අයිතිය ඇතුළු පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව පෙනී සිටිනවා," ඔහු පැවසුවේ ය.

"1980 දශකයේදී පලස්තීනය වෙන ම රාජ්‍යයක් ලෙස පළමුවෙන් පිළිගත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වෙනවා. 1967ට පෙර පැවති දේශසීමා තුළ ඊශ්‍රායලය සමග සාමකාමිව සහ සහජීවනයෙන් කටයුතු කරන ස්වාධින සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ප්‍රජාව සමග අප එක් වෙනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

එමෙන් ම ගාසා තීරයේ සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ද ඔහු සිය සතුට පළ කළේ ය.

4. සාමසාධක හමුදා සේවය

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් සඳහා සම්බන්ධ වීම විදේශ ඇමතිවරයාගේ කතාවේ අඩංගු වූ තවත් විශේෂ කරුණකි.

1957 වසරේ පටන් ශ්‍රී ලංකාව එම මෙහෙයුම්වලට සම්බන්ධ වූ ඇති බවත් විවිධ මෙහෙයුම් සඳහා භට පිරිස් 21,000කට අධික පිරිසක් යොදවා ඇති බවත් ඔහු පැවසුවේ ය.

"වර්තමානයේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ වඩාත් ම අභියෝගාත්මක පරිසරවල අතිමහත් සේවයක් ඉටු කරමින් අවදාමනට ලක් විය හැකි සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රජාවන්ට ගැටුමෙන් පසු යථා තත්ත්වයට පත් වීමට," සාමසාධක හමුදා සහය ලබා දෙන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

තව ද, "1995 වසරේ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළක්වීමේ සමාලෝචන සහ ව්‍යාප්ති සමුළුවේදී ඉන්දියානු සාගර සාම කලාපයක් සඳහා වන අපගේ පළමු ඉල්ලීමේ සිට අපගේ නායකත්වය දක්වා බහුපර්ශවික නිරයුධාකරණයට ශ්‍රී ලංකාව දිගු කලක් මුළුල්ලේ සහය දක්වා ඇති බව," ඔහු පැවසුවේ ය.