වසර 200කට පසු ටෙනිසිහි මරණ දණ්ඩනයට ලක් වූ පළමු කාන්තාව; මාරාන්තික එන්නත් දෙකක් ලබා දුන්නද දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අසාර්ථකයි

ඡායාරූප මූලාශ්‍රය, Tennessee Department of Corrections
- Author, සරීන් හබේෂියන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි ක්‍රිස්ටා පයික් නමැති කාන්තාව මරාදැමීම සඳහා මාරාන්තික එන්නත් දෙකක් ලබා දීමෙන් පසුවත් ඇගේ හෘද ස්පන්දනය නතර නොවූ බැවින් ඇයව රෝහල් ගත කර ඇති බව ඇගේ නීතිඥවරයා පවසයි.
"පයික් මහත්මියට සිහිය නැති වෙලා තිබුණත්, හෘද ස්පන්දනය තවම නතර වෙලා නැහැ. ඒ වගේම ඇය ශබ්ද නගලා ගොරවනවා," යැයි පවසමින්, ඇයට මරණ දඬුවම ලබා දෙන අතරතුරදීම එය වහාම නතර කරන ලෙස ඇගේ නීතිඥයන් අධිකරණයෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.
පෙන්ටොබාබිටල් (Pentobarbital) එන්නත් මාත්‍රා දෙකක් ශරීරගත කිරීමෙන් පසුව, 50 හැවිරිදි පයික් හට රෝහලේදී ජීවිතය බේරාගැනීමේ හදිසි ප්‍රතිකාර ලබාදෙමින් පවතින බව ඇගේ නීතිඥවරයෙකු BBC පුවත් සේවයට ප්‍රකාශ කළේය.
දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන ඇය, ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි එකම කාන්තාව වූවාය. මෙම ඇමෙරිකානු ප්‍රාන්තය තුළ වසර 200කට වැඩි කාලයකින් වෙනත් කිසිදු කාන්තාවකට මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත.
පයික්ගේ මිතුරියක වන ඈෂ්ලි සෙලර්ස් පැවසුවේ, තමන් සහ පයික් අතර අවසන් වරට සන්නිවේදනයක් සිදු වූයේ මේ සතියේ මුල් භාගයේදී බවයි. එහිදී තමන්ව මරා දැමීම සඳහා සූදානම් කරමින් සිටින අතරතුර පයික් ඇගේ සිර මැදිරියේ සිට කෙටි පණිවිඩයක් එවා තිබුණි.
බදාදා [සැප්: 30] දින ක්‍රියාත්මක කෙරුණු මරණ දඬුවම අතරතුර තම ආදරණීයයන් කිසිවෙකු එහි සිටිනවාට තමන් අකමැති බව පයික් සෙලර්ස්ට පවසා තිබිණි.
"ඇයට අවශ්‍ය නැහැ අපිට ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිදු වෙනවා දකින්න," සෙලර්ස් පවසයි.
සෙලර්ස් පැවසුවේ, තමන් දන්නා කරුණාවන්ත මෙන්ම අන් අයව ආරක්ෂා කරන මෙම කාන්තාව සහ මීට වසර 31කට පෙර ඉතා අමානුෂික අපරාධයක් සිදුකළ තැනැත්තිය එකම කෙනෙකු බව පිළිගැනීමට තමන්ට අපහසු බවයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දැනට 50 හැවිරිදි වියේ පසුවන පයික්, ඇගේ එවකට පෙම්වතා වූ ටැඩැරිල් ෂිප් සමඟ එකතු වී කොලීන් ස්ලෙමර් නමැති 19 හැවිරිදි තරුණියකට පහර දී, වධහිංසා පමුණුවා ඇයව ඝාතනය කරන විට ඇගේ වයස අවුරුදු 18කි. ගැටලුකාරී හැසිරීම් ඇති යෞවනයන් සඳහා වූ රැකියා පුහුණු කඳවුරකදී ඔවුන්ට මෙම තරුණිය හමුවී තිබුණි.
කොලීන්ගේ සිරුර සොයාගන්නා විට, සාතන් ඇදහීමේ චාරිත්‍රවල සංකේතයක් වන 'පෙන්ටග්‍රෑමයක්' (තරු හැඩැති සංකේතයක්) ඇගේ පපුවේ කොටා තිබූ අතර, මෙම ඝාතනය හේතුවෙන් 1995 වසරේදී ටෙනසි ප්‍රාන්තයේ නොක්ස්විල් නුවර මාධ්‍ය තුළ දැඩි කැළඹීමක් ඇති විය.
1995 වසරේදී ටෙනසි ප්‍රාන්තයේ නොක්ස්විල්හිදී, සාතන්වාදී චාරිත්‍රයක සංකේතයක් වන 'පෙන්ටග්‍රෑම්' ලාංඡනයක් [උඩුයටිකුරු පස්කොන් තරුවක්] සිය පපුවේ කොටා තිබියදී කොලීන්ගේ ශරීරය හමුවීමත් සමග මෙම ඝාතනය මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළේ ය.
මෙම ඝාතනයට පෙර, පයික් විසින් කොලීන් තමාට අපහාස කළ බවටත්, එකල තමාගේ පෙම්වතා පැහැර ගැනීමට උත්සාහ කළ බවටත් චෝදනා කර තිබිණි.
එම කඳවුරේ සිටි තවත් දෙදෙනෙකු පසුව සාක්ෂි දුන්නේ, පයික් එම ඝාතනයට පෙර සහ ඉන් පසුව ඒ ගැන පුරසාරම් දෙඩූ බවත්, කොලීන්ගේ හිස් කබලේ කොටසක් ඔවුන්ට පෙන්වූ බවත් ය
වසරකට පසුව ඇයට මරණ දඬුවම නියම විය. එකල 17 හැවිරිදි බාලවයස්කරුවෙකු වූ ෂිප්ට, කොන්දේසි මත දඬුවම අවසන් වීමට පෙර නිදහස් වීමේ හැකියාව සහිත ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කෙරිණි.
වසර ගණනාවක අසාර්ථක අභියාචනාවලින් පසුව, පයික්ගේ මරණ දඬුවම බදාදා දිනට නියම කර තිබුණි. 1970 දශකයේ සිට මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ කාන්තාවන් 18 දෙනෙකුට පමණක් වන අතර, ඊට සාපේක්ෂව පිරිමින් 1,663 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත.
මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහය බදාදා රාත්‍රියේ දේශීය වේලාවෙන් රාත්‍රී 20:00 ට පමණ නැෂ්විල් (Nashville) හි පිහිටි රිවර්බෙන්ඩ් අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී සිදු විය.
පයික්ට පෙන්ටොබාර්බිටල් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් අතර, සාක්ෂිකරුවන් සිටි කාමරයේ තිරය දෙවරක් වසා දැමූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
එක් අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටි බව ද එම පුවත් සේවය සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Family handout
පයික්ගේ නීතිඥ කණ්ඩායම 'ටෙනසියන්' (Tennessean) පුවත්පතට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ: 'අද රාත්‍රියේදී ටෙනසි ප්‍රාන්තය නීත්‍යානුකූල මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමට තවත් වරක් අපොහොසත් වුණා' යනුවෙනි.
"අපි කියපු දේ හරි ගියා කියලා අපිට කිසිම සතුටක් නැහැ. හැබැයි පයික් මතු කරපු ප්‍රශ්න ඇත්තක් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ, එන්නත් කරන්න ලේ නහර හොයාගන්න අමාරු වෙන එක, නහර පිපිරෙන එක, බාල ප්‍රමිතියේ පෙන්ටොබාබිටල් බෙහෙත් පාවිච්චි කරන එක සහ වැඩේ වැරදුණාම හදිසි වෛද්‍ය උදව්වක්වත් ලෑස්ති කරලා නැති එකයි. මේ හැමදේම සිද්ධ වෙන්නේ හැමෝගෙන්ම හංගපු, රහසිගත නීති මාලාවක් යටතේ."
මාරාන්තික එන්නත ලබා දීමේ ක්‍රියාවලිය පැහැදිලිවම අසාර්ථක වීමෙන් පසුව, පයික්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට සහ ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස ඇගේ නීතිඥයන් විසින් හදිසි මෝසමක් ගොනු කරන ලදී.
මෝසමෙන් ඉල්ලා සිටි පරිදි වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන් කරමින් දිස්ත්‍රික් විනිසුරු ක්ලිෆ්ටන් එල්. කෝකර් නියෝගයක් නිකුත් කළේය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයේදී තමන් ගත් සියලු ක්‍රියාමාර්ග සාධාරණ බව ටෙනසී ප්‍රාන්තයේ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
"ටෙනසීහි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව නීතිපති කාර්යාලය විසින් අනුමත කරන ලද රාජ්‍යයේ නීත්‍යානුකූල, ස්ථාපිත දඬුවම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රොටෝකෝලයේ සෑම පියවරක්ම අනුගමනය කළා," දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ඩොරින්ඩා කාටර් ටෙනසියන් පුවත්පතට පැවසුවාය.
"මේ ක්‍රියාපටිපාටියට පාවිච්චි කරන මාරාන්තික එන්නත් රසායනිකය හැම තිස්සෙම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම අද හැන්දෑවේ සිද්ධ කරපු දේට වඩා අමතර පියවරක් ගන්න මේ ක්‍රියාපටිපාටියෙන් ඉඩක් දෙන්නේ නැහැ. ක්‍රිස්ටා පයික්ව දැන් බන්ධනාගාරයෙන් පිටත තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයකට (රෝහලකට) රැගෙන ගිහින් තියෙනවා," ඇය පැවසුවාය.
තමන් ක්‍රිස්ටා පයික්ගේ නීතිඥ කණ්ඩායම විසින් වෛද්‍ය විශේෂඥයෙකු ලෙස බඳවා ගනු ලැබූ බව බීබීසී පුවත් සේවයට පැවසූ, එමරි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය ජොයෙල් සිවොට් ප්‍රකාශ කළේ, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ශ්වසනය නතර වීමට සහ හෘදවාහිනී පද්ධතිය අකර්මණ්‍ය වීමට තරම් ප්‍රමාණවත් පෙන්ටොබාබිටල් රසායනික මට්ටමක් ඇගේ රුධිරය තුළට ඇතුළු වී නොමැති බවයි.
ප්‍රතිජීවනය ආරම්භ කිරීමට ප්‍රමාද වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ මොළයට හානි සිදුවීමට බොහෝ දුරට ඉඩ කඩ තිබෙන බව සිවොට් මහතා ඊමේල් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළේය.
බදාදා උදෑසන [සැප්: 30] පහළ අධිකරණයක් විසින් ලබා දී තිබූ අත්හිටුවීමේ නියෝගය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි. මාරාන්තික එන්නතක් මගින් පයික්ගේ ජීවිතය අවසන් කිරීමට විනිසුරුවරුන් අනුමැතිය ලබා දුන්නේ දින දෙකක් ඇතුළත දෙවන වරට ය.
එදින මීට පෙර ලබා දුන් නියෝගයකින්, එක්සත් ජනපද හයවන මට්ටමේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් විසින් පයික්ගේ නඩුවට අදාළ තර්ක සලකා බැලීමට තවදුරටත් කාලය අවශ්‍ය බව පවසමින් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලදී.
එහෙත් පිටු 226කින් සමන්විත දඬුවම් ලිහිල් කිරීමේ පෙත්සමක් ගොනු කළ පයික්ගේ නීතිඥවරු, අවසන් මොහොතේ හෝ දඬුවම අත්හිටුවනු ඇතැයි තවදුරටත් බලාපොරොත්තු වූහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ද මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටියහ.
පයික්ට ළමා වියේදී සිදුවූ ලිංගික අපයෝජන, අත්හැර දැමීම් සහ නොසලකා හැරීම් පිළිබඳ ලේඛනගත ඉතිහාසයක් තිබේ.
ඇයට දඬුවම් නියම කිරීමෙන් පසු ගතවූ වසර කිහිපය තුළ, ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම ඇගේ ළමා කාලය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ජූරි සභාවට ඒ පිළිබඳව සලකා බැලීමට කිසිදු අවස්ථාවක් නොලැබුණු බව ඔවුහු පවසති.
"ඇය අපයෝජනයට හා දූෂණයට ලක්වූ ඉතිහාසය පිළිබඳව දැන ඉඳලත්, ඒ කිසිවක් ඔවුන් ඉදිරිපත් නොකිරීම විශ්මයට කරුණක්," යනුවෙන් පයික්ගේ නීතිමය ආරක්ෂක කටයුතු සඳහා දායක වූ, කෝනෙල් නීති විද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ මරණ දඬුවම පිළිබඳ විශේෂඥවරියක වන සැන්ඩ්‍රා බැබ්කොක් පවසයි.
"ඇයගේ සිද්ධිය ඉතා අසාමාන්‍ය එකක්; ඊට හේතුව ඇය මුහුණ දුන් ලිංගික අපයෝජන පිළිබඳ දුෂ්කර අතීතය පමණක් නොවෙයි, ඇයගේ අඩු වයස සහ මානසික සෞඛ්‍ය තත්ත්වයත් හේතුවක්".
1995 වසරේදී, අධිකරණ මනෝවිද්‍යාඥවරියක වන ආචාර්ය ඩයනා මැකෝයිව පයික් වෙනුවෙන් පෙනී සිටි නීතිමය ආරක්ෂක කණ්ඩායම විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා කැඳවිණි. පයික් ඇගේ දෙමාපියන් දෙදෙනාගේ ම දැඩි නොසලකා හැරීමට ලක්ව සිටි බව ඇය සොයා ගත්තා ය. පයික්, ඇගේ මවගේ විවිධ සැමියන් සහ පෙම්වතුන් අතින් ශාරීරික හා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට මැකෝයිගේ වාර්තාවේ සඳහන් විය. ඇය 11 හැවිරිදි වියේදී සහ 17 හැවිරිදි වියේදී ඇතුළුව අවස්ථා කිහිපයකදීම දූෂණයට ලක්වූ බවද එම වාර්තාවේ දැක්විණි.
පසුව අනාවරණය වූයේ, ඇය කුඩා දරුවකුව සිටියදී ඇගේ මිත්තණියගේ පෙම්වතා ඇයව නැවත නැවතත් දූෂණයට ලක් කර තිබූ බව යි. මැකෝයි පැවසුවේ මෙම දූෂණයන් සිදුවූ බව පයික්ගේ මව විශ්වාස නොකළ බවයි.
නමුත් පයික්ගේ නඩු විභාගය මෙහෙයවූ නීතිඥයා මැකෝයිව සාක්ෂි කූඩුවට කැඳවීමට හෝ ඇය නිර්දේශ කළ වෙනත් සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකු කැඳවීමට පියවර ගත්තේ නැත. මෙම තොරතුරු කරළියට පැමිණියේ මින් දශකයකටත් වඩා වැඩි කාලයකට පසුව ඇගේ නඩුව සමාලෝචනය කළ අධිකරණ විභාගයකදීමය. එහිදී ඇගේ නව නීතිඥ කණ්ඩායම කියා සිටියේ පෙර නීතිඥවරයාගෙන් නිසි නීතිමය සහායක් නොලැබුණු බවයි. කෙසේ වෙතත්, විනිසුරුවරයා විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදී.
2021 දී බන්ධනාගාරයේ සිටියදී පයික්ට බයිපෝලාර් ආබාධයක් ඇති බවට රෝග විනිශ්චය කෙරුණු අතර, එතැන් පටන් ඇය ඊට අදාළ ප්‍රතිකාර ලබමින් සිටියා ය.
පසුව, 2023 වසරේදී පයික් වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්වය විසින් යොදාගත් තවත් අධිකරණ මනෝවිද්‍යාඥවරියක වන ආචාර්ය බෙතානි බ්‍රෑන්ඩ් ඇයව පරීක්ෂාවට ලක් කළා ය. පයික්ව ආරක්ෂා කිරීමට වගකිවයුතු බොහෝ දෙනෙකු අතින්ම ඇය අපයෝජනයට ලක්ව තිබූ බැවින්, ඇයගේ සිද්ධිය අතිශය දුර්ලභ එකක් බව බ්‍රෑන්ඩ් ප්‍රකාශ කළා ය.
"ඇගේ ළමා කාලය ශාරීරික, ලිංගික සහ මානසික හිංසනයෙන් පිරී පැවතුණා. පාසල් යන වයසට එළැඹීමටත් පෙර සිටම ඇය පිරිමින් කිහිප දෙනෙකුගේම ලිංගික අපයෝජනයට ලක් වුණා," යැයි ඇය පැවසුවා ය.
ටෙනසී ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටින එකම කාන්තාව වන පයික් විසින් ඉදිරිපත් කරනු ලැබූ දඬුවම ලිහිල් කිරීමේ ඉල්ලීමක් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා මෙම සතියේදී ප්‍රතික්ෂේප කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, J. Miles Carey/USA TODAY/Imagn Images via Reuters
තම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේදී පයික් සඳහන් කළේ, තමාට අවශ්‍ය වූයේ ස්ලෙමර්ට පහර දීමට මිස ඇයව මරා දැමීමට නොවන බවත්, එහෙත් තමාට "ක්‍රියාව නවතා ගැනීමට" නොහැකි වූ බවත් ය.
"මම මානසික රෝගී තත්වයකින් පෙළුණු 18 හැවිරිදි තරුණියක්ව සිටියා," ඇය ප්‍රකාශයක් කරමින් පැවසුවාය. "මා සිදු කළ ක්‍රියාවේ බරපතළකම වටහා ගැනීමට පවා මට වසර ගණනාවක් ගත වුණා."
"ඊටත් වඩා, මම කොච්චර ජීවිතවලට බලපෑම් කළා ද කියන එක පිළිගන්න. මම කෙනෙකුගේ දරුවෙකුගේ, සහෝදරියකගේ හෝ මිතුරියකගේ ජීවිතය අහිමි කළා. මෙවැනි අපරාධයක් කිරීමට තරම් හැකියාවක් මට තිබුණා යැයි හිතෙද්දි දැන් මට පිළිකුලක් දැනෙනවා."
කොලීන් ස්ලෙමර්ගේ මව ප්‍රකාශ කර තිබුණේ එම මරණ දඬුවම ක්‍රියාත්මක වීම තමාට අවශ්‍ය බවයි. පයික්ට නියම වූ දඬුවම ක්‍රියාත්මක වන අයුරු දැක බලා ගැනීම සඳහා තමන් දශක ගණනාවක් තිස්සේ බලා සිටි බව ඇය ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පැවසුවා ය.
"ඒ ගැන හිතෙන සෑම අවස්ථාවකම, කොලීන් එම වේදනාව විඳිමින් නැගිටලා දුවන්න උත්සාහ කළ ආකාරය ගැන මට සිහිවෙනවා," යැයි මේ මාටිනෙස් සෙනසුරාදා [සැප්: 26] එම පුවත් සේවයට පැවසුවා ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම දැකබලා ගැනීම සඳහා ෆ්ලොරිඩාවේ සිට ටෙනසී වෙත යාමට අවශ්‍ය අරමුදල් රැස් කිරීමට ඇය සහ ඇගේ සැමියාට කණ්ඩායමක් උදව් කළ බව ඇය පැවසුවා ය.



































