'අයියා දවස් දෙකකින් කතා කළේ නැහැ' : සෞදියේ මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ පවුලේ අය පවසන්නේ කුමක් ද?

සිවරාසා අනෝජන් සහ ඔහුගේ මව
    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින තම වැඩිමහල් පුත්‍රයා වන සිවරාසා අනෝජන් බේරා ගැනීමට උපකාර කරන ලෙස ඔහුගේ මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි රජයෙන්, ආගමික නායකයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ඉල්ලීමක් කරයි.

"මගේ පුතා යම් වරදක් කරලා තියෙනවා නම්, අපි ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා. එයාට සමාව දීලා අපිට භාර දෙන්න කියලා අපි ඉල්ලනවා," යැයි ඔහුගේ මව කඳුළු සලමින් කියා සිටියාය.

මරණ දඬුවම නියමව සිටින සිවරාසා අනෝජන් මරණ දඬුවමින් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය, දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් ප්‍රමුඛ සිවිල් සංවිධාන රැසක් මේ වන විට කටයුතු කරමින් සිටිති.

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් අනතුරුව අනෝජන්ට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩ මුදලක් නියම වී තිබුණි.

එම දඬුවම සම්බන්ධයෙන් ගොනු කර තිබූ අභියාචනයකින් අනතුරුව, සෞදි අරාබියේදී අනෝජන්ට පෙර ලබා දී තිබූ දඬුවම වෙනුවට මරණ දඬුවම නියම කර ඇති බව සැප්තැම්බර් 18 වැනිදා වාර්තා විය.

අනෝජන්ට සිදුවූයේ කුමක්ද?

කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදාය.

පසුගිය ජූලි මස 27 වැනිදා ෆේස්බුක් ඔස්සේ ඔහු පළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව ඔහු සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

අනෝජන් පළමුව අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.

කෙසේ වෙතත්, මුල් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

'ඊමේල් යවා තිබුණේ ලංකාවේ ඉදලා'

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිවරාසා අනෝජන් ගේ සහෝදරයා වන සිවරාසා හම්සිදන් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ තම සහෝදරයා සම්බන්ධයෙන් ඔහු සේවය කළ සමාගමට පැමිණිලි කර තිබුණේ මෙරට සිටින පුද්ගලයින් පිරිසක් බවය.

"මේ සිදුවීම වෙන්නේ ජූලි 27 වැනිදා. එදා තමයි මේ ෆේස්බුක් සිදුවීම වෙන්නේ. ජූලි මාසේ 29 වැනිදා එයාව එක්කන් ගිහින් තියෙනවා. සෞදියේ ඉන්න අය මේ සිද්ධිය ගැන මුකුත්ම දන්නේ නැහැ. ලංකාවේ ඉන්න සමහරක් අය තමයි අයියා වැඩ කරපු කම්පැනි එකේ ඊමේල් එකට කට්ටිය මේල් දාලා තිබ්බේ ජූලි 28 වැනිදා. ඒ අය කවුද කියලවත් මම මතක් කරන්න කැමති නැහැ." ඔහු පැවසුවේය.

අනෝජන් සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑල හරහා ලද පැමිණිලි සම්බන්ධයෙන් ඔහු රැකියාවේ නිරතව සිටි සමාගම ජූලි මස 29 වැනිදා පියවර ගෙන තිබෙන බව සිවරාසා හම්සිතන් කියා සිටියේය.

"මේල් ආවට පස්සේ තමයි අයියා වැඩ කරපු කම්පැනි එකෙන්ම එයාව එක්කන් ගිහින් තියෙන්නේ ජූලි 29 වැනිදා. එයාලා අයියව පොලිස් ස්ථාන 04කට එක්කන් ගිහින් තියෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක් පැමිණිල්ල භාර අරගෙන නැහැ. පස්සේ අයියා වැඩ කරපු කම්පැනි එකෙන්ම තමයි ලෝයර් කෙනෙක් අල්ලලා මෙහෙම සිද්ධියක් වෙලා කියලා කේස් එකක් දාලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණේ." ඔහු පැවසුවේය.

සිවරාසා අනෝජන් ගේ දෙමව්පියන් සහ සොහොයුරා ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදා කල්මුණේ නිවසේදී
ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ පුතා යම් වරදක් කරලා තියෙනවා නම්, අපි ඒ සම්බන්ධයෙන් සමාව අයදිනවා. එයාට සමාව දීලා අපිට භාර දෙන්න කියලා අපි ඉල්ලනවා," යැයි ඔහුගේ මව කඳුළු සලමින් කියා සිටියාය

'අයියා දවස් දෙකකින් කතා කළේ නැහැ'

අනෝජන් ගේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසීමට බිබීසී සිංහල (සැප්:28) දුරකතන ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී ඔහුගේ බාල සහෝදරයා වූ සිවරාසා හම්සිදන් කියා සිටියේ සිය සහෝදරයා දින දෙකකින් දුරකතන ඇමතුමක් ලබා නොදුන් බවය.

"තත්ත්වය කොහොමද කියනවනම් අයියා කතා කළේ නැහැ දවස් දෙකකින්. තානාපති කාර්යාලය දැනුවත් කළා මේ ගැන හොයලා බලලා අපිට කියන්න කියලා. ගිහින් බලන්නම් කියලා කිව්වා. එයාලගෙන් අපිට තවම උත්තරයක් ලැබුණේ නැති නිසා අපි බලන් ඉන්නවා.

අයියට දවසකට මිනිත්තු 05ක් අපිට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. එයා ඉන්න බන්ධනාගාරයේ ඉඳලා ටෙලිෆෝන් කරන්න අවසර ලැබෙනවා. සමහර විට බන්ධනාගාරය මාරු කරල ද නැත්නම් ටෙලිෆෝන් කෝල් ගන්න ඉඩ දෙන්නේ නැද්ද කියලා කියන්න අපි මුකුත් දන්නේ නැහැ." ඔහු පැවසුවේය.

අනෝජන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා මඩකලපුව ප්‍රදේශ සංවිධානය කර තිබු උද්ඝෝෂණයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, දැනට මරණ දඬුවම නියමව සිටින සිවරාසා අනෝජන් මරණ දඬුවමින් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය, දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් ප්‍රමුඛ සිවිල් සංවිධාන මේ වන විට කටයුතු කරමින් සිටිති

ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීම

සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර අදාළ තරුණයා බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම, අදාළ තරුණයා බේරා ගැනීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳවත් අවධානය යොමු වී තිබේ.

සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින් ඉදිරි කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් රජය දක්වන අවධානය යළි අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවද පෙන්වා දී ඇත.

දෙමළ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක්

දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හයක් නියෝජනය කරන, දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ දේශපාලන සභාව, සිවරාසා අනෝජන්ට රාජකීය සමාවක් ලබා දෙන ලෙස ඉල්ලා සෞදි අරාබි රාජධානිය වෙත හදිසි හා මානුෂීය ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

සෞදි අරාබියේ ඉහළම අධිකරණය ඉදිරියේ අවසන් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තවදුරටත් පවතින බව තමන්ට අවබෝධ වී ඇති බව එම සභාව පවසයි.

එහෙත් එවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා විශාල නීතිමය වියදම් දැරීමට සිදුවන අතර, අඩු ආදායම්ලාභී පවුල් පසුබිමකින් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයකු වන අනෝජන්ගේ පවුලට එම වියදම් දැරීමට හැකියාවක් නොමැති බවද එම සභාව සිය සංදේශයේ සඳහන් කර තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

'වරද නිවැරදි කර ගන්න තියෙන අවස්ථාව අහිමි නොකළ යුතුයි'

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී ඇතැයි වාර්තාවන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇති බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

සිය 'X' ගිණුමේ සටහනක් තබමින් අලි සබ්රි සඳහන් කර ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනෝජන් සිවරාජා නමැති තරුණයාට මුලින් නියම වී තිබූ පස් අවුරුදු සිර දඬුවම, මරණ දඬුවම දක්වා ඉහළ යාම පිළිබඳ තමන් දැඩි කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවය.

සිත රිදවීමක් මත පදනම් වූ වරදක් හේතුවෙන් පුද්ගලයෙකුට පසුතැවීමට, තමන්ගේ වරද නිවැරදි කර ගැනීමට සහ නැවත ජීවිතය ගොඩනගා ගැනීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහෝසි නොකළ යුතු බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ සිත රිදවනසුළු ප්‍රකාශයක් වෙනුවෙන් වසර පහක සිරදඬුවමක් නියම කිරීම පවා දැඩි තීරණයක් වී ඇති පසුබිමක, එකී ක්‍රියාව වෙනුවෙන් මිනිස් ජීවිතයක් නැති කිරීම මානුෂීය විරෝධී මෙන්ම කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රියාවක් බව හිටපු අමාත්‍යවරයා සිය X ගිණුමේ පළකර ඇති සටහනේ සඳහන් කර ඇත.

සෞදි අරාබියේ නීති පද්ධතියට ගෞරව කරන අතර, සිදුව ඇතැයි කියන වරදට මෙවැනි දැඩි දඬුවමක් නියම කිරීම හමුවේ නිහඬව සිටිය නොහැකි බවට සමාජයේ කතිකාවතක් ගොඩනැගී තිබෙන බැවින් මෙම තත්ත්වය සලකා බලමින් සෞදි බලධාරීන්ගෙන් සානුකම්පිතව ඉල්ලා සිටින්නේ අදාළ තරුණයාට සමාව ලබාදෙන ලෙස බව හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කර තිබේ.

එමෙන්ම, අනෝජන්ගේ නිදහස සඳහා වන උත්සාහයන්ට මෙරට මුස්ලිම් දේශපාලනඥයින් මෙන්ම මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ද සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.

සිවරාසා අනෝජන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසීම සඳහා බීබීසී සිංහල සැප්තැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගු සම්බන්ධ කර ගත්තද, මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.