පකිස්තාන් සරසවි ප්‍රහාරයෙන් විස්සක් මරුට

Published

වයඹ දිග පකිස්තානයේ සරසවියක සිදු වූ වෙඩි හුවමාරුවකින් විසි දෙනකු පමණ මරා දමා ඇති බවක් වාර්තා වෙයි.

මරණයට පත් කොට ඇති පුද්ගලයන් අතර සරසවි සිසුන් මෙන්ම ආචාර්යවරුන් ද සිටින බවයි පැවසෙන්නේ.

‘චර්සදා’ (Charsadda) නගරයේ ‘බචා කාන්’ සරසවියට තුවක්කු කරුවන් කණ්ඩායමක් කඩා පනිමින් එල්ල කළ ප්‍රහාරයක් සමඟයි ගැටුම ආරම්භ වී තිබෙන්නේ.

වෙඩි හුවමාරුවට ගොදුරු වූ තවත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටින බවත් පකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

සන්නද්ධ ප්‍රහාරකයන් හතර දෙනකු මරා දමන ලද බව පවසන යුද හමුදාව ‘සරසවි භූමිය තුළ සෝදිසි මෙහෙයුමක් ගෙන යමින් සිටින’ බවත් කියා සිටියි.

ප්‍රහාරය එල්ල කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න තවමත් පැහැදිලි නැත.

එසේම ප්‍රහාරයට පැමිණි කණ්ඩායමේ තවත් කිසිවකු නිදැල්ලේ සිටින්නේ ද යන්නත් තවම පැහැදිලි නැති බවයි, පකිස්තාන් වාර්තා මගින් පැවසෙන්නේ.

ප්‍රහාරයට ගොදුරු වූ ‘බචා කාන්’ සරසවිය පිහිටා තිබෙන්නේ පෙෂවෝර් නගරයට කිලෝ මීටර් පනහක් පමණ ඈතිනි.

2014 වසරේ තාලිබාන් ප්‍රහාරකයන් විසින් ‘පෙෂවෝර්’ නගරයේ පාසලකට එල්ල කරන ලද ප්‍රහාරයකින් එකසිය තිහකට අධික ළමුන් සංඛ්‍යාවක් මරා දැමුණි.