චෙම්මනි සමූහ මිනීවළ: අතුරුදන් වූවන්ගේ නීතිඥයෝ DNA පරීක්ෂණයක් ඉල්ලති

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන්, අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධතා ඉදිරිපත් කළ බව නීතිඥ වී. කේ. නිරංජන් පවසයි.
2026 නොවැම්බර් 19 වැනි බ්‍රහස්පතින්දා යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් මෙම විරෝධතා මතු කර තිබේ.
එහිදී නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ, මුලින් ඉදිරිපත් කළ වාර්තා සහ අවසන් වරට ඉදිරිපත් කළ අතුරු වාර්තාව අතර විවිධ පරස්පරතා පවතින බවයි.
ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. ගුරුබරන් ඇතුළු නීතිඥවරුන් 20 දෙනෙකු පමණ අතුරුදන් වූවන් වෙනුවෙන් මෙම නඩු විභාගයට පෙනී සිටි බව ද නීතිඥ නිරංජන් වැඩිදුරටත් සඳහන් කළේය.
මහාචාර්ය රාජ් සෝමදේව අවසන් වරට ඉදිරිපත් කළ අතුරු වාර්තාව පමණක් පදනම් කරගෙන තීන්දු ප්‍රකාශයට පත් නොකරන ලෙසත්, ඒ සඳහා අනෙකුත් පාර්ශ්වයන්ගේ වාර්තා ද සැලකිල්ලට ගත යුතු බවත් අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව නීතිඥ වී. කේ. නිරංජන් සඳහන් කළේය.
සමූහ මිනීවළ තුළින් හමු වූ අස්ථි කොටස් වසංගතයකින් මියගිය පිරිසකගේ බවට පළ වන මතයන් පිළිගැනීමට අපහසු බවත්, එම අස්ථි කොටස් සම්බන්ධයෙන් ජාන පරීක්ෂණයක් (DNA) සිදු කළ යුතු බවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියහ.
මහාචාර්ය සෝමදේවගේ වාර්තා තුළ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ස්ථිර නිගමනයක් ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් නීතිඥවරු, යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් රැසක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් නඩු 54ක් ගොනු වී ඇති බව ද අධිකරණයට සිහිපත් කළහ.
චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් වන මීළඟ නඩු විභාගය 2026 දෙසැම්බර් 14 වැනිදා යළි කැඳවීමට නියමිත බව ද නීතිඥ වී. කේ. නිරංජන් වැඩිදුරටත් පැවසුවේය.
චෙම්මනි සිද්ධියට අදාළ වාර්තාව අධිකරණයට භාර දී ඇති බවට පළ වන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී, දැනට පවතින අධිකරණ කටයුතු හේතුවෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් කිරීම සුදුසු නොවන බව මහාචාර්ය රාජ් සෝමදේව බීබීසීයට පැවසීය.
අදාළ කැණීම් කටයුතු තවමත් අවසන් කර නොමැති බවත්, ඒවායේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ අධිකරණය විසින් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණයට භාර දී ඇති බව කියන වාර්තාව බීබීසීයට මෙතෙක් දැකගැනීමට හැකි වී නොමැත. එබැවින් එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ස්වාධීනව තොරතුරු තහවුරු කර ගැනීමට ද බීබීසීයට හැකි වී නැත.
චෙම්මනි සමූහ මිනීවළේ DNA පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සහාය ගැනීමට රජය සූදානම් - අධිකරණ ඇමති
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර පසුගිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් සහ ඒ ආශ්‍රිත විමර්ශනවල විනිවිදභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතර සංවාදයක් ඇති විය.
ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කළ අර්චුනා මන්ත්‍රීවරයා, මේ දක්වා කැණීම්වලින් හමු වී ඇති මිනිස් අස්ථි කොටස් සංඛ්‍යාව, ඒවා සංරක්ෂණය කර ඇති ආකාරය සහ විමර්ශන වාර්තා නිකුත් කරන කාලසීමාව පිළිබඳව විමසා සිටියේය.
පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේවට වෝහාරික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් තිබේදැයි ප්‍රශ්න කළ ඔහු, එම වාර්තාවෙන් දෙමළ ප්‍රජාවට අගතියක් සිදුවන බවට සමාජයේ මතයක් පවතින බව ද පැවසීය.
ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ, යාපනය මහේස්ත්‍රාත්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදියර කිහිපයකින් සිදු කළ කැණීම්වලදී පුද්ගලයන් 574 දෙනෙකුගේ පමණ මෘත ශරීර කොටස් ගොඩගෙන ඇති බවයි.
අධිකරණ වෛද්‍ය නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) නිරීක්ෂකයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක සහභාගීත්වයෙන් නීත්‍යනුකූලව කැණීම් සිදු කෙරෙන බව ද ඔහු අවධාරණය කළේය.
මහාචාර්ය රාජ් සෝමදේව වෝහාරික වෛද්‍ය විශේෂඥයකු නොවන බව පිළිගත් අමාත්‍යවරයා, ඔහු ඉදිරිපත් කර ඇත්තේ භූමදානයේ පසුබිම විස්තර කෙරෙන 'වෝහාරික පුරාවිද්‍යාත්මක වාර්තාවක්' පමණක් බවත්, එය අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොවන බවත් පැහැදිලි කළේය.
මරණවලට හේතුව සහ ඒවා සිදු වූ ආකාරය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමේ වගකීම යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු කණ්ඩායමට පවරා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අතුරුදන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ විරෝධතා සැලකිල්ලට ගනිමින්, මහාචාර්ය සෝමදේවගේ වාර්තාව නඩු ගොනුවේ කොටසක් ලෙස පමණක් තබා ගැනීමටත්, එය පදනම් කරගෙන පමණක් තීන්දු නොගැනීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව ඔහු පැවසීය. එම වාර්තාවේ දෙමළ ජනතාවට අපහාසයක් වන කරුණු කිසිවක් අඩංගු නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ සඳහා අධිකරණයේ කිසිදු පාර්ශ්වයකින් විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.
කෙසේ වෙතත්, හමු වූ අස්ථි කොටස් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය DNA පරීක්ෂණ පහසුකම් ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් නොවන බව රජය පිළිගන්නා බව ඔහු පැවසීය. අධිකරණය නියෝග කරන අවස්ථාවකදී එම පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමටත්, DNA සාම්පල විදේශගත කිරීමටත් රජය සූදානම් බව ද ඔහු සඳහන් කළේය.
අතුරු ප්‍රශ්නයක් යොමු කළ වෛද්‍ය රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පැවසුවේ, මාතලේ, මන්නාරම සහ චෙම්මනි සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් දෙමළ ජනතාව ඝාතනය කරනු ලැබ ඇති බවට සැක පවතින බැවින්, අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටු කිරීම සඳහා විධිමත් DNA පරීක්ෂණ අත්‍යවශ්‍ය බවයි.
පේරාදෙණිය වෛද්‍ය පීඨයට පමණක් එම පරීක්ෂණ සිදු කළ නොහැකි බැවින්, ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලය වැනි ජාත්‍යන්තර ආයතනවල විශේෂඥයන්ගේ අධීක්ෂණය යටතේ වෝහාරික පරීක්ෂණ සිදු කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. පසුගිය ආණ්ඩු මෙන් මෙම විමර්ශන යටපත් නොකර සත්‍යය හෙළි කරන ලෙස ද මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, වත්මන් රජයට විමර්ශන යටපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. අධිකරණ නියෝගය ලැබුණු වහාම DNA සාම්පල විදේශගත කර විද්‍යාත්මකව හා නිවැරදිව පරීක්ෂණ සිදු කරන බව ද ඔහු යළිත් සහතික කළේය.
අවසානයේදී අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ පටු දේශපාලන වාසි තකා මෙම සංවේදී කාරණය දේශපාලනීකරණය නොකරන ලෙසයි.
ජාතිය, ආගම හෝ කුලය මත පදනම් නොවී විද්‍යාත්මක සාක්ෂි මත පමණක් පදනම්ව සත්‍යය හෙළි කිරීම රජයේ අරමුණ බවත්, ඒ තුළින් පීඩාවට පත් පවුල්වලට යුක්තිය ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

චෙම්මනි සමූහ මිනීවළෙහි හයවන අදියරේ කැණීම් කටයුතු පසුගිය 2026 අප්‍රේල් 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණි.
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි මෙම සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා අවසන් කෙරුණු බව කැණීම් නිලධාරීහු පවසති.
යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු සිදු කෙරිණි.
එම කැණීම්වලින් හමු වූ අස්ථි කොටස් සහ භාණ්ඩ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන්ගේ භාරයේ තබා ඇත.
මෙරටින් හමු වූ විශාලතම සමූහ මිනීවළ
උතුරු පළාතේ මේ දක්වා සමූහ මිනීවළවල් කිහිපයක කැණීම් කටයුතු සිදු කර ඇති අතර, ඒවායින් හමු වූ අස්ථි කොටස් ප්‍රමාණය සැසඳීමේදී චෙම්මනි සමූහ මිනීවළ තුළින් මිනිස් සිරුරු 583කට අදාළ අස්ථි කොටස් මතු වීමත් සමඟ එය මෙරටින් හමු වූ විශාලතම සමූහ මිනීවළ බවට පත්විය.
මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් හමු වූ විශාලතම සමූහ මිනීවළ ලෙස මීට පෙර වාර්තා වී තිබුණේ මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමු වූ සමූහ මිනීවළයි. එහි තිබී මිනිස් සිරුරු 342කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි.
යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනීවළවල් වාර්තා වූ අතර, පසුගිය කාලය පුරා එම ස්ථානවල කැණීම් කටයුතු සිදු කෙරිණි.



























































