අගමැති මෝඩි ලාහෝර් නගරයේ

ඉන්දු -පකිස්තාන් නායකයන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දු -පකිස්තාන් නායකයන්
Published

ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි පකිස්තානයට ලඟා විය.

මෝඩි පසුගිය වසරේ අගමැති පදවියට පත් වීමෙන් පසු පකිස්තානයේ සිදු කරන පළමු සංචාරයයි මේ.

අගමැති මෝඩි ඉතා හදිසියේ සිදු කෙරුණ සිය පකිස්තාන් සංචාරය පිළිබඳව හෙළි කරන ලද්දේ ‘ට්විටර්’ පණිවුඩයක් මගිනි.

පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් මුණ ගැසීම සඳහා තමා ලාහෝර් නගරයට ‘ගොඩ වදින’ බවයි අගමැති මෝඩි සිය ‘ට්විටර්’ පණිවුඩයේ ලියා තිබෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, NARENDRA MODI TWITTER

ඉන්දියානු නායකයා ලාහෝර් නගරයට ගොඩ බැස්සේ ඇෆ්ඝනිස්තානයේ සිට ආපසු සියරට බලා යමින් සිටින අතරයි.

ඇෆ්ඝන් සංචාරයේ දී ඔහු කාබුල් පාර්ලිමේන්තුව අමතා දෙසුමක් ද කළේය.

ඉන්දු උප මහාද්වීපයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා වන ඉන්දියාව සහ පකිස්තානය අතර සාම සාකච්ඡා යළි පණ ගැන්වීම සඳහා ගනු ලබන අලුත්ම ප්‍රයත්නය අගමැති මෝඩි ගේ ලාහෝර් ගමනයි.

කාබුල් නගරයේ දී උණුසුම් පිළිගැනීමක්.

ඡායාරූප මූලාශ්‍රය, MEA

ඡායාරූප ශීර්ෂ වැකිය, කාබුල් නගරයේ දී උණුසුම් පිළිගැනීමක්.

දෙරටේ අගමැතිවරුන් දෙදෙනා පසුගිය දා පැරිස් නගරයේ පැවැත්වුන ජගත් දේශගුණ සමුළුව අතරවාරයේත් මුණ ගැසුන අතර ඔවුන් අතර කෙටි සංවාදයක් ද සිදු වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කෙරුනේ.

අද (25) ලාහෝර් හමුව සිදු වුණේ පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ගේ උපන් දිනයේ යි.