දැරියන් නිදහස් කර ගැනීමට පියවර ගන්න - මලාලා

පැහැර ගැනුණු පාසල් දැරියන්ගේ ඥාතීන් හමු වූ මලාලා

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පැහැර ගැනුණු පාසල් දැරියන්ගේ ඥාතීන් හමු වූ මලාලා
Published

අබුජා අගනුවරදී නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් හමු වූ තරුණ පාකිස්තාන ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායි, පැහැර ගැනුණු නයිජීරියානු පාසල් දැරියන් නිදහස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් බල කර සිටියාය.

බොකෝ හරාම් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම විසින් පසු ගිය අප්‍රේල් මාසයේ දී දෙසියයකට අධික පාසල් දැරියන් පැහැර ගනු ලැබිණ.

පැහැර ගැනුණු පාසල් දැරියන්ගේ ඥාතීන් හමු වූ මාලාලා යූසුෆ්සායි, ඔවුන්ට ඇයගේ සහයෝගය පළ කර සිටියාය.

මේ අතර දැරියන් නිදහස් කර ගැනීමට බල කරමින් 'අපේ දැරියන් නැවත ගෙන දෙන්න' නමින් සමාජ මාධ්‍ය ජාල තුල ගෙන යන ව්‍යාපාරය හාස්‍යයට ලක් කරමින් බොකෝ හරාම් සංවිධානය වීඩියෝ පටයක් නිකුත් කර තිබේ.

බන්ධනාගාර ගත කර සිටින බොකෝ හරාම් සටන්කරුවන් හා පාසල් දැරිවියන් හුවමාරු කර ගැනීමට කර ඇති යෝජනාව පිළිබඳව එම වීඩියෝ පටයේ අවධාරණය කොට තිබේ.

ඒ සඳහා සටන් කරුවන් යොදා ගෙන ඇති පාඨය 'අපේ සටන්කරුවන් නැවත ගෙන දෙන්න' යන්නයි.

‘අපේ දැරියන් නැවත ගෙන දෙන්න’ පාඨය යොදා ගනිමින් උද්ඝෝෂණය කරන පිරිස්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ‘අපේ දැරියන් නැවත ගෙන දෙන්න’ පාඨය යොදා ගනිමින් උද්ඝෝෂණය කරන පිරිස්

පාකිස්තාන දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් මලාලා පාකිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේ වෙඩි ප්‍රහාරයට ලක් විය.

තාලිබාන් ප්‍රහාරකයන් ඇයගේ හිසට සහ ගෙලට වෙඩි තබන ලද අතර ඉන් අනතුරුව ඇය බ්‍රිතාන්‍යයේදී වැඩිදුර ප්‍රතිකාර ලැබුවාය.