හේතුවාදියා ඝාතනයේ සැකකරුවෝ පොලිස් අත්අඩංගුවේ

මරා දැමුණ නරේන්ද්‍ර දභෝල්කාර්ගේ දේහයට උපහාර දක්වන අනුගාමිකයන්.
ඡායාරූප ශීර්ෂ වැකිය, මරා දැමුණ නරේන්ද්‍ර දභෝල්කාර්ගේ දේහයට උපහාර දක්වන අනුගාමිකයන්.
Published

හදි හූනියම්, කොඩිවින ආදී අන්ධ මිථ්‍යා විශ්වාස වලට එරෙහිව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටි ක්‍රියාධරයකු මරා දමනු ලැබීම සම්බන්ධයෙන් බටහිර ඉන්දියාවේ පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

නරේන්ද්‍ර දභෝල්කාර්(Narendra Dabholkar) නම් එම ක්‍රියාධරයා වෙඩි තබා මරා දමනු ලැබීමෙන් මාස තුනකට අධික කාලයකට පසුවයි, එම අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුනේ.

නරේන්ද්‍ර දභෝල්කාර්ට වෙඩි තබනු ලැබුණේ, ඔහු ‘පූනා’ නගරයේ මාවතක සුපුරුදු පරිදි උදෑසන ඇවිදීමේ නිරතවෙමින් සිටියදී.

කට්ටඩියන් සහ තමන්ට අද්භූත බලයක් ඇතැයි පවසන ඉන්ද්‍රජාලිකයන්ගේ මවා පෑම් වලට එරෙහිව දශක කීපයක් ම අභියෝග කරමින් සිටි නරේන්ද්‍ර දභෝල්කාර්, ආගමික චාරිත්‍රයක් හැටියට සත්ව බිලි පූජා පැවැත්වීමට ද එරෙහිව කටයුතු කළ ක්‍රියාධරයෙක්.