එක්සත් ජනපදය අල් ඛයීඩා දඩයමේ

Published

අල් ඛයිඩා ජාලයේ නායකයන් අල්ලා ගැනීම සඳහා එක්සත් ජනපද හමුදාව ලිබියාවේ සහ සෝමාලියාවේ විශේෂ මෙහෙයුම් දෙකක් දියත් කර තිබේ.

ලිබියාවේ කරන ලද මෙහෙයුමේ දී අල් ඛයීඩා නායකයෙකු වන අනාස් අල් ලිබි අත්අඩංගුවට පත්වී ඇති බව වාර්තා විය.

ටැන්සානියාවේ සහ කෙන්යාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාල දෙකට මීට වසර පහළොවකට පෙර එල්ල කළ ප්‍රහාරය අනාස් අල් ලිබි විසින් සැලසුම් කරන ලද බවයි එක්සත් ජනපදය පවසන්නේ.

සෝමාලියාවේ අල්ශබාබ් සංවිධානයේ නායකයෙකුගේ නිවස ද වැටලූ නමුත් එහිදී ඇති වූ දරුණු වෙඩි හුවමාරුවකින් අනතුරුව එක්සත් ජනපද බලකාය පසු බා ඇති බව වාර්තා විය.