භික්ෂූන් පාලනයට බුද්ධ ධර්මය තරම් වෙනත් නීතියක් නැහැ-අධිකරණය

Published

බලපත්‍රයක් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම මාර්තු දාහත් වෙනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ‘නීතිය ඉදිරියේ සැම පුද්ගලයකුම සමාන බවත්, බුද්ධ දේශනාවේ ද එය සඳහන් වන බවත්’ පෙන්වා දුන්නේය.

භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට බුද්ධ ධර්මය තරම් වෙනත් නීතියක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප නියම කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවයි සඳහන් කළේ.

මහේස්ත්‍රාත් නියෝගයෙන් පසු බන්ධනාගාර රථයට ඇතුල් කරනු ලැබීමෙන් අනතුරුව උඩුවේ ධම්මාලෝක හිමියන් එම රථයේ සිට කියා සිටියේ තමා අත්අඩංගුවට ගනු ලැබීම ‘බෞද්ධ විරෝධී ක්‍රියාවක්’ වන බවයි.

ජනතාවට ඉවසීමෙන් සිටින ලෙස දැනුම් දෙන්නැයි සඳහන් කළ උන්වහන්සේ ‘මෙය බෞද්ධ කමට එල්ල කෙරුණ පහරක්’වන බවයි ප්‍රකාශ කළේ.

කිරුලපන ඇලන් මැතිනියාරාමයේ බලපත් රහිත අලි පැටියා සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් පවසන්නේ ‘බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට’ එම අලි පැටියාත් කවුරුන් විසින් හෝ සිය විහාරස්ථානයේ දමා ගොස් තිබුණ බවයි.