ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෝසින්යා: එක් රැයකින් පාපන්දු ලෝලීන් අතර උමතුවක් බවට පත් වූ 40 හැවිරිදි දැල් රකින්නා
- Author, එලිසබෙත් කොන්වේ
- Role, ලෝක කුසලාන වාර්තාකරු, ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ සිට
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඇට්ලන්ටා ක්‍රීඩාංගණය පුරා තරගය අවසන් කිරීමේ විසිල් නාදය පැතිර යත්ම, කැමරා කාච යොමුවූයේ කේප් වර්ඩ් කණ්ඩායමේ දැල් රකින්නා වන වෝසින්යා වෙතට ය.
ලෝක කුසලාන තරගාවලියේ ප්රබලතම කණ්ඩායමක් වන ස්පාඤ්ඤයට එරෙහිව සිය කණ්ඩායම 0-0ක් ලෙස තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත්වීමත් සමග, තමන් අත් කර ගත් එම අතිවිශිෂ්ට ජයග්‍රහණයේ පරිමාණය වටහා ගත් 40 හැවිරිදි මෙම ක්‍රීඩකයාගේ දෙනෙතින් සතුටු කඳුළු ගලා ආවේ ය.
ප්‍රේක්ෂකාගාරය පුරා සිටි දහස් සංඛ්‍යාත කේප් වර්ඩ් ආධාරකරුවන්, මිනිත්තු 90ක් පුරා නොනැවතී හඬ නගමින් තම කණ්ඩායම දිරිමත් කළ අතර, තරග ප්‍රතිඵලයත් සමග ඔවුහු එකිනෙකා වැළඳ ගනිමින්, නටමින් සහ ප්‍රීති ඝෝෂා පවත්වමින් ජයග්‍රහණය සැමරූහ.
ක්‍රීඩා පිටිය මැද, ක්‍රීඩකයෝ ඉමහත් ප්‍රීතියෙන් එකිනෙකා දෙසට දිව ගියහ. කිසිදු පාර්ශ්වයකට සහය නොදක්වන නොවන සාමාන්‍ය ප්‍රේක්ෂකයින් පවා එම අවස්ථාවට එක්ව සිටි අතර තරගය අවසන් වන විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද මෙම ජයග්‍රහණය සමරමින් සිටියහ.
යුරෝපීය ශූරයන් වන ස්පාඤ්ඤයට එරෙහිව, ප්‍රවීණ ගෝල් රකින්නෙකු වන වෝසින්යා සිය ජීවිතයේ විශිෂ්ටතම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොතැබූ අතර, තම රටේ ඉතිහාසයේ අමතක නොවන ම තරග ප්‍රතිඵලය වාර්තා කිරීමට දායක විය.
"මම ඇඬුවේ මොකද මම හැදුනේ සීයයි ආච්චියි එක්ක," තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසු වෝසින්යා පැවසීය. "අවාසනාවකට වගේ ඔවුන් අද මෙතන නැහැ. ඔවුන් මීට වසර කිහිපයකට කලින් මිය ගියා. මගේ ජීවිතයේ හැමදේම වුණේ ඒ දෙන්නා. මගේ මුළු ජීවිතය ම වුණේ එයාලා.
"ඒ වගේ ම මගේ අම්මා නිසා. වීසා ප්‍රශ්නයක් නිසා ඇයට මෙහි පැමිණීමට නොහැකි වුණා. වීසා බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල අපිට නියමිත වෙලාවට හොයාගන්න බැරි වුණා. ඇයත් මෙතන හිටියා නම්."
ඔහු මෙසේ ද පැවසීය: "අපේ හොඳ ම ආයුධය අපේ එකමුතුකමයි. අද කණ්ඩායමට එකතු වන ක්‍රීඩකයෙක් වුණත්, අවුරුදු 10ක් හෝ 15ක් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වුණත් අප එකිනෙකාට පවුලක් මෙන් සලකන ආකාරය තමයි අපේ ලොකු ම ශක්තිය," ඔහු පැවසුවේ ය.
"හැමෝම හිතුවේ අපි මෙහෙට ආවේ ලෝක කුසලානය නරඹලා විනෝද වෙන්න විතරයි කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. අපිට හැමදාමත් ගරු කරන ප්‍රතිවාදී කණ්ඩායම් ඉන්නවා කියලා අපි දන්නවා, මොකද මේ අපේ පළමු වතාව නිසා. නමුත් අපි මෙතනට ආවේ තරග කරන්න, අපි මෙතනට ආවේ අපේ රට වෙනුවෙන් සටන් කරන්න."
'ඒක මම පොඩි කාලේ ඉඳන් ම දැකපු හීනයක්'
වෝසින්යාට මේ මොහොත උදාවූයේ ජීවිත කාලය පුරා කළ කැපවීමක ප්‍රතිඵලයක් වශයෙනි.
'ජොසිමාර් ඩියස්' නමින් උපත ලැබූ මෙම කේප් වර්ඩ් දැල් රකින්නා, සිය මුළු ක්‍රීඩා ජීවිතය ම කැප කළේ ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කිරීමේ සිහිනය හඹා යාම වෙනුවෙනි.
අවසානයේ එම සිහිනය සැබෑ වන විට, එය ඉතිහාසගත වාර්තාවක් ද සමගින් පැමිණීම විශේෂත්වයකි. රටක් වෙනුවෙන් සිය මංගල ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වීමට වෝසින්යා සමත් විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 40ක් සහ දින 12කි. ඒ අනුව ඉකුත් ඉරිදා කුරසාවෝ රාජ්‍යයේ එලෝයි රූම් තබා තිබූ වාර්තාව බිඳ හෙළීමට ඔහුට හැකි විය.
සැබවින් ම, ලෝක කුසලාන තරග බිමක මංගල තරගයකට සහභාගී වූ ක්‍රීඩකයින් අතරින් වෝසින්යාට වඩා වයසින් වැඩි ක්‍රීඩකයෙකු ලෙස සිට ඇත්තේ ඊජිප්තුවේ එසාම් එල් හදරි පමණි.
නොසැලෙන උත්සහය සහ කැපවීම නිසා ම හැඩගැසුණු ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ මෙය සැබවින් ම කැපී පෙනෙන සන්ධිස්ථානයකි.
"මම වෘත්තීය මට්ටමින් පාපන්දු ක්‍රීඩා කරන්න පටන් ගත්තේ 2012 වර්ෂයේදී, මට වයස අවුරුදු 25දී. මං වගේ ක්‍රීඩකයෙකුට ඒක තරමක් ප්‍රමාද වැඩි ආරම්භයක්," වෝසින්යා පැවසීය.
"මම ජාතික කණ්ඩායමෙන් සමුගන්නත් හිතුවා, නමුත් මගේ මේ සිහිනය නිසා ම මම දිගට ම ක්‍රීඩා කළා."
"මෙම ප්‍රතිඵලය අපි හැමෝට ම අයිති එක්ක. මම තරගයේ වීරයා වුණත් මේ සම්මානය මගේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට අයිති එකක්. මොකද ඔවුන් නැතුව මට කිසිවක් තනියම කරන්න බැහැ. මම මගේ කණ්ඩායම වෙනුවෙන් සහ මගේ රටේ ජනතාව වෙනුවෙන් දිගට ම කැප වෙලා වැඩ කරනවා."
කේප් වර්ඩ් යනු අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිටි, සුන්දර හුදෙකලා දූපත් සමූහයකි. එහි වෙසෙන තරුණ පාපන්දු ක්‍රීඩකයින්ට ලැබෙන අවස්ථා ඉතා සීමිත ය. මින්ඩෙලෝහි හැදී වැඩුණු වෝසින්යාට ආරම්භයේ සිට ම බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු විය.
"මම මගේ දූපතේ හිටපු හො ඳම දැල් රකින්නන්ගෙන් කෙනෙක්, නමුත් මම පොඩි වැඩියි," ඔහු අතීතය ආවර්ජනය කළේ ය. "මම මොන තරම් හොඳින් දක්ෂතා දැක්වුවත්, මගේ උස අඩු නිසා මාව කණ්ඩායම්වලට තේරුණේ නැහැ."
තමන්ට පෙර සිටි බොහෝ ක්‍රීඩකයින් මෙන් ම, ඔහු ද අවසානයේ අවස්ථා සොයා තම රටේ පැරණි යටත් විජිත පාලකයා වූ පෘතුගාලය බලා පිටත්ව ගියේ ය. එම තීරණය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ස්ලොවැකියාව, ඇන්ගෝලාව, මෝල්ඩෝවා සහ සයිප්‍රස් වැනි රටවල් රැසක ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමිවිය. වෝසින්යා මේ වන විට පෘතුගාලයේ දෙවන පෙළ පාපන්දු කණ්ඩායමක් වන 'චාවේස්' වෙනුවෙන් ක්‍රීඩා කරයි.
වෝසින්යා යන ඔහුගේ නාමය පිටුපස පවා පාපන්දු ඉතිහාසයේ අපූරු කතාවක් සැඟවී ඇත. ඔහුගේ පියාට අවශ්‍ය වූයේ ආර්ජන්ටිනාවේ සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වූ හොර්හේ වල්දානෝට ගරු කිරීමක් වශයෙන් තම පුතාට 'වල්දානෝ' ලෙස නම තැබීමටය. නමුත් කේප් වර්ඩ් බලධාරීන් ඊට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට 1986 ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ බ්‍රසීලයේ ගෝල රකින ක්‍රීඩක ජොසිමාර් සිහිපත් කරමින් ඔහුට ජොසිමාර් ලෙස නම තැබුවේ ය.
ඉන් දශක කිහිපයකට පසු, තවත් ලෝක කුසලාන ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක සිටිමින් වෝසින්යා අද තමාගේ ම නමින් අලුත් ඉතිහාසයක් ලියා අවසන් ය.
'වෝසින්යා මේ තරගය එළිය කළා'
දහස් සංඛ්‍යාත කේප් වර්ඩ් ආධාරකරුවන්ගෙන් නොනැවතී ඇසුණු ඔල්වරසන් හඬ මධ්‍යයේ, ස්පාඤ්ඤයේ දරුණු ප්‍රහාර හමුවේ නොසැලී සිටි වෝසින්යා, ප්‍රතිවාදීන්ගේ ගෝල ලබාගැනීමේ අවස්ථා හතක් සාර්ථකව වළක්වාලීමට සමත් විය. ලෝක කුසලාන තරගයකදී වයස අවුරුදු 40 ඉක්මවූ දැල් රකින්නෙකු මීට වඩා පන්දු ගණනක් වළක්වා ඇත්තේ එක් වතාවක් පමණි. ඒ, 1986 වසරේ බ්‍රසීලයට එරෙහිව පැවති තරගයකදී, උතුරු අයර්ලන්තයේ පැට් ජෙනින්ග්ස් සිය 41 වැනි උපන්දිනය දා ගෝල ලබා ගැනීමේ අවස්ථා 10ක් වළක්වාලමින් තැබූ වාර්තාවයි.
ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ සිටි කේප් වර්ඩ් ආධාරකරුවන්, වෝසින්යා පන්දුවක් වළක්වන සෑම අවස්ථාවකදී ම එය සැමරුවේ තම කණ්ඩායම ගෝලයක් වාර්තා කළ අවස්ථාවක් ලෙස අතිමහත් ප්‍රීතියකින් යුතුවයි.
ක්‍රීඩා පිටියෙන් පිටත, සමාජ මාධ්‍ය ජාල තුළ ද ඔහු ක්ෂණිකව අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් විය. බ්‍රසීලයේ ලෝක කුසලාන විකාශන අයිතිය හිමි 'CazeTV' යූටියුබ් නාලිකාව විසින් වෝසින්යා ෆලෝ කරන ලෙස තම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටීමත් සමග, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් සංඛ්‍යාව 50,000 සිට මිලියන 1.5ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.
"ඒක නම් ඇත්තට ම පිස්සුවක්!" තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් මේ පිළිබඳව පැවසූ විට ඔහු පුදුමයෙන් යුතුව ප්‍රකාශ කළේ ය.
ස්කොට්ලන්තයේ හිටපු ක්‍රීඩකයෙකු වන පැට් නෙවින් සඳහන් කළේ මෙම දැල් රකින්නා "මුළු තරගය ම එළිය කළ" බවයි.
"ඔහු ඇත්තට ම විශිෂ්ටයි," නෙවින් 5 Live වෙත පැවසීය. "ඔහු මේ දේ කළේ වයස අවුරුදු 40දී. හැම කැමරාවක් ම යොමුවෙලා තිබුණේ ඔහු දෙසටයි. ඔහුගේ කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක් ම ඔහු දෙසට ඇඟිලි දිගු කරමින් ඔහුව පෙන්නුවා. ඒක ඉතාමත් සුන්දර මොහොතක්."
"කේප් වර්ඩ් කණ්ඩායම තරගයේ වැඩි කාලයක් ගත කළේ ඔවුන්ගේ ගෝල සීමාව ආරක්ෂා කර ගැනීමට ය. නමුත් ඔවුහු අවස්ථාවක් ලැබුණු සෑම විටක ම ඔවුන් ඉතා නිර්භීතව, වැඩි ක්‍රීඩකයින් සංඛ්‍යාවක් යොදවමින් ප්‍රතිප්‍රහාර එල්ල කළහ.
"හුදෙකලා ක්‍රීඩකයින් පිරිසකට මේ වගේ ඒකාග්‍රතාවක් රඳවා ගන්න බැහැ. එහෙම කරන්න පුළුවන්, නියම සමගියක් තියෙන කණ්ඩායමකට විතරයි."
ලී ඩික්සන් ITV වෙත මෙසේ පැවසීය: "ඒක ඇත්තට ම අදහාගත නොහැකි තරම් විශිෂ්ටයි. අතිවිශිෂ්ට දක්ෂතාවක්. ස්පාඤ්ඤයට වඩා මේ ලකුණ ලබා ගන්න කේප් වර්ඩ් කණ්ඩායම සුදුසුයි. ස්පාඤ්ඤ ක්‍රීඩකයින් කලකිරීමෙන් පිටියෙන් ඉවතට යද්දී, මේ රාත්‍රියේ සැබෑ අයිතිකරුවන් වුණේ කේප් වර්ඩ් කණ්ඩායම."
"මැදපෙළ ක්‍රීඩකයන්, පසුපෙළ ක්‍රීඩකයන් ඇතුළු සෑම ක්‍රීඩකයෙකුගෙන් ම අතිවිශිෂ්ට දක්ෂතාවක් දැකගත හැකි වුණා. අර වෝසින්යා අඬන හැටි දැක්කම මටත් ඇඬෙන්න ආවා."
ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ ඉතිහාසයේ තෙවැනි කුඩා ම රට වන ලක්ෂ පහක් පමණ වන ජනගහනයක් සහිත මෙවැනි කුඩා රාජ්‍යයකට මෙම තරග ප්‍රතිඵලය අතිශය සුවිශේෂී එකකි.
ක්‍රීඩාගාරයේ සිටි ඔවුන්ගේ ආධාරකරුවෝ ද එම ජයග්‍රාහී ජවයට උපරිම සහයෝගයක් ලබා දුන්හ. නිල් පැහැති ඇඳුමින් සැරසී, රතු, සුදු සහ නිල් පැහැති ජාතික ධජ ලෙලදවමින්, ඔවුහු තරගය පුරා ම ගී ගයමින්, නටමින් තම කණ්ඩායම දිරිමත් කළහ. තරගය අවසන් වන විට කණ්ඩායමකට සහය නොදැක්වූ පාපන්දු ලෝලීන්ගේ හදවත් දිනා ගැනීමට ද ඔවුහු සමත් වූහ. ඒ අනුව, කේප් වර්ඩ් කණ්ඩායමේ කතාව ලොව පුරා පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ කතාව බවට පත් විය.
එංගලන්තයේ ෂෙෆීල්ඩ් නගරයට වඩා විශාල නොවන මෙම කුඩා දූපත් රාජ්‍යය අද වන විට මුළු මහත් පාපන්දු ලෝකයේ ම සිත් ඇදබැඳ ගැනීමට සමත්ව ඇත.