බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ගැන අධිකරණය ගත් තීරණය

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සම විරෝධතා සඳහා ලබන ඔක්තෝබර් මස 02 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.

ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම් ශංකර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (ජූලි 30) කැඳවනු ලැබිණි.

එහිදී වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි කේ. කනගීෂ්වරන්, සුමති ධර්මවර්ධන සහ අලි සබ්රි යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරවලට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිහ.

ඒ අනුව වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබා දුන් අධිකරණය පෙත්සම යළි ඔක්තෝබර් මස 2 වන දා කැඳවන ලෙස නියම කළේ ය.

පෙත්සම්කරුවන් කවුද?

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, සුරාබදු පනතේ දෙවන වගන්තිය මගින් 'බියර්' යනුවෙන් අර්ථකථනය කර තිබෙන්නේ මෝල්ට්වලින් සාදන ලද පැසුණු මත්පැන් බව ය.

එහෙත්, වර්තමානයේ බොහොමයක් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු හෙළි වී ඇති බවත්, එසේ බීර නිෂ්පාදනය කිරීම සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනි බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.

පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම කුමක් ද?

රජය සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදල්වලින් විශාල සහනාධාරයක් ලබා දෙමින් තිබියදී, එසේ නිෂ්පාදනය කරන සහල් බියර් වැනි වාණිජ කර්මාන්තයක් සඳහා යෙදවීම තුළින් ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල වන බව පෙත්සම්කරුවෝ පවසති.

මේ හරහා ශ්‍රී ලංකාවට සහල්වලින් ස්වයංපෝෂිත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රමිති යාන්ත්‍රණය යාවත්කාලීන වී නොමැති බවත් ඔවුහු පවසති.

ඒ අනුව, පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සීනි සහ සහල් භාවිත කිරීමට අනුමැතිය දීම වළක්වන නියෝගයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ය.