ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
ලෝකයේ දුම්රිය සේවාවන් දිනෙන් දිනම විවිධ වේගසීමා අභිබවා යමින් තාක්ෂණයෙන් ඉදිරියට යන අතර අසල්වැසි ඉන්දියාව හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන සිය පළමු දුම්රිය ද නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගිය සතියේදී ගමන් ආරම්භ කළේය.
මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.
ඉතා කෙටි කාලයකදී විශාල මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීමේ හැකියාව මෙන්ම සම්පූර්ණයෙන්ම පාහේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ලෙස හා පොළොව මතුපිට, ගුවන් පාලම් මත (elevated) හෝ භූගත උමං (underground) මාර්ග ලෙස මේවා ඉදි කර තිබේ.
ආසියානු කලාපය යනු ලොව විශාලතම, නවීනතම සහ කාර්යබහුලම මෙට්‍රෝ (Metro/MRT) පද්ධති පවතින කලාපයයි. දැනට ආසියාවේ රටවල් රැසක නගර සියයකට වඩා වැඩි ප්‍රමාණයක මෙට්‍රෝ සේවාවන් සක්‍රීයව ක්‍රියාත්මක වේ.
MRT පද්ධතියක් තරම් විශාල නොවූවද, ඊට මදක් පහළ මට්ටමේ LRT හෙවත් Light Rail Transit (සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක්) ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යහපාලන රජය සමයේ සැලසුම් කෙරුණි. ඒ ජපානයේ ණය ආධාර යටතේ ය.
එහෙත් එහි පිරිවැය, රැගෙන යා හැකි මගී ප්‍රමාණය සහ භාණ්ඩ රැගෙන යා නොහැකි බවට එල්ල වූ විරෝධතා මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ පියවර ගැනිණි.
2026 වසරේ ප්‍රවාහන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, LRT ව්‍යාපෘතිය සඳහා යන අධික පිරිවැය සහ එයින් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාවේ සීමිත බව සලකා බලා මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොයාමට වත්මන් රජයද තීරණය කර තිබේ.
ප්‍රවාහන, වරාය සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක ජුලි 9 වැනිදා පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙලෙස කියා සිටියේය.
"අපි ඇත්තටම ගරු මන්ත්‍රීතුමා මේ කොළඹ තියෙන LRT ඔය ඔක්කොම ගැන බලලා තියෙනවා. මට කියන්න තියෙන්නේ ඒවා ටිකක් අර Fancy ඒවා වුණාට ඒවාට දරන්න වෙන වියදමයි, අපේ තියෙන priorities බැලුවට පස්සෙ අපි හිතනවා දැනට LRT වලට වඩා අපිට විශාල සෙනගක් ප්‍රවාහනය කරන්න පුළුවන් පහසුකම් සහිත ක්‍රමය දැනට තියෙන බස් සේවාව සහ දුම්රිය කියලා."
2020 සැප්තැම්බර් මාසයේදී එවකට පැවති රජය විසින් මෙම LRT ව්‍යාපෘතිය අධික පිරිවැයක් සහිත "ලාභදායී නොවන විසඳුමක්" ලෙස හඳුන්වමින් ඒකපාර්ශ්වීයව අවලංගු කිරීමට පියවර ගත්තේ ය.
කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළ මෙම ව්‍යාපෘතිය, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මඟින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක සහනදායී ණය මුදලක් යටතේ මූල්‍යනය කිරීමට නියමිතව තිබුණි.
වායු දූෂණය අවම කිරීම සහ බස්නාහිර පළාතේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට මෙන්ම නාගරික පරිසරය නංවාලීමට දායකත්ව සැපයීම ද එම ව්‍යාපෘතියේ අරමුණු අතර විය.
ලොවපුරා ක්‍රියාත්මක ප්‍රධාන මෙට්‍රෝ සේවාවන් මොනවා ද?
ලොව පුරා පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධානතම නිල සංවිධානය වන ජාත්‍යන්තර පොදු ප්‍රවාහන සංගමයේ නවතම නිල දත්ත වාර්තා අනුව, ලොව පුරා මෙට්‍රෝ දුම්රිය පද්ධති මඟින් දිනකට ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව මිලියන 160 සිට 190 දක්වා අගයක් ගනියි.
UITP ගෝලීය මෙට්‍රෝ දර්ශක (Global Metro Figures) මඟින් නිකුත් කර ඇති නිල සංඛ්‍යාලේඛනවලට අනුව වසරකට මුළු මගීන් බිලියන 58කට අධික පිරිසක් (Trips බිලියන 58ක්) මෙට්‍රෝ දුම්රිය භාවිතා කරති.
ලෝකයේ සමස්ත මෙට්‍රෝ මගී ගමනාගමනයෙන් සීයයට 50කට ආසන්න ප්‍රමාණයක් හිමිවන්නේ ආසියා-පැසිෆික් කලාපයටයි.
ආසියා-පැසිෆික් කලාපය: දිනකට මගීන් මිලියන 92කට අධික පිරිසක්.
යුරෝපය: දිනකට මගීන් මිලියන 25කට අධික පිරිසක්.
යුරේසියාව (රුසියාව ඇතුළු රටවල්): දිනකට මගීන් මිලියන 14කට අධික පිරිසක්.
ලතින් ඇමෙරිකාව: දිනකට මගීන් මිලියන 13කට අධික පිරිසක්.
උතුරු ඇමරිකාව: දිනකට මගීන් මිලියන 7කට අධික පිරිසක්.
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව (MENA): දිනකට මගීන් මිලියන 7කට අධික පිරිසක් මෙට්‍රෝ දුම්රිය සේවා භාවිත කරති.
ලෝකයේ දිගම සහ වැඩිම පිරිසක් ගමන් ගන්නා මෙට්‍රෝ ජාල පිහිටා ඇත්තේ ආසියානු කලාපයෙයි.
ජාත්‍යන්තර දත්ත අනුව ලොව දෛනිකව වැඩිම මගීන් පිරිසක් පරිහරණය කරන මෙට්‍රෝ ජාල වන්නේ,
- බීජිං සහ ෂැංහයි මෙට්‍රෝ (චීනය): චීනයේ මෙම පද්ධති ද්විත්වය හරහා පමණක් දිනකට මගීන් මිලියන 10කට අධික පිරිසක් ගමන් කරති.
- ටෝකියෝ මෙට්‍රෝ (ජපානය): නිල දත්ත අනුව දිනකට මගීන් මිලියන 6.8 - 8.6ක් අතර පිරිසක් ගමන් කරති.
- සෝල් මෙට්‍රෝ (දකුණු කොරියාව): දිනකට මගීන් මිලියන 7කට ආසන්න පිරිසක් ගමන් කරති.
- මොස්කව් මෙට්‍රෝ (රුසියාව): දිනකට මගීන් මිලියන 7-8කට අධික පිරිසක් ගමන් කරති.
- නිව්යෝර්ක් සබ්වේ (ඇමෙරිකාව): දිනකට මගීන් මිලියන 5.5කට ආසන්න පිරිසක් ගමන් කරති.
සිංගප්පුරුව, මලයාසියාව, තායිලන්තය සහ දකුණු කොරියාව ඇතුළු රටවලද මෙම සේවා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.
දකුණු ආසියාව ද ඉතා වේගයෙන් මෙට්‍රෝ ජාල ව්‍යාප්ත වන කලාපයක් වන අතර අසල්වැසි ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශයේ MRT සේවාවන් ක්‍රියාත්මකවේ.
මෙට්‍රෝ දුම්රිය සේවා ශ්‍රී ලංකාවට නොගැලපෙනවා ද?
රජයේ බලධාරීන් පවසන පරිදි මෙට්‍රෝ දුම්රිය සේවා ශ්‍රී ලංකාවට නොගැලපෙනවා ද යන්න බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.
එහිදී ප්‍රවාහන විශේෂඥයින් කියා සිටියේ, MRT පද්ධතියකට යෑමට තරම් මගී ධාරිතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල නොමැති බවයි.
එමෙන්ම ඒ සඳහා යන ව්‍යාපෘති පිරිවැය හා දුම්රිය ගාස්තු පිළිබඳ සැලකීමේදී එය තවමත් මෙරට මගීන් බහුතරයකට දැරිය නොහැකි වනු ඇතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සහ ජාත්‍යන්තර ප්‍රවාහන උපදේශකවරයෙකු වන අමල් කුමාරගේ බීබීසී සිංහල වෙත කියා සිටියේය.
ඔහු පවසන්නේ මිලියන 6, 8 , 10 වැනි විශාල ජනගහනයක් සිටින නගරවලට මෙට්‍රෝ දුම්රිය සේවා සුදුසු විය හැකි බවයි.
"දැනට කොළඹ දිස්ත්‍රික්කයේත් මිලියන දෙකක විතර ජනගහනයක් තමා ඔය වගේ පද්ධතියකට ඉන්නේ."
"මෙට්‍රෝ කියන්නේ, ඉක්මනට යන්න පුළුවන් එකක් නේ. ඉක්මනට යනවා කියන්නේ දුර යන්නත් ඕනේ. නැත්නම් කෙටි දුරක් ඉක්මනට ගියා කියලා, ලොකු වාසියක් නැහැ."
"සාමාන්‍ය මෙට්‍රෝ ලයින්ස් ගත්තාම, කිලෝ මීටර් 50 - 60 වගේ යන්න ඕනේ. ලංකාවේ එහෙම නගර නැහැ."
"ඉන්දියාවේ ගත්තොත් ඒවගේ නගර තියෙනවා 15 -20ක්, ඩකා ගත්තෝත් එහෙමයි. ලාහෝර් කරච්චි ගත්තොත් එහෙමයි. මෙට්‍රෝ ඒවගේ තැන් වලට ගැලපෙනවා." සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ කියා සිටියේය.
"මෙට්‍රෝ කියලා අපි කතා කරන දේවල් මෙරටට ගැලපෙන්නේ නැහැ කියන්න, කාරණා දෙකක් තියෙනවා. එකක් තමා ධාරිතාව, එක ලයින් එකකින් දවසකට සමාන්‍යයෙන් ලක්ෂ 10ක් විතර සෙනඟ අදින්න ඕනේ; ඒවගේ එකක් නඩත්තු වෙන්න. ඉතිං අද මුළු කොළඹට ම එන්නේ ලක්ෂ 10යි පැති 6කින් 7කින්. ඉතිං ඔයවගේ එකක් දානවා කියන්නේ, අපිට ශෝභනයට හොඳයි, ණය ගෙවන්න වෙනවා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් දුවන්නත්, පාවිච්චි නොකරණ මිනිසුන්ගෙන් බදු අරගෙන තමා ගෙවන්න වෙන්නේ." යැයි ඔහු සඳහන් කළේය.
මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළ මෙවැනි දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කාරණා දෙකක් සැපිරිය යුතු බවයි.
"එකක් ජනහගනය ලොකු වෙන්න ඕනේ. අනෙක අපේ ආර්ථික තත්ත්වයත් එවගේ ගෙවල යන්න පුළුවන් තත්ත්වයකට එන්න ඕනේ. ඉතිං ඔය දෙකටම අපි තාම ඇවිල්ලා නැහැ.අපි තවම ඩොලර් 4000 ඉන්නේ [ඒක පුද්ගල ආදායම], ඕක කොහොමටත් ඩොලර් 10,000 එහා යන්න ඕනේ එහෙම එකක් ගැන හිතන්නවත්."
ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ යුරෝපා රටවල් බොහෝමයක ක්‍රියාත්මක ට්‍රෑම්ප් වැනි සේවා බව ද මහාචර්යවරයා සඳහන් කළේය.
"LRT කියලා හඳුන්වන්නේ වැඩිපුර පොළව මත දුවන ඒවාට. ඒවා ට්‍රෑම් කියලා කියනවා. ඒවා සැහැල්ලුයි, වියදම හුඟක් අඩුයි. ඒවා යුරෝපය වගේ පාවිච්චි කරනවා. එවා අපිට ගැලපෙනවා. නමුත් ඒවාට වෙනම මාර්ග වෙන් කරන්න ඕනේ. එවගේ ඒවා මෙතෙක් ලංකාවට ප්ලෑන් කරලා නැහැ."
කෙසේවෙතත්, දුම්රිය මගීන් බොහෝමයක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මෙරට දුම්රිය සේවය නවීකරණය කිරීම මෙන්ම, ලොව දියුණු රටවල මෙන් මෙට්‍රෝ දුම්රිය සේවාවන් හඳුන්වා දීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබිණි.
2020 වසරේ අවලංගු කළ LRT සැලස්ම කුමක් ද?
බස්නාහිර පළාත් මෙගාපොලිස් ප්‍රවාහන ප්‍රධාන සැලැස්ම (Megapolis Transport Master Plan) යටතේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශ යා කරමින් LRT මාර්ග 7ක් ඉදි කිරීමට යෝජනා වී තිබුණි. ඒ අතරින් වඩාත්ම ප්‍රමුඛත්වය ලැබුණේ පළමු අදියරටය.
පළමු අදියර (JICA ආධාර යටතේ): කොළඹ කොටුව සිට මාලඹේ දක්වා (බත්තරමුල්ල හරහා) කිලෝමීටර් 15.7ක දිගින් යුත් ගුවන් පාලම් මත දිවෙන දුම්රිය මාර්ගයකි.
දුම්රිය ස්ථාන: කොටුව, රාජගිරිය, සෙත්සිරිපාය, බත්තරමුල්ල, තලහේන සහ මාලඹේ IT Park ඇතුළුව දුම්රිය ස්ථාන 16ක් සැලසුම් කර තිබුණි.
අනෙක් සැලසුම්ගත මාර්ග: කැලණිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල සහ මරදාන වැනි ප්‍රදේශ යා කෙරෙන අනුමාර්ග 6කි.
මෙම ව්‍යාපෘතිය සඳහා JICA ආයතනය මඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 කට ආසන්න සහනදායී ණයක් (Yen Loan) ලබාදීමට මුලින් එකඟ විය. එහි පළමු වාරිකය ලෙස ජපන් යෙන් මිලියන 30,040 ක් (එවකට ශ්‍රී ලංකා රුපියල් බිලියන 48 ක් පමණ) ලබා දීම සඳහා 2019 වසරේ නිල ගිවිසුම් අත්සන් තබන ලදී.
යෝජිත වූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය සැලසුම් කර තිබුණේ, කොළඹ පරිපාලනමය හා වාණිජමය කේන්ද්‍රස්ථානය සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල පිහිටි අධික ජනගහනයක් සහිත නේවාසික ප්‍රදේශ අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ය. මෙමගින් කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා ගමන් කාලය ආසන්න වශයෙන් විනාඩි 30 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබිණි.
මෙම ජපන් යෙන් ණය මුදල ඉතා සහනදායී නියමයන් සහ කොන්දේසි යටතේ (වසර 12 ක සහන කාලයක් සහිත වසර 40 ක ප්‍රතිපූරණ කාලසීමාවක් සහ වාර්ෂිකව 0.1% ක පොලී අනුපාතයක්) පිරිනැමුණු අතර, එය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මඟින් පාලනය වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 15.7 ක කණුමත ඉදිවන දුම්රිය මාර්ගයක්, කණුමත ඉදිවන දුම්රිය ස්ථාන සහ දුම්රිය අංගනයක් (depot) ඉදිකිරීම, LRT දුම්රිය මිලදී ගැනීම මෙන්ම විදුලි, සන්නිවේදන සහ සංඥා පද්ධති ස්ථාපනය කිරීමට නියමිතව තිබිණි.
"LRT කියන්නේ සැහැල්ලු කියන එක. නමුත් ජයිකා ඇවිල්ලා LRT කිව්වට එවා MRT ම තමා, මෙට්‍රොම තමා, කණු උඩ ගහලා." මහාචාර්ය අමල් කුමාරගේ සඳහන් කළේය.
"ලංකාවට ඇවිල්ලා LRT කියලා කිව්වට ඒවා ඇත්තටම වෙස්වලා ගත් MRT තමයි. මොකද වියදම ගත්තම විශාල මුදලක් යනවා. සාමාන්‍යයෙන් MRT එකක් හදන්නවත් එච්චර යන්නේ නැහැ." යැයි, සැලසුම් කළ LRT ව්‍යාපෘතියේ පිරිවැය ගැන අදහස් දක්වමින් මහාචාර්යවරයා පැවසීය.
කොළඹ ප්‍රවාහන ප්‍රශ්නයට පිළියම් ලෙස රජය සැලසුම් කරන්නේ මොනවා ද?
LRT ව්‍යාපෘතිය වෙනුවට කොළඹ මාර්ග තදබදයට පිළියම් ලෙස රජය වෙනත් වඩාත් ලාභදායී සහ වෙනත් විකල්ප වෙත අවධානය යොමු කර තිබේ.
Metro Bus පද්ධතිය: LRT වෙනුවට ආර්ථික වශයෙන් වඩාත් වාසිදායක "මෙට්‍රෝ බස්" (Metro Bus) ව්‍යාපෘතියක් හඳුන්වා දීමට සැලසුම් කරමින් පවතියි. දැනට බස් රථ 10ක් පමණ සේවයට යොදවා තිබේ.
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට සහ පොදු ප්‍රවාහන ගැටලුවලට කඩිනම් පිළියමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit) සමාගම හරහා මෙම සේවාව හඳුන්වා දී ඇත.
විශේෂ අවශ්‍යතා සහිත අයට ද පහසුවෙන් ගොඩවිය හැකි පතුල පතුළ පහත් (Low-floor), වායුසමීකරණය කළ නවීන බස් රථ මේ සඳහා යොදා ගැනේ. චීනයේ FOTON සමාගමෙන් ඇණවුම් කරන ලද මෙවැනි විශේෂ මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මැද භාගය වන විට දිවයිනට ලැබීමට නියමිතය.
මූලික නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ (විශේෂයෙන් මාකුඹුර–කොළඹ කොටුව සහ මාකුඹුර–කඩවත ඇතුළුව) මෙම සේවාව ක්‍රියාත්මක වේ. ඉදිරියේදී මෙය මහනුවර සහ ගාල්ල වැනි ප්‍රධාන නගර කරා ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මහාචාර්ය අමල් කුමාරගේ සඳහන් කළේ, කොළඹට දැන් තමා යෝජනා කරන්නේ, මෙට්‍රෝ බස් සේවා (BRT), බස් ප්‍රමුඛතා මංතීරු, සහ කොළඹ අභ්‍යන්තර ප්‍රදේශ (කොළඹ නගරය තුළ ගමනා ගමනයට) යා කරමින් ට්‍රෑම් වැනි පොළව මතුපිටන් ගමන් ගන්නා ප්‍රවාහන පද්ධතියක් බවයි.
දැනට ධාවනය වන මෙට්‍රෝ බස් සේවාවේ ගාස්තු තවමත් සැමට දැරිය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය. "අපේ බස්වල යන 5%කට තමා මේ ගාස්තුව ගෙවන්න පුළුවන්. පොදු ප්‍රවාහනය භාවිත කරන අයට මුදල වැදගත්. 95%කට හැමදාම මේ ගාස්තුව ගෙවලා යන්න බැහැ."
මහාචාර්යවරයා කියා සිටියේ, සාම්ප්‍රදායිකව ලංකා ගමනා ගමන මණ්ඩලයට බස් රථ ගෙන්වා ධාවනය කරවීමට කටයුතු කිරීමෙන් මෙම සේවාව සාර්ථක නොවන බවයි.
පෞද්ගලික අංශයද සම්බන්ධ කර ගනිමින්, නිශ්චිත නියාමනයකට අනුව මෙය ක්‍රියාක්මක කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
තදාසන්න දුම්රිය විද්‍යුත්කරණය : දැනට පවතින දුම්රිය මාර්ග (මරදාන - රාගම, මරදාන - මාකුඹුර, සහ මරදාන - පානදුර) නවීකරණය කර විදුලි දුම්රිය (Commuter Rail) ධාවනය කරවීමේ කටයුතු සැලසුම් කර ඇත.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) යටතේ ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) යටතේ ක්‍රියාත්මක කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා පළමු අදියර වශයෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඒ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි අභියෝග පිළිබඳවද ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පසුගිය අප්‍රේල් මාසයේදී සාකච්ඡාවක් පවත්වා තිබිණි.
ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමටද තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
දුම්රිය විද්‍යුත්කරණ ව්‍යාපෘතිය
LRT ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකළ ද දැනට පවතින ඩීසල් බලවේග කට්ටල වෙනුවට වඩාත් වේගවත් සහ පරිසර හිතකාමී විදුලි දුම්රිය (Electric Commuter Trains) හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පළමු අදියරේ මාර්ග 3: අධික මගී තදබදයක් පවතින පහත සඳහන් දුම්රිය මාර්ග ත්‍රිත්වය විද්‍යුත්කරණය කිරීමට මූලික පියවර ගෙන ඇත:
- මුහුදුබඩ මාර්ගය: මරදාන සිට පානදුර දක්වා.
- ප්‍රධාන මාර්ගය: මරදාන සිට රාගම දක්වා (මීට අමතරව ගම්පහ, වේයන්ගොඩ, මිරිගම සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානද නවීකරණය කෙරේ).
- කැලණිවැලි මාර්ගය: මරදාන සිට මාකුඹුර දක්වා.