ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අධිකරණ තීන්දුවකින් වැරදිකරු වූ සැණින් මන්ත්‍රී ධූරයක් ස්වයංක්‍රීයව අහෝසි වනවා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවලට අදාළව බදුල්ල මහාධිකරණය විසින් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වරදකරු කරනු ලැබී ය.
ඒ අනුව, අදාළ වැරදි සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට අධිකරණය විසින් වසර එක හමාරක සිර දඬුවමක් නියම කරන ලදී.
මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යම් චෝදනාවකට වරදකරු කර බන්ධනාගාරගත කළහොත් එම මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු අසුනට සිදුවන්නේ කුමක් ද? යන්න ගැන බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
'නඩු තීන්දුවක් දුන් පමණින් පාර්ලිමේන්තු අසුන අහෝසි වෙන්නේ නැහැ'
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු කරන ලදැයි කියන අපරාධයකට මහාධිකරණය විසින් වරදකරුවකු කළ පමණින් පාර්ලිමේන්තු අසුන අහෝසි නොවන බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා බීබීසී සිංහල වෙත පැහැදිලි කළේය.
"කරන ලදැයි කියන අපරාධයකට මහාධිකරණයේ නඩු පවරලා, මහාධිකරණය විසින් නඩු තීන්දුවක් ඔහුට එරෙහිව දුන්න පමණින් ම (පාර්ලිමේන්තු අසුන) අහෝසි වෙන්නේ නැහැ."
"යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය: යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
දඬුවමට එරෙහිව අභියාචනා කළොත් සිදුවන්නේ කුමක් ද?
කෙසේ වෙතත්, අධිකරණය විසින් නියම කරන ලද දඬුවමකට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළහොත් එහි තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පවතින බව පැවසූ මහාචාර්යවරයා ඒ පිළිබඳව විස්තර කළේ ය.
"අභියාචනාධිකරණයට යනකොට එයා සමාන්‍ය පුරවැසියෙක් නම් එයාට අභියාචනයට යටත්ව ඇප ඉල්ලන්න පුළුවන්. එතකොට ඒ කරුණු අනුව බන්ධනාගාරගත කරනවා නැතිනම් ඇප ලබා දෙනවා."
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටිය අසුනේ රැඳී ඉන්න නම් එයා නොසුදුසුකම්වලට යටත් වෙනවා ද මේ වරදින් කියන එක බලන්න ඕනේ. හැබැයි ඒ තීන්දුව සම්බන්ධව අභියාචනය කළොත් එවැනි අභියාචනයකදී එයාගේ නීතිඥවරයා විසින් නඩුවේ සහතික ලේඛන අරගෙන අභියාචනා කළා කියලා කතානායකවරයා වෙත දන්වනවා. එවැනි අවස්ථාවක කතානායකවරයා දන්නවා මේක අභියාචනයට යටත් වෙලා තියෙනවා, එතකොට එයාට පුළුවන් නීතිපති උපදෙස් ලබා ගන්න, එහෙම නැතිනම් අභියාචනා කළාට පස්සේ ඇප ඉල්ල යි, සමහර වෙලාවට ඇප කොන්දේසි අනුව ඇප ලබා දෙයි. එතකොට මන්ත්‍රී ධූරය අහෝසි වෙන්නේ නැහැ," මහචාර්ය ප්‍රතිභා මහානාම පැවසීය.
අධිකරණය දඬුවම් කළ පමණින් ස්වයංක්‍රීයව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොවන බව පෙන්වා දුන් මහාචාර්යවරයා, එහෙත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසුකමක් බවත් එහි අභියාචනය ගැන සඳහන් කර නොමැති බවත් පැවසීය.
පාර්ලිමේන්තු අසුනට නුසුදුසු වුණොත් සිදුවන්නේ කුමක් ද?
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයෙකු අධිකරණයක් විසින් වරදකරුවකු කරනු ලැබුවහොත් එම නියෝජිතයා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු වන අවස්ථාවක සිදුවන ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම විස්තර කළේ ය.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධව නඩු තීන්දුව ලියලා ඒවා මාධ්‍යවල ගියාට කතානායකවරයාට කිසි ම දෙයක් කරන්න බැහැ. උසාවිය මේ බව පාර්ලිමේන්තුවට දන්වන්නේ නැහැ ඒක උසාවියට අයිති කාර්යයක් නෙමෙයි. ඒ නිසා මේක ගෙන්න ගන්නවා පාර්ලිමේන්තුවට."
තීන්දුව ප්‍රකාශයට පත්කර අදාළ මහජන නියෝජිතයා බන්ධනාගාරගත කරනු ලබන අවස්ථාවකදී පාර්ලිමේන්තුවට අදාළ අධිකරණයට ඉල්ලීමක් කර එම තීන්දුව ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව මහාචාර්යවරයා කියා සිටියේ ය.
එම තීරණය ලබාගෙන ඒ පිළිබඳව කතානායකවරයා මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැන්වීමෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ මහජන නියෝජිතයා නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා පාර්ලිමේන්තු අසුනට නම් කරන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.
අධිකරණයෙන් දඬුවම් ලබා පාර්ලිමේන්තු අසුන අහිමි කර ගත් දේශපාලකයින් කවුද?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබූ එස්.බී. දිසානායක සහ රන්ජන් රාමනායකට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි විය.
තවද, ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් ද ඔවුන්ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව ගැටලු ඇති වූ අවස්ථාවලදී අධිකරණය විසින් දෙන ලද තීන්දු අනුව පාර්ලිමේන්තු ධූර අහිමි විය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද අධිකරණයකින් වසර දෙක හමාරක සිර දඬුවම් නියම වීමෙන් පසුව එවකට කතානායකවරයා විසින් ඔහුව පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වා මන්ත්‍රී ධුරය අහෝසි කරන ලදී.