ගුරු හිඟය: 'ගුරුවරුන් නැති නිසා අපේ දරුවන්ට පන්ති කාමරවලට වෙලා ටීවී බලන්න සිද්ධ වුණා'

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

"මගේ පුතා කොළඹ …….. (දරුවාගේ අනන්‍යතාව හෙළි විය හැකි බැවින් පාසලේ නම සඳහන් නොකෙරේ) විද්‍යාලයේ ඉගෙන ගන්නෙ. මේක ප්‍රධාන පෙළේ ඉස්කෝලයක් නිස යි, අපි පුතාව ඒකට දැම්මේ. ඒත්, මගේ පුතාට පසුගිය කාලේ අධ්‍යාපන කටයුතු කිසි ම දෙයක් කෙරෙන්නෙ නෑ."

බීබීසී සිංහල සේවය සමග මේ අදහස් පළ කළේ, කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 1 වසරේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියෙකි.

එම පියා පැවසූ ආකාරයට, සිය දරුවාගේ පන්ති භාර ගුරුතුමිය මාතෘ නිවාඩු මත සේවයට නොපැමිණීම හේතුවෙන් එම ගුරුවරියට වෙනුවට වෙනත් ගුරුවරියක ආදේශ කර නොතිබිණි.

ඒ අනුව, ඇතැම් දෙමාපියන්ට සිදුව තිබුණේ, පාසල පැවැත්වෙන කාලය තුළ පන්තියේ ළමුන් බලා ගැනීමට ය. දරුවන් හසුරුවා ගැනීමට පුහුණුවක් නොමැති එම දෙමාපියන්ට රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කර දරුවන්ට කාලය ගත කිරීමට ඉඩ හරිනවා හැර කිරීමට වෙනත් යමක් නොතිබිණි.

"මේ ගැන පන්තියට අදාළ වට්ස්ඇප් ගෲප් එකේ සමහර දෙමාපියො කතා කරල තිබුණා. ඊට පස්සේ ප්‍රශ්නයකුත් ඇති වුණා. අපේ ළමයි ඉස්කෝලෙ එවන්නෙ ටීවී බල බල ඉන්න නෙවෙයි නේ. ඒකයි අපි ඒ ගැන කතා කළේ," තවත් දරුවෙකුගේ මවක් බීබීසී සිංහල සේවයට පැවසීය.

'පන්ති කිහිපයක ම ළමයි මේ ප්‍රශ්නයට මුහුණ දීල තියෙනවා'

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් පියෙකු සඳහන් කළේ, 'පාසලේ පළමු වසර තවත් පන්ති කිහිපයක ම ගුරුවරියන් මාතෘ නිවාඩු මත සේවයට වාර්තා නොකරන' බව ය.

"මාතෘ නිවාඩු ගන්න එක ගැන අපට කිසි ම ප්‍රශ්නයක් නෑ. ඒක ලැබෙන්න ඕන දෙයක්. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ ඒ ගුරුවරියන්ගෙ නෙවෙයි. ඒ ගුරුවරියන් නිවාඩු ගියා ම ඒක භාර දෙන්න සුදුසු ගුරුවරියන් නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය තවත් පන්ති කිහිපයක තියෙනවා."

තාවකාලික විසඳුමක්

මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අවධානය යොමුවීමෙන් පසු මෑතකදී පුහුණුව නිම කළ ගුරුවරියක අදාළ පන්තියේ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට යොදවා ඇතැයි පාසල් බලධාරීන්ගෙන් අපට දැන ගන්නට ලැබිණි.

එහෙත්, එම විසඳුම සැබෑ ප්‍රශ්නයට සුදුසු විසඳුමක් නොවන බවට දෙමාපියෝ මැසිවිලි නගති.

"කවුරුහරි ගුරුවරියක් යොදවපු එක ලොකු දෙයක්. ඒත් ඒ ගුරුවරිය පුහුණුව අවසන් කරල තියෙන්නෙ ළඟදි. ඉතින් දරුවන්ගේ පැත්තෙන් ඒ විසඳුම කොච්චර සාර්ථක ද කියලා කියන්න අමාරු යි."

තවත් පාසල් රැසට බලපා ඇති ගැටලුවක්

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී, එවැනි ගැටලුවක් පවතින බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පිළිගත්තේ ය.

ඔහු ප්‍රකාශ කළේ, පිට පළාත්වල පමණක් නොව කොළඹ ප්‍රධාන පාසල් රැසක් ද මෙම ගැටලුවට මුහුණ පා සිටින බව ය.

"ඔව්, ඔව්. වාර්තා වෙනවා සහ දැනට එහෙම ගැටලුවකුත් තියෙනවා. විශේෂයෙන් ම ගත්තොත් එහෙම උසස් පෙළ සමහර විෂයන්ට ඉන්නේ එක ගුරුවරය යි. ඒ ගුරුවරයා මොකක් හරි හේතුවක් හින්දා, එක්කෝ මැටර්නිටි ලීව් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන යම් හෝ කාරණයක් හින්දා දීර්ඝ කාලීන නිවාඩු ගත්තොත් එහෙම විෂයට කෙනෙක් නැති වෙනවා, ගුරුවරයෙක් නැති වෙනවා. මේ ප්‍රශ්නය දිගින් දිගට ම තියෙනවා.

ප්‍රාථමික අංශයටත් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම ප්‍රාථමික අංශය අපි කොටස් තුනකට බෙදනවා. එතකොට ඒ කොටසට අදාළව ප්‍රාථමික ගුරුවරයෙක් ඉන්නවා. එතකොට ඒ ගුරුවරයාට සමහර වෙලාවට අර ප්‍රාථමික අංශයේ ම අනිත් ගුරුවරයෙකුට කවර් කරන්නත් අමාරු යි. ඒ නිසා එහෙම ගැටලුවකුත් තියෙනවා සහ උසස් පෙළටත් ඔය ගැටලුව ම තියෙනවා, විශේෂයෙන් මම කිව්වා වගේ එක විෂයකට ගුරුවරුන් කීප දෙනෙක් නැහැ. ඒක බලපානවා ඇත්තට ම සමහර වෙලාවට දුෂ්කර පළාත්වලටත් බලපානවා, සමහර විට ඔය කියපු නාගරික ඉස්කෝලවලටත් බලපානවා. මේ කාරණා පොදුවේ බලපාන එකක්.

මෙතැනදී එකක් තමයි දැනට තියෙන කාඩර් එක. දැනට තියෙන කොච්චර කාර්ය මණ්ඩලයක් ඉන්නවා ද කියන එක. අපි දැන් මේ වෙද්දී සියලු කාඩර් එකට අදාළව තමයි මේ පත්වීම් ටික කරන්නේ. එතකොට යම්කිසි මට්ටමක දැන් ඉන්න කාඩර් එකට අපට පිරවීම් කරන්න පුළුවන්, දැන් මේ මොහොතේදී තියෙන කාඩර් එකට.

එතකොට සමහර විෂයන්වලට දැන් ගුරුවරු දෙන්නෙක් වෙන අවස්ථාවක් එනවා, කාඩර් එක සම්පූර්ණයෙන් පිරුණා ම. එතකොට ඒ ගුරුවරයෙක් නිවාඩු ගියොත් ඔය දෙවැනි කාරණාවකදී ආවරණය කිරීමේ හැකියාව ලැබෙනවා," අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

අධ්‍යාපන අමාත්‍යංශය සතු විසඳුම් මොනවා ද?

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අනුගමනය කිරීමට නියමිත සැලසුම් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

"එකක් තමයි ඔය කාඩර් එක සම්පූර්ණයෙන් ම පුරවන එක. ඊට පස්සේ හදිසියේ ම ට්‍රාන්ස්ෆර් නොවෙන ආකාරයෙන් කොහොමහරි මේ මාරුවීම් ක්‍රියාවලිය අවුරුද්ද මුලට ගේන්න සැලසුම් කරනවා. එතකොට ගුරුවරයා ඉන්නේ අවුරුද්ද මුල අලුත් ඉස්කෝලෙක. ඔය ගැටලුව ගොඩක් වෙලාවට එනවා විශේෂයෙන් ම විභාගයට ළං වෙලා තියෙන පන්ති කාමරයක ගුරුවරයෙක් අවුරුද්ද මැදදි ගියොත්.

ඉතින් ඒ නිසා අපි ලෑස්ති කරන්නේ කොහොම හරි මේ මාරුවීම් ක්‍රියාවලිය ඉක්මන් කරවලා, ඒ ගුරුවරයා අවුරුද්ද මුල වෙන තැනකට යවන්න නැත්නම් අතර මැද ගියායින් පස්සේ තමයි ලොකු ගැටලුවක් වෙන්නේ. එතකොට ඒක නැති කරන්න අපි උත්සාහ කරනවා මේ අවුරුද්දේ ඉඳලම. ඉතින් ඔන්න ඔය කාරණා දෙක තමයි අපිට දැනට කිරීමේ හැකියාව තියෙන්නේ ඔය වගේ අවස්ථාවේදී."

ශ්‍රී ලංකාවේ ගුරු හිඟය

අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පවසන පරිදි මේ වන විට ගුරුවරුන් 23,006ක හිඟයකට අධ්‍යාපන අමාත්‍යංශය මුහුණ දී සිටී.

එම පුරප්පාඩු පිරවීම සඳහා මූලික අදියරේදී අයැදුම්කරුවන් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා තිබේ.

2023 වසරේ දත්ත අනුව පාසල් 10,096ක සිසු සිසුවියන් 3,882,688ක් සඳහා ඇති ගුරුවරුන් සංඛ්‍යාව 237,787කි.

කෙසේ වෙතත්, ඇතැම් විෂයයන් සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

'අපේ දරුවාට ආයේ පළමු වසරේ අධ්‍යාපනය දෙන්න බෑ. ඒ නිසා මේකට විසඳුමක් දෙන්න'

දෙමාපියන්ගේ ඉල්ලා සිටින්නේ, සිය දරුවන්ට පළමු වසරේ විධිමත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් ලබා දීමට පියවර ගන්නා ලෙස ය.

"අපේ දරුවන්ට පළවෙනි වසර කියන එක තියෙන්නෙ මේ අවුරුද්දෙ විතර යි. වෙන අවුරුද්දක මේ අධ්‍යාපනය දෙන්න බෑ. ඒ නිසා මේ ගැටලුවට ඉක්මනින් විසඳුමක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා."

පළමු වසරේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම

පළමු වසර අධ්‍යාපනය (Grade 1 Education) යනු දරුවෙකුගේ සමස්ත ජීවිතයේ ම සහ ඉදිරි අධ්‍යාපන ගමනේ මූලික පදනම බව අධ්‍යාපන විශේෂඥයෝ පෙන්වා දෙති.

මුල් ළමා වියේ සිට විධිමත් පාසල් අධ්‍යාපනයට අවතීර්ණ වන මෙම සන්ධිස්ථානය දරුවාගේ පෞරුෂ වර්ධනයට මෙන් ම බුද්ධිමය හා සමාජීය කුසලතා හැඩගැස්වීමට අතිශයින් ම වැදගත් බව ඔවුන්ගේ අදහස ය.

"ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එහි හවුල් ආයතන වන UNESCO සහ UNICEF අනුව, මුල් ප්‍රාථමික අධ්‍යාපනය, විශේෂයෙන් 1 ශ්‍රේණිය, ජීවිත කාලය පුරා පවතින සෞඛ්‍යය, යහපැවැත්ම සහ බුද්ධිමය සංවර්ධනය සඳහා අත්තිවාරම සැකසීමට ඉතා තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකෙන," බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව, දරුවෙකුට පාසල් අධ්‍යාපනයේ පළමු වසර තුළ නිසි අධ්‍යාපනයක් සහ මග පෙන්වීමක් නොලැබුණහොත් එම දරුවාගේ ජීවිත කාලය පුරා එය බලපානු ඇත.