සද්ධාරතන හිමි 'භික්ෂුවක් ද?' කස්සප හිමිට මොක ද වුණේ? අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
අනුරාධපුර රුවන්වැලි සෑය ආසන්නයේ උපවාසයක නිරත වී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත මැර කල්ලියක් සමග කඩා වැදුණු රාජාංගණයේ සද්ධාරතන හිමිට අතින් පයින් සහ පොලුවලින් පහර දී තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පස්නමක් සහ අනෙකුත් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (නොවැ: 26) නියෝග කළේ ය.
ඒ අනුව, සියලු සැකකරුවන් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, යළි 2027 වසරේ අප්‍රේල් මස 29 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සියලු සැකකරුවන්ට නියෝග කළේ ය.
මෙසේ ඇප මත මුදා හැරුණේ බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා සහ උදිත නිශාන්ත සහ ලක්මාලි හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් පිරිසකි.
මෙම සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් වන නුවන් බැල්ලන්තුඩාව, ඉන්දික ඉඹුල්පිටිය සහ සංජීව ගුණරත්න යන මහත්වරුන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින් ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර පොලිසිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධව විරෝධය නොදැක්වීය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සියලු සැකකරුවන් ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.
ICCPR පනත යටතට ගැනෙන වරදක් බවට චෝදනා
මේ අතර රුවන්වැලි සෑය දන්සල් පරිශ්‍රයේ පැවති මාරාන්තික උපවාස භූමියට මැර කල්ලියක් සමග බලහත්කාරයෙන් කඩා වැදී, කලහකාරීව හැසිරී, උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලාට බාධා කර පහර දීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජාංගණයේ සද්ධාරතන හිමි ද රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.
රාජාංගණයේ සද්ධාරතන හිමිට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්ද හබක්කල කියා සිටියේ, උපවාස භූමියේ පැවති ගැටුමට පෙර දිනයේ "හෙට අපි උපවාසයට ගහනවා වරෙල්ලා" යනුවෙන් සද්ධාරතන නමැත්තා සමාජ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ගෙන ගිය බව ය.
ඒ අනුව සද්ධාරතන නමැත්තා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් කර ඇති බව ද අවධාරණය කළ නීතිඥවරයා, එවැනි වරදක් කරන්නෙකුට සුවිශේෂී කරුණු මත ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණක් බව ඉහත පනතේ ම 3 (4) වගන්තිය මඟින් දක්වා ඇති බව ද කීවේය. ඒ අනුව බී (B) වාර්තා මඟින් පොලිසිය කුමක් කීවද, පොලිසියට ලබා දී ඇති වීඩියෝ දර්ශන ඔස්සේ මෙම ගැටුමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි බව ද ප්‍රකාශ කළේ ය.
'කිසිදු නිකායක් භික්ෂුවක් ලෙස පිළිගන්නේ නැහැ'
නීතිඥ ඉන්දික ඉඹුල්පිටිය පැවසුවේ රාජාංගණයේ සද්ධාරතන නමැත්තාට සාමණේර සහතිකයක් හෝ උපසම්පදා සහතිකයක් නොමැති බවයි. ඒ බව තහවුරු කිරීමට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥවරයා තවදුරටත් කියා සිටියේ, ඒ අනුව රාජාංගණයේ සද්ධාරතන නමැත්තා මෙරට කිසිදු නිකායක් ඔහු භික්ෂුවක ලෙස පිළි නොගන්නා බව ය.
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව පවසා සිටියේ, මෙම සිද්ධියේ සැකකරුවෙකු වන කේ. සමන් ෆොන්සේකා නමැත්තා අධිකරණයෙන් ඇප ලබා පිටව යද්දී, උපවාස භූමියේ කළ සියල්ල අධිකරණය අනුමත කළ නිසා අධිකරණය තමන්ට ඇප නියම කළ බව පවසමින් කිසිවෙකුට නැවත අනුරාධපුරයට නොපැමිණෙන ලෙසට තර්ජනය කළ බවයි.
නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සද්ධාරතන නමැත්තා භික්ෂුවක් නොවන බවට තහවුරු කිරීමට අදාළව නීතිඥ ඉන්දික ඉඹුල්පිටිය අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල මුල් පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.


































