මරණීය එන්නත් අසාර්ථක වීමෙන් පසු මරණයෙන් මිදුණු ක්‍රිස්ටා පයික් සිහිය ලැබීමෙන් පසු පැවසුවේ කුමක් ද?

ක්‍රිස්ටා පයික්
    • Author, සරීන් හබේෂියන්
    • Author, ක්වාසි ග්‍යාම්ෆි අසේදු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

පසුගිය සතියේ අසාර්ථක වූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ උත්සාහයකින් දිවි ගලවා ගත් ක්‍රිස්ටා පයික් සිහිය ලබා රෝහලේදී අවදි වූ විට "කෝපයෙන් සහ ව්‍යාකූලත්වයෙන්" පසුවූ බව ඇගේ නීතිඥයා පවසයි.

නීතිඥ රැන්ඩි ස්පයිවි මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ඇය අවදි වූ විගස පැවසූ පළමු වදන් වූයේ, "මම කොහෙද ඉන්නේ?" සහ "ඔයා කවුද?" යන්න බව ය.

50 හැවිරිදි පයික් තවදුරටත් දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, රෝහල් ඇඳ මත අත් සහ පාද බැඳ තබා ඇති බව බදාදා පැවති අධිකරණ විභාගයකින් අනතුරුව ඇගේ නීතිඥවරු මාධ්‍ය වෙත පැවසූහ.

නීතිඥ රැන්ඩි ස්පයිවි සඳහන් කළේ, පසුගිය දින කිහිපය පුරා ඇය මොළය අකර්මණ්‍ය වී ඇති බවට ඇගේ නීතිඥ කණ්ඩායම විශ්වාස කළ අතර, ඕනෑ ම මොහොතක ජීවිත ආධාරක උපකරණ ඉවත් කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළ බව ය.

කෙසේ වෙතත්, "සියලු දෙනා ම කම්පනයට පත් කරමින්" අඟහරුවාදා ඇය නැවත කතා කිරීමට පටන්ගෙන තිබූ අතර, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ උත්සහය පිළිබඳව ඇයගේ මතකයේ තිබුණේ, සීමිත තොරතුරු කිහිපයක් පමණක් බව ස්පයිවි පැවසීය.

1995 දී තමන්ගේ එවකට පෙම්වතා සමග එක්ව කොලීන් ස්ලෙමර් ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම වූ පයික්, පසුගිය බදාදා ටෙනසි ප්‍රාන්තයේදී දෙවරක් ලබා දුන් අසාර්ථක මාරාන්තික එන්නත් ක්‍රියාවලියකින් දිවි ගලවා ගත්තා ය.

එන්නත් කරන ලද රසායනික ද්‍රව්‍ය ඇගේ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කරන අතරතුර ඇය රෝහල්ගත කරනු ලැබූ අතර දින කිහිපයක් සිහිසුන්ව පසුවූවා ය. විශේෂඥයන් සහ ඇගේ නීතිඥ කණ්ඩායම පවසන්නේ, ඇයගේ යළි යථා තත්ත්වයට පත්වීම අනපේක්ෂිත සිදුවීමක් බව ය.

ක්‍රිස්ටා පයික්

මාරාන්තික එන්නතකින් දිවි ගලවාගත් එක ම පුද්ගලයා ලෙස පයික් සැලකේ.

ඇයගේ රෝගී තත්ත්වයේ ඉදිරි තත්ත්වය පිළිබඳව තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති වුව ද, "අවම වශයෙන් ඇයට සුවය ලැබීමට දීර්ඝ කාලයක් ගත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු", යැයි ඇයගේ නීතිඥයෝ පැවසූහ.

Fordham Law Schoolහි අපරාධ විද්‍යාඥවරියක සහ මහාචාර්යවරියක වන ඩෙබොරා ඩෙනෝ පැවසුවේ, පයික් සිහිබුද්ධියෙන් සිටීම සහ කතා කිරීම පිළිබඳව තමන් "සම්පූර්ණයෙන් ම පුදුමයට පත්වූ" බව ය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී සිරකරුවන් දිවි ගලවා ගත් වෙනත් අවස්ථා හතක් තිබී ඇතත්, එම අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නන්ට සිරකරුවන්ගේ නහර තුළට කිසිවක් එන්නත් කිරීමට නොහැකි වූ බව ඩෙනෝ බීබීසී වෙත පැවසුවාය.

පයික් "යම් විෂ සහිත ද්‍රව්‍යයක් එන්නත් කරන ලද එක ම පුද්ගලයා" බව ඇය සඳහන් කළා ය.

"මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ඔවුන් කළ යුතු සියල්ල ඔවුන් සිදු කළත් ඒක සාර්ථක වුණේ නැහැ, මීට කලින් මෙවැනි දෙයක් සිදුවෙලා නැහැ." යැයි ඩෙනෝ පැවසීය.

Radio 4 හි 'Today' වැඩසටහන සමග අදහස් දක්වමින්, එම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ උත්සහය සියැසින් දුටු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු පැවසුවේ, "නිශ්චිත පූර්වාදර්ශයක්" පිළිබඳව තමා ද නොදන්නා බව ය.

නාෂ්විල් බැනර් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන ස්ටීවන් හේල් පැවසුවේ, මෙම සිද්ධිය ප්‍රශ්න රැසක් මතු කරන බව ය. ඒ අතර "වසර 30ක් පුරා ක්‍රිස්ටා පයික්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් යුක්තිය ඉටු කරන බව පවසමින් සිටි වින්දිතයාගේ පවුලට මේක කොහොම දැනෙන්න ඇත්ද?".

පයික්ට නැවත වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන්නේ ද යන්න පිළිබඳව බලධාරීන් මෙතෙක් ප්‍රකාශ කර නැත. ඇයට දෙවරක් පෙන්ටොබාබිටල් (Pentobarbital) රසායනිකය එන්නත් කිරීමෙන් පසුව මරණයට පත්නොවීමට බලපෑ හේතුව කුමක් ද? යන්න පිළිබඳව ද පැහැදිලි කිරීමක් කර නොමැත.

ටෙනසී ප්‍රාන්තයේ ආණ්ඩුකාර බිල් ලී මෙම වසරේ ඉතිරි කාලය සඳහා සියලු ම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම් අත්හිටුවා ඇති අතර, ප්‍රාන්තයේ බන්ධනාගාර ප්‍රධානියා තමන් ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇති බව පසුගිය සති අන්තයේ පැවසීය.

පයික් වයස අවුරුදු 18ක් වන විට ඇය සහ එවකට පෙම්වතා වූ ටැඩරිල් ෂිප්, ගැටලු සහිත නව යොවුන් වියේ පසුවන්නන් සඳහා වූ රැකියා පුහුණු කඳවුරකදී හමුවූ 19 හැවිරිදි ස්ලෙමර්හට පහරදී, වධහිංසා පමුණුවා ඝාතනය කර තිබිණි.

ෂිප් එවකට වයස අවුරුදු 17ක පසු වූ බැවින්, නීතිය අනුව වැඩිහිටියෙකු නොවීම හේතුවෙන් එම ප්‍රහාරයට අදාළව ඔහුට මරණ දඬුවම නියම නොවීය. ඔහු තවමත් සිරගතව සිටී.

පයික්ගේ නීතීඥයින් බදාදා නාෂ්විල්හි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත ය. එමෙන් ම අධිකරණය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද ඔවුන් සැලසුම් කර තිබේ.

ඔවුන්ගේ නවතම යාවත්කාලීන කිරීමේදී, පයික්ගේ දඬුවම නිදහස් වීමේ අවස්ථාවක් නොමැතිව ජීවිතාන්තය දක්වා සිරගත කිරීම වැනි දඬුවමක් දක්වා ලිහිල් කිරීමට තම බලතල භාවිත කරන ලෙස ලීගෙන් කළ ඉල්ලීම ඔවුහු නැවතත් අවධාරණය කළහ.

File image of Colleen Slemmer කොලීන් ස්ලෙමර්ගේ ඡායාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කොලීන් ස්ලෙමර්, පයික් සහ එවකට ඇයගේ පෙම්වතා විසින් වධහිංසා පමුණුවා අමානුෂික ලෙස ඝාතනය කරන ලදී.

පයික් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමට උපදෙස් දෙන නිර්වින්දන වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ජොයෙල් සිවොට් අඟහරුවාදා පැවසුවේ, මාරාන්තික එන්නතකින් සුවය ලැබීමේ හැකියාව ඉතා අඩු බව ය.

"මාරාන්තික එන්නත දෙන බොහෝ දෙනා මිය යනවා," යැයි ඔහු බීබීසී වෙත පැවසීය. "ඇත්ත වශයෙන් ම ක්‍රිස්ටා හැර හැම කෙනෙක් ම වගේ. ඒ නිසා ඇය දිවි බේරීම අසාමාන්‍ය දෙයක්."

කෙසේ වෙතත්, තවමත් බොහෝ අවිනිශ්චිතතා සහ නොදන්නා කරුණු පවතින බව ඔහු පැවසීය; ඊට ඇයගේ ශරීරයට 'පෙන්ටොබාර්බිටල්' (pentobarbital) කොපමණ ප්‍රමාණයක් ඇතුළු වී ද යන්න, එන්නත ලබා දීමෙන් පසු ඇයගේ රුධිරයේ එහි මට්ටම කෙසේ වී ද යන්න සහ ඇයගේ සුවවීමේ ක්‍රියාවලිය කෙසේ වනු ඇත් ද යන්න ඇතුළත් වේ.

"මෙම අවස්ථාවේදී සියලු ම විශාල අවදානම් පසුකර ඇති බව කිසිසේත් ම මට කියන්න බැහැ," යැයි ඔහු සඳහන් කළේ ය.

පසුගිය සතියේ ඇයට ලබා දුන් පෙන්ටොබාබිටල් (Pentobarbital) මාත්‍රා දෙක සාමාන්‍ය රුධිර සංසරණය තුළට ඇතුළු වී තිබුණේ නම් "ඇය නියත වශයෙන් ම මිය යා යුතුව තිබූ" බව Zivot මීට පෙර පවසා තිබිණි.

ඒ වෙනුවට, පෙන්ටොබාබිටල් (Pentobarbital) ඇගේ රුධිර ප්‍රවාහයට ඇතුළු නොවී සමට යටින් ඇති පටක අතර පැතිරී ගොස් තිබෙන්නට හැකියාවක් පැවතිය හැකි බව සිවොට් පැවසීය.

මීට පෙර පයික්ගේ නීතීඥයන් අනතුරු අඟවා තිබුණේ, ඇගේ වෛද්‍ය ඉතිහාසය සහ ශාරීරික ව්‍යුහය, thrombocytosis (රුධිර කැටි ගැසීමේ තත්ත්වයක්) සහ කුඩා නහර ආදී හේතු මත, මාරාන්තික එන්නතක් ලබාදීමේදී "අනවශ්‍ය" වේදනාවක් දැනීමට ඉඩ ඇති බව ය.

ඔවුන් අඟහරුවාදා පැවසුවේ, ඇගේ අත්වලට "දරුණු හානි" සිදුවී ඇති බව ය.

මරණ දඬුවම් නියම කිරීම් පිළිබඳ තොරතුරු නිරීක්ෂණය කරන Death Penalty Information Center සංවිධානයට අනුව, 2022 වසරේදී අමෙරිකාව පුරා සිදු වූ මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම්වලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් අසාර්ථක හෝ බරපතළ ගැටලු සහිත ඒවා විය.

මාරාන්තික එන්නත් සම්බන්ධයෙන් ගත් කල, එවැනි සිද්ධි සාමාන්‍යයෙන් නහර වෙත කැන්‍යුලා බටයක ප්‍රවේශයක් ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් සිදුවී ඇති අතර, එම මූලික හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

එම මධ්‍යස්ථානය ලේඛනගත කර ඇති අවස්ථාවලදී සියලු අසාර්ථකත්වයන් සිදුව ඇත්තේ මාරාන්තික ඖෂධ ලබාදීමට පෙර ය. ලේඛනගත කළ අවසන් අසාර්ථක මාරාන්තික එන්නත් ක්‍රියාවලිය මෙම වසරේ මුලදී, ටෙනසී ප්‍රාන්තයෙන් ම වාර්තා විය.

1994 දී පුද්ගලයන් තිදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වරදකරු වූ ටෝනි කැරතර්ස්හට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, කාර්ය මණ්ඩලයට මාරාන්තික එන්නතක් සඳහා නහරයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මැයි මාසයේදී කල් දමන ලදී. ඔහුට ආණ්ඩුකාරවරයා වසරක සහනයක් ලබා දී ඇත.