'රට පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක්': ගොදුරක් නොවීමට ඔබ දැනගත යුතු දේ

influenza
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

මේ දිනවල රට පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා යනු, ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගී තත්ත්වයක් වන අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඊට හේතු වේ.

ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය (CDC) සඳහන් කරන පරිදි එම වෛරසය නාසය, උගුර සහ ඇතැම් විට පෙනහලු ආශ්‍රිත පටකවලට ආසාදනය වේ.

මෙම රෝගය මෘදු තත්ත්වයේ සිට දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී මරණයට පවා හේතු විය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පෙන්වා දුන්නේ, මහජනතාව මේ පිළිබඳව "අනියත බියක්" ඇති නොකර ගත යුතු බව ය.

"මේ දිනවල [ඉකුත් සති 3-4] ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩි වීමක් අපේ ආවේක්ෂණ පද්ධතිය හරහා නිරීක්ෂණය වෙනවා," ඔහු පැවසීය.

ඒ අනුව, ඉකුත් සතියේ දිවයින පුරා පිහිටි රෝහල් 20කින් ලබාගත් ආවේක්ෂණ දත්ත සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) හරහා කරන ලද පරීක්ෂණවලදී ලබාගත් සාම්පලවලින් "35%ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා" බවට වාර්තා වී තිබේ.

රෝග ලක්ෂණ මොනවා ද?

උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතාව, හිසරදය සහ ඇඟපත වේදනාව ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ අතර පවතින බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි.

ඊට අමතරව නාසයෙන් සොටු දියර ගැලීම හෝ නාසය හිරවීම සහ තෙහෙට්ටුව ද පවතින බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, ඇතැම් පුද්ගලයින්ට වමනය සහ පාචනය ඇති විය හැකි නමුත්, මෙය වැඩිහිටියන්ට වඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන බව ය.

තව ද සෑම කෙනෙකුට ම උණ රෝග ලක්ෂණය නොතිබිය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත් බව අද ඔවුහු පවසති.

ඊට අමතරව, ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාදනය වූ ඇතැම් පුද්ගලයින් තුළ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවේ.

ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, 2017 සිට 2023 දක්වා වූ ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්ත වන කාල තුළ පවුල් ඒකක ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයකින්, ඉන්ෆ්ලුවෙන්සා ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්ගෙන් සියයට 8කට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ බව හෙළි වූ බව ය.

එසේ වුව ද බොහෝ විට රෝගය දින තුනක් හෝ හතරක් ඇතුළත ප්‍රතිකාරත් සමග "සංකීර්ණ ගැටලුවකින් තොරව" සුව වන බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ ය.

Sick young woman blowing her nose with a tissue against a white background, expressing discomfort from cold symptoms and fatigue

රෝගය පැතිරෙන්නේ කෙසේ ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බොහෝ විශේෂඥයන්ගේ මතය වන්නේ, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ එම රෝගය වැළඳුණු පුද්ගලයන් කැස්ස, කිවිසුම් යාම හෝ කතා කිරීමේදී පිටවන කෙළ බිඳිති මගින් බව ය.

එම බිඳිති අසල සිටින පුද්ගලයන්ගේ මුඛයට හෝ නාසයට ඇතුළු විය හැකි ය.

ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය පෙන්වා දෙන පරිදි අඩු වශයෙන් සිදු වුව ද, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තැවරී ඇති මතුපිටක් හෝ යම් වස්තුවක් ස්පර්ශ කිරීමෙන් පසු තම මුඛය, නාසය හෝ ඇතැම් විට ඇස් ස්පර්ශ කිරීමෙන් ද වෛරසය ආසාදනය විය හැකි ය.

රෝග ලක්ෂණ මතු වීමට පෙර මෙන් ම, රෝග ලක්ෂණ පවතින කාලයේදී ද ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වෙනත් අයෙකුට ආසාදනය වීමට ඉඩ ඇත.

අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ, ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු පුද්ගලයන්ගෙන් වැඩි ම වශයෙන් වෛරසය අන් අයට ආසාදනය වන්නේ රෝගය වැළඳුණු පළමු දින තුන තුළ බව ය.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්ට පවා රෝග ලක්ෂණ මතු වීමට දිනකට පෙර සිට සහ රෝගය වැළඳී දින පහක් හෝ හතක් ගත වන තෙක් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය අන් අයට බෝ කළ හැකි බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

කුඩා දරුවන් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන් ඇතුළු ඇතැම් අයට වැඩි කාලයක් වෛරසය අන් අයට බෝ කළ හැකි බව ද අධ්‍යයන මගින් පෙන්වා දී ඇත.

පුද්ගලයෙකුට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ මතු වීමට සාමාන්‍යයෙන් දින දෙකක් පමණ ගත වේ. කෙසේ වෙතත්, එම කාලය දින එකත් හතරත් අතර වෙනස් විය හැකි බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

අධිඅවදානම් කණ්ඩායම් මොනවා ද?

නිරෝගී පුද්ගලයන් ඇතුළු ඕනෑ ම අයෙකුට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳිය හැකි අතර, එමගින් ඕනෑ ම අයෙකුට බරපතළ සංකූලතා පවා ඇති විය හැකි ය.

කෙසේ වෙතත්, ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණහොත් බරපතළ සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් සහිත කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන තිබේ.

විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පෙන්වා දුන්නේ, ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන්, මෙන් ම දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින පුද්ගලයින්ට ඉන්ෆ්ලුවෙන්සා වැළඳුණහොත් සංකූලතා ඇතිවිය හැකි බව ය.

එමෙන් ම, වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයන්, ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 40 kg/m² හෝ ඊට වැඩි පුද්ගලයන් සහ විශේෂයෙන් ම වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට බරපතළ සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසුවේ, එවැනි අවදානම් කණ්ඩායම් රෝග ලක්ෂණ මතු වූ වහා ම ළඟ ම ඇති රජයේ රෝහල වෙත හෝ සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් වන බව ය.

වළක්වා ගන්නේ කෙසේ ද?

පාසල් යන දරුවෙකුට හෝ රාජකාරියට යන අයෙකුට රෝග ලක්ෂණ ඇත්නම් දින 2-3ක කාලයක් නිවසේ සිට විවේක ගැනීමෙන් රෝගය ඉක්මනින් සුවවීමට මෙන් ම අන් අයට බෝවීම වැළැක්වීමට ද උපකාරී වන බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි.

ඊට අමතරව, සබන් යොදා දෑත් සේදීම සහ රෝග ලක්ෂණ පවතින විට මුඛ ආවරණයක් භාවිත කිරීම මගින් ද රෝගය පැතිරීම පාලනය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඊට අමතරව, රෝගී පුද්ගලයන්ගෙන් දූරස්ථව සිටීම, කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය හා නාසය ආවරණය කිරීම සහ පිරිසිදු වාතය සහිත පරිසරයක් පවත්වා ගැනීමට පියවර ගැනීම ඇතුළත් වේ.

රෝගය වැළඳුණු කෙනෙකු කළ යුත්තේ මොනවා ද?

සාමාන්‍ය රෝගී තත්ත්වයකදී නිවසේදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ විවේක ගැනීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පෙන්වා දෙයි.

ඊට අමතරව උණ පවතින අවස්ථාවලදී පැරසිටමෝල් ලබා ගැනීම මෙන් ම කැස්ස තදින් පවතින්නේ නම් හෝ රෝග ලක්ෂණ උග්‍ර වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේ ය.