ෆැටී ලිවර් ඇති වන්නේ අරක්කු බිව්වොත් විතර ද? අක්මාව අකර්මණ්‍ය වුණොත් ඔබට කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
අධික නිදිමත ස්වභාවය, දියවැඩියාව ආදී සංකූලතා කිහිපයක් හේතුවෙන් මම කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වෙත ගොස් පරීක්ෂණ කිහිපයක් කර ගත්තෙමි.
එහිදී, අනාවරණය වූයේ, මා ෆැටී ලිවර් හෙවත් අක්මාවේ මේදය තැන්පත් වීම යන්නෙහි දෙවන අදියරේ රෝගී තත්ත්වයකින් පෙළන බව ය.
"වහා ම ඇල්කොහොල් ගන්න එක නවත්වන්න," රෝගී කාමර පරීක්ෂාවේ නිරත වූ වෛද්‍යවරියක් මට උපදෙස් දුන්නා ය.
ඇය එසේ කීව ද, මා ඇල්කොහොල් භාවිත කරන්නෙකු නොවේ. එහෙත්, මාගේ අක්මාව රෝගී වී තිබිණි.
අක්මාව යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ම අංගයක් වන අතර, එහි ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වුවහොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත.
ලෝක ජනගහනයෙන් 30%කට අධික ප්‍රතිශතයක් ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එනම්, සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු එම රෝගයෙන් පෙළෙයි.
ෆැටී ලිවර් යනු කුමක් ද? එය ඇති වන්නේ ඇල්කොහොල් භාවිතයෙන් පමණ ද?
'අක්මාවේ මේදය තැන්පත් වීම Fatty Liver ලෙස හැඳින්වේ. මධ්‍යසාර භාවිතය ඇතිව හෝ නොමැතිව අක්මාවේ මේද තැන්පත් වීම සිදුවිය හැක. එම රෝග තත්ත්ව පිළිවෙලින්, මධ්‍යසාර ආශ්‍රිත Fatty Liver සහ මධ්‍යසාර ආශ්‍රිත නොවන Fatty Liver නම් වේ.' යනුවෙන් Sri Lanka College of Internal Medicine ආයතනය පැහැදිලි කරයි.
මධ්‍යසාර ආශ්‍රිත නොවන ෆැටී ලිවර් යනුවෙන් මීට පෙර හැඳින්වූ රෝගී තත්ත්වය මේ වන විට හඳුන්වන්නේ, Metabolic dysfunction-associated steatotic liver disease (MASLD) යනුවෙනි.
ඒ අනුව, මධ්‍යසාර ආශ්‍රිත නොවන වෙනත් සාධක මත ද ෆැටී ලිවර් රෝගී තත්ත්වය ඇති විය හැකි බව පැහැදිලි වේ.
මධ්‍යසාර ආශ්‍රිත ෆැටී ලිවර් තත්ත්වයට මධ්‍යසාර භාවිතය ඍජුව බලපාන අතර පරිවෘත්තීය අක්‍රමිකතා ආශ්‍රිතව අක්මාවේ මේදය තැන්පත් වීම (Metabolic dysfunction-associated steatotic liver disease) යනුවෙන් හැඳින්වෙන රෝගී තත්ත්වයට බලපාන සාධක රැසක් තිබේ.
මධ්‍යසාර ආශ්‍රිත නොවන ෆැටී ලිවර් තත්ත්වයට බලපාන සාධක මොනවා ද?
මධ්‍යසාර ආශ්‍රිත නොවන ෆැටී ලිවර් තත්ත්වයට විවිධ රෝග, ආහාර රටාවන්, ශාරීරික තත්ත්වයන් මෙන් ම වෙනත් කරුණු ද බලපාන බව Sri Lanka College of Internal Medicine පවසයි.
එම සාධක කිහිපයක් මෙසේ ය.
- දියවැඩියාව
- ව්‍යායාම අඩු බව
- ෆෘක්ටෝස්, මේදය සහිත සැකසූ ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම
- ජාන මගින් දෙමාපියන්ගෙන් දරුවන්ට ප්‍රවේණිගත වීම
- ස්ථූලතාවය
ඉහත සඳහන් සාධක ඇත්නම්, ඔබට ෆැටී ලිවර් රෝග තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් තිබේ. ස්ථූල පුද්ගලයන් අතර ෆැටී ලිවර් තත්ත්වය බහුල වුව ද, සිහින් සිරුරැති පුද්ගලයන්ට ද එම රෝගී තත්ත්වය ඇති විය හැකි බව Sri Lanka College of Internal Medicine ආයතනය පෙන්වා දෙයි.
'දියවැඩියා රෝගීන්ගෙන් 65%කට ෆැටී ලිවර්': එය හඳුනාගත හැකි ලක්ෂණ තිබේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දියවැඩියා රෝගීන්ට මධ්‍යසාර ආශ්‍රිත නොවන ෆැටී ලිවර් රෝගී තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අර්ජුණ ද සිල්වා පවසයි.
ඔහු සඳහන් කළේ, දියවැඩියා රෝගීන්ගෙන් 60%කට අධික ප්‍රතිශතයක් මධ්‍යසාර ආශ්‍රිත නොවන ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ය.
මෙහි වඩාත් අවදානම් තත්ත්වය වන්නේ, ෆැටී ලිවර් රෝගී තත්ත්වයට අදාළ සුවිශේෂී පූර්ව රෝග ලක්ෂණ ඉස්මතු නොවීම ය.
"වෙනත් රෝග වගේ පූර්ව රෝග ලක්ෂණ ෆැටී ලිවර් සම්බන්ධයෙන් මතු වෙන්නෙ නෑ. ඒ නිසා අක්මාවට සැලකිය යුතු හානියක් වෙනකල් රෝගී තත්ත්වය අඳුන ගන්න අමාරු යි. ඒ නිසා දියවැඩියාව තියෙන, ස්ථූලභාවයෙන් යුක්ත, ව්‍යායාම අඩු, මධ්‍යසාර භාවිත කරන පුද්ගලයින් ෆැටී ලිවර් පරීක්ෂා කර ගන්න ඕන," මහාචාර්ය අර්ජුණ ද සිල්වා පැවසීය.
ෆැටී ලිවර් තත්ත්වය රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා දීර්ඝ කාලයක් පැවතිය හැකි අතර, රෝගියා සිරෝසිස් තත්ත්වයට පත්වන තුරු ඔහුට ඒ පිළිබඳ අවබෝධයක් නැති විය හැකි ය.
ඇතැම් විට, ෆැටී ලිවර් තත්ත්වයකදී ඉහළ උදරයේ දකුණුපස වේදනාවක් හෝ පිම්බුණු ස්වභාවයක් ඇති විය හැකි බව Sri Lanka College of Internal Medicine ආයතනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අක්මාවේ මේදය පරීක්ෂා කර ගත හැකි පරීක්ෂණ මොනවා ද?
ෆැටී ලිවර් රෝගී තත්ත්වය පරීක්ෂා කර ගත හැකි පරීක්ෂණ කිහිපයක් තිබේ.
මහාචාර්ය අර්ජුණ ද සිල්වා පවසන්නේ, අක්මාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා සිදු කෙරෙන Liver Function Test (LFT) හරහා මූලික පරීක්ෂාවක් සිදු කර ගත හැකි බව ය.
ඊට අමතරව, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් ද තත්ත්වය හඳුනාගත හැකි ය.
ෆැටී ලිවර් තත්ත්වය සිරෝසිස් දක්වා වර්ධනය වීමට ඇති හැකියාව "FibroScan" පරීක්‍ෂණයක් මගින් හඳුනාගත හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, එම පරීක්ෂණයෙන් අක්මාවේ මේද ප්‍රමාණය සහ අක්මාවට වී ඇති හානිය පිළබඳව හඳුනාගත හැකි බව ය.
ෆැටී ලිවර් රෝගී තත්ත්වයේ අදියරයන් මොනවා ද?
ෆැටී ලිවර් රෝගී තත්ත්වය වර්ධනය වීම අදියර 4ක් යටතේ හඳුනා ගැනේ.
- සරල ෆැටී ලිවර් තත්ත්වය (Steatosis) - අක්මාවේ මේදය තැන්පත් වීම ආරම්භ වීම
- ස්ටියටෝහෙපටයිටිස් (Steatohepatitis) - අක්මා සෛල හානිවීම ආරම්භ වීම
- ෆයිබ්‍රොසිස් (Fibrosis) - අක්මාව සහ රුධිර නාල වටා කැළැල් පටක ඇති වීම
- සිරෝසිස් (Cirrhosis) - අක්මාව හැකිළීම සහ එහි ක්‍රියාකාරීත්වය අඩපණ වීම
සරල ෆැටී ලිවර් තත්ත්වයේ සිට සිරෝසිස් තත්ත්වය දක්වා රෝගී තත්ත්වය වර්ධනය වීමට වසර 20ක පමණ කාලයක් ගත විය හැකි බව මහාචාර්ය අර්ජුණ ද සිල්වා පවසයි.
කෙසේ වෙතත්, එම කාලය තීරණය වන්නේ, මධ්‍යසාර භාවිතය ඇතුළු හානිකර සාධක භාවිත කරන ප්‍රමාණයන් මත ය.
අක්මාව අකර්මණ්‍ය වුවහොත් සිදුවන්නේ කුමක් ද?
මා කුඩා කල මගේ ඥාතියෙකුගේ උදරය අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා තිබූ අතර, ඔහුට සිරෝසිස් රෝගී තත්ත්වය වැළඳී තිබුණු බව මට දැනගත හැකි විය.
මාගේ අවබෝධය අනුව ඔහුට වැළඳී තිබුණේ, මධ්‍යසාර ආශ්‍රිත සිරෝසිස් තත්ත්වයකි.
ඔහු දිගු කලක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යම් සුවයක් ලැබුව ද, මද කලකට පසු ඔහුගේ උදරයෙන් සැරව ගැලීම ද සිදුවූ බව මම දැක ඇත්තෙමි.
ඊට හේතුව ලෙස මා වැඩිහිටියන්ගෙන් දැන ගත්තේ, අක්මාව අකර්මණ්‍ය වීම නිසා ශරීරයේ ඉන්ද්‍රියයන් රැසක පාලනය ගිලිහී යන හෙයින් එවැනි තත්ත්වයක් ඇති විය හැකි බව ය.
අක්මාව අකර්මණ්‍ය වීමෙන් අපගේ ශරීරයට සිදුවන බලපෑම පිළිබඳව මහාචාර්ය අර්ජුණ ද සිල්වා පැහැදිලි කළේ, මෙසේ ය.
"අක්මාව තමයි ශරීරයේ හුඟක් ක්‍රියාවල් කරන්නෙ. ශරීරයේ සියල්ල ම වගේ නිපදවෙන්නෙ අක්මාවෙ. ශරීරයේ මේදය පාලනය කරන්නෙ අක්මාව. ග්ලූකෝස් පාලනයට අක්මාව අත්‍යවශ්‍ය යි. විෂ ද්‍රව්‍යයක් ශරීරගත වෙනව නම් ඒක නිෂ්ක්‍රීය කරන්නෙත් අක්මාව ම යි. මත්පැන් කියන්නෙ විෂ ද්‍රව්‍යයක්. ඒක නිෂ්ක්‍රීය කරන්න ගියා ම අක්මාවට හානි වෙනවා. ඉතින් අක්මාව නැති වුණොත්, හුඟක් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ප්‍රෝටීන් නිෂ්පාදනය, බිලිරුබින් කියන පැරණි රතු රුධිර සෛල බිඳිලා ඇති වන කහ පැහැති ද්‍රව්‍යය පිත විදිහට ශරීරයෙන් ඉවත් කරන්නෙත් අක්මාව හරහා."
ඒ අනුව, අක්මාව අකර්මණ්‍ය වීමෙන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. එනම්, සිරෝසිස්, අක්මාව ආශ්‍රිත පිළිකා සහ හෘදයාබාධ වැනි රුධිර වාහිනී ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති විය හැකි ය.
ෆැටී ලිවර් තත්ත්වය සුව කර ගත හැකි ද?
මහාචාර්ය අර්ජුණ ද සිල්වා පවසන්නේ තුන් වන අදියර වන ෆයිබ්‍රොසිස් තත්ත්වයේදී වුව ද, නිසි ප්‍රතිකාර කළහොත් 100%ක් අක්මාව යථාතත්ත්වයට පත් කර ගත හැකි බව ය.
මේ අතර, වෙනත් අවයව මෙන් නොව නිසි පරිදි ප්‍රතිකාර ලබා ගතහොත් යළිත් වර්ධනය වන බව ද ඔහු පැවසීය.
"විශේෂ ම දෙයක් තියෙනවා. වකුගඩුවක් වගේ වෙනත් ඉන්ද්‍රියක් කැපුවොත් ඒක ආයෙ වර්ධනය වෙන්නෙ නෑ. වකුගඩුවක කොටසක් බද්ධ කරන්නත් බෑ. මුළු වකුගඩුව ම බද්ධ කරන්න වෙනවා. හැබැයි අක්මාවක් බද්ධ කරනවා නම් එහෙම කරන්න ඕන නෑ."
ෆැටී ලිවර් වළක්වා ගන්නේ කෙසේ ද?
නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීමෙන්, සමබල සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමෙන් සහ ව්‍යායාම්වල නිරත වීම ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයකින් මෙය වළක්වාගත හැකි ය. එනම්,
- මත්පැන් භාවිතය නතර කරන්න.
- දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් පාලනය කර ගන්න.
- ශරීර ස්කන්ධ දර්ශකය පවත්වාගෙන යන්න.
- ව්‍යායාම කරන්න
- සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන්න.
- අක්මාව ආශ්‍රිත පරීක්ෂණ සිදු කර අවශ්‍ය නම් ප්‍රතිකාරවලට යොමු වන්න.































