'අධිකරණය ඇන්දවීමට උත්සහ කිරීම නිසා' පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා ඊට අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කළේ ය.

අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත්, පොලිස්පතිවරයා 'උසාවිය ඇන්දීමට උත්සහ කරන බවක්' පෙනී යන බව සඳහන් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබිණි.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුට එරෙහිව අසත්‍ය තොරතුරු මත පැවරූ අංක 1743 සහ 1744 දරන නඩු ගොනු දෙක ද අභියාචනාධිකරණයට යැවීමට මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කළේ ය.

අසත්‍ය නඩුවලට අදාළ සිද්ධිය

ගම්පහ, දෙවලපොළ, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය නඩු පවරා තිබුණේ, නිස්සාරණ අන්දමින් බවට මීට පෙර අවස්ථාවක තීරණය කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මීට පෙර අවස්ථාවක නියම කර තිබිණි.

ඊට අමතරව, අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන්ට ම දැනුම් දෙමින් සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියම කර තිබිණි.

2026 මැයි 06 වන දා හෝ ඊට ආසන්න දිනයක ගම්පහ, අස්ගිරිය මංසන්ධියේදී අයිස් මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් නමැත්තා, චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව නඩුවක් පවරා තිබූ අතර එහි සාක්ෂිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසයේ පොලිස් සැරයන් සෙනවිරත්න සහ කොස්තාපල් දිල්ෂාන් නමැත්තන් නම්කොට තිබිණි.

විත්තිකාර චාමර චතුරංග නමැත්තාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක් නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අදාළ චෝදනාවලට වරද පිළිගැනීම නිසා ඔහුට දඩයක් නියම කෙරුණු අතර තවත් සුළු මොහොතකින් ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තවත් නඩුවක් කැඳවිණි.

දෙවන නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එක ම පුද්ගලයෙකුට එරෙහිව එක ම දින නඩු දෙකක් පවරා ඇති බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, රට වැසියන්ට පීඩාකාරී වන අන්දමින් නඩු පැවරීම සම්බන්ධයෙන් එම නඩුවල සාක්ෂිකරුවන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 (1) යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි විමසීම සඳහා අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවුවත් ඔවුන් කිසිවෙක් අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් ගයාන් කරුණු දක්වමින් මෙම වැටලීම කළ දින මෙම විත්තිකරු සමග තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් හෙයින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා වැරදි ලෙස ගොනු කර ඇති අතර, චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව 1743 සහ 1744 යටතේ පවරා ඇති නඩු දෙකෙන් 1743 දරන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව ද 1744 දරන නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසිය වැටලීම් කළ යුත්තේ වැටලීමේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට එරෙහිව අධිකරණයක් හමුවේ සාක්ෂි දී ඔවුන් වරදකරුවන් බව පෙන්වීම සඳහා හේතු සහිතව බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, මෙම විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු නම් කිරීම මගින් විත්තිකරු නඩු විභාගයකදී වරදකරු කිරීමේ අරමුණින් යුතුව නඩු පවරා ඇති බව පැහැදිලි වන්නේ යැයි ද සඳහන් කරමින් ඒ අනුව පොලිසියේ ඉල්ලීම පිළිගැනීමට නොහැකි බව පෙන්වා දෙමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

පොලිසිය විශාල වශයෙන් මත්ද්‍රව්‍ය නඩු පවරනු ලැබූවත් එම නඩුවල ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සැලකිල්ලට ගැනීමේදී පොලිසිය සඳහන් කළ ප්‍රමාණයට වඩා ඉතා ම අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ඒවායේ අඩංගු බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ යැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂකවරයාට යවනු ලැබූ ඇතැම් නඩු භාණ්ඩවල මත්ද්‍රව්‍ය ඉතා ම සුළු ප්‍රමාණයන් අඩංගු බව මෙන් ම ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අනාවරණය නොවන අවස්ථා ද ඇතැයි අවධාරණය කළේ ය.

පොලිසිය දැඩි දෝෂදර්ශනයට

මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතත් එම උපදෙස් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතා ම අවිධිමත් ලෙස බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, එක් මාසයකදී ගන්නා නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට අණකර එමගින් පොලිසියේ හා නිලධාරීන්ගේ ප්‍රගතිය සලකා බැලීම නිරන්තරයෙන් සිදුවූවත් එමගින් පොලිසියේ හෝ නිලධාරීන්ගේ ප්‍රගතිය සලකා බැලීමට කිසිදු හැකියාවක් නැතැයි ද පෙන්වා දුන්නේ ය.

සැබැවින් ම පොලිස් දෙපාර්තමේන්තුව කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අපරාධ වැටලීම් කරන්නේ නම් එක් මාසයකදී ගත් නඩු ප්‍රමාණයට වඩා අඩු නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී වාර්තා විය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ප්‍රදේශයේ නඩු වැඩිවීම යනු සැබවින්ම එම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාව විදහා පෙන්වන්නක් බව ද අවධාරණය කළේ ය.

එක් මාසයකදී ගත් නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් එහි පහළ නිලධාරීන්ට අණ කිරීම මගින් තවත් වසර පහක කාලයක් ගත වන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය මදි වීමට ඉඩ ඇති බව ද මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න ඒ අවස්ථාවේදී පෙන්වා දුන්නේ ය.

ඇතැම් අවස්ථාවල අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්‍රමයක් වශයෙන් පොලිසිය අන්තරාදායක ඖෂධ පනතේ 54 වගන්තිය උපයෝගී කර ගන්නා බව අධිකරණයේ මතය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, මෙහි අවසාන ප්‍රතිඵලය පොලිස් නිලධාරීන් කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය පළුදු වීම බව ද අවධාරණය කළේ ය.

මෙම ක්‍රමවේදය පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහා ම යොමු කර එම ක්‍රමවේදය වහා ම වෙනස් කළ යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණයට කැඳවා ඇතත්, ඔහු අධිකරණයේ පෙනී නොසිටීම මගින් ඔවුන් අධිකරණයේ කටයුතු පිළිබඳ දැඩි නොසැලකිලිමත් බවකින් කටයුතු කරන බවක් පෙනී යන බව ය.

මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව පීඩාකාරී අන්දමින් නඩු පැවරීම පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 (1) වගන්තියේ යටතේ කටයුතු නොකළ යුත්තේ මන් ද? යන්න පිළිබඳව පොලිසිය ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩු දෙකට අදාළ වැටලීම කළ බව පවසමින් සාක්ෂිකරුවන් වශයෙන් නම්කර ඇති පොලිස් නිලධාරීන්ට විත්තිකරුට රුපියල් 25,000/- බැගින් වන්දි ගෙවීමට නියම කෙරිණි.

විෂ වර්ග සහ අබිං අන්තරාදායක ඖෂධ පිළිබඳ පනත යටතේ අය කර ගනු ලබන දඩ මුදල්වලින් විශාල මුදල් ප්‍රමාණයක් පොලිස් තෑගි අරමුදලට බැර කරනු ලබන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙවැනි ආකාරයේ නිස්සාරණීය ලෙස නඩු පැවරීම්වලදීත් එම අරමුදල භාවිත කළ යුතු බව ද තීරණය කරමින් විත්තිකරුට එරෙහිව නිස්සාරණීය ලෙස පවරා ඇති එක් නඩුවකට රුපියල් 50,000/- බැගින් නඩු දෙකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට පොලිස් දෙපාර්තමෙන්තුවට නියම කරමින් එහි පිටපතක් පොලිස්පතිවරයාට ද යොමු කළේ ය.

පොලිස් නිලධාරීන්ගේ වැරදි පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමේ අරමුණින් මෙම නියෝගය දෙන බව අවධාරණය කළ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, මෙම නිලධාරීන් කිසිදු විනය ක්‍රියාමාර්ගයකට යටත් නොවිය යුතු බව ද අවධාරණය කළේ ය.

මෙම පොලිස් නිලධාරීන් කිසියම් හෝ විනය ක්‍රියාමාර්ගයකට යටත් කරන්නේ නම් මෙවැනි ආකාරයෙන් වැටලීම් කරන ලෙසට ඔවුන්ට උපදෙස් දී ඇති ඉහළ සිට රාජකාරී කරන සියලු ම පොලිස් නිලධාරීන් වගකීමට යටත් කළ යුතු බව ද මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි නියෝග

මෙම සිද්ධියෙන් පසු අවස්ථාවක කළ ඉල්ලීමකට අනුව රටේ අහිංසක මිනිසුන්ට එරෙහිව නිස්සාරණ ලෙස නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට බල නොකරන අන්දමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියම කරමින් ඒ සඳහා පොලිස්පතිවරයාට කල් ලබා දීමක් ද සිදු කෙරිණි.

ඒ සඳහා මෙම නඩුව මීට පෙර අවස්ථා දෙකකදී කැඳවන ලද නමුත් විවිධ හේතු මත එම කටයුත්ත කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් පොලිස් නිලධාරීහු නඩුව සඳහා දින ලබා ගත්හ.

ඒ අනුව, නඩුව අද (ඔක්: 21) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥවරුන් වන පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා සමග ප්‍රධාන පොලිස් පරීක්ෂ ප්‍රණීත ජයවර්ධන පෙනී සිටිමින් ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාසවල නිලධාරීන්ට බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් 2026 ඔක්තෝබර් 19 වැනිදා නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

'මේක මාව අන්දවන්න කරන දෙයක්'

අදාළ මාර්ගෝපදේශ මාලාව ඉතා සැලකිල්ලෙන් කියවා බැලූ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, 'මේක මාව අන්දවන්න කරන දෙයක්' යනුවෙන් විවෘත අධිකරණයේදී පැවසීය.

ඒ අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥවරුන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා‍ සහ පොලිස් නිලධාරියා අතර ඇති වූ සංවාදය මෙසේ ය.

මහේස්ත්‍රාත්වරයා: මං නියෝග දීලා තියෙන්නේ කාට ද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා: පොලිස්පතිවරයාට.

මහේස්ත්‍රාත්වරයා: එතකොට මේ ලියුම කාගේ ද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා: බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ.

මහේස්ත්‍රාත්වරයා: මේක හරියට බල්ලගේ වැඩේ බූරුවාට භාර දීමක් වගේ. මුළු ලංකාවේ ම ඉන්න සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන්න කීවා ම, පළාතෙන් පළාතේ ඉන්න පොලිස් නිලධාරීන්ට වෙන වෙන ම උපදෙස් පත්‍රිකා නිකුත් කළා ම හරි යනවා ද? මේ සිද්ධිය ම වෙන පළාතක සිද්ධ වුණොත් ඒ පළාතේ ඉන්න පොලිස් නිලධාරියාට වෙන ම උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරනව ද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා: වැටලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ම ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දීර්ඝ සාකච්ඡාවක් කළා.

මහේස්ත්‍රාත්වරයා: රෑට හීනෙන් දකින දේවල්වලට පහුවෙනිදා උදේ චක්‍රලේඛ නිකුත් කරන රටේ මේ වගේ දේකට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන්නයි කියලා අධිකරණයෙන් නියෝගයක් දුන්නා ම තමයි ඒක කරන්න බැරි. උසාවි නියෝගයකටත් පොලිසිය සලකන්නේ මෙහෙම නම්, රටේ අනිත් දේවල් ගැන කවර කතා ද? යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසුවත් කරන්නේ මේ ටික ම තමයි. පාර්ශවකරුවන්ට නඩුව එපා වෙනකල් අදිනවා. සාක්ෂිකාරයන්ට සිද්ධිය අමතක වෙනකල් නඩු පවරන්නේ නැතුව කල් අදිනවා. පොලිසිය උසාවියට දක්වන සැලකිල්ලේ තරම කොච්චර ද කියල මේ ලිපියෙන් ම පේනවා.

පොලිසියේ ක්‍රියාකලාපයන් දීර්ඝ වේලාවක් තිස්සේ දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, "පොලිස්පතිවරයාට දැනුම් දුන්නත් පොලිස් කොමිසමට දැනුම් දුන්නත් කිසිදු පළක් නැති බව ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට මාස පහකට ආසන්න කාලයක් ලබා දී තිබුණත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පසෙක තබා පොලිසිය කටයුතු කරන බවක් පෙනෙන්නට ඇති බව ද අවධාරණය කළේ ය.

මෙම තත්ත්වය යටතේ පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් ඔහු අධිකරණයට අපහාස කර ඇති බව තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කළේ ය.