ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුගීශ්වර බණ්ඩාර වැටුප් 2ක් ගත් බව කියන චෝදනාව ගැන ගෝඨාභය ප්‍රකාශයක් දෙයි: අධිකරණයේදී හෙළිවූ කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි 8 වන දා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියම කළේ ය.
එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
ගෝඨාභයගේ ප්‍රකාශය
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ය.
ඒ අනුව, අදාළ ලේකම් දීමනාව තමන් ලබා ගත් බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව එම නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
තමාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් මෙම සැකකරු පත්කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඊට අදාළ මුදල් ගෙවන ලෙස ජනාධිපති කාර්යාලයේ මූල්‍ය අංශ ප්‍රධානියාට නියම කරනු ලැබ තිබූ බව ද ඔවුහු සඳහන් කළහ.
ඊට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ මෙම සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලැබූ බව පෙන්වා දුන් විමර්ශන නිලධාරීහු, එම විශේෂ ව්‍යාපෘති අංශයේ හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ද පැවසූහ.
එසේ ප්‍රකාශ ලබා දුන් තිදෙනෙකු ම එම විශේෂ ව්‍යාපෘති අංශයෙන් කිසිදු වැඩක් සිදු නොවූ බවත්, තවත් දෙදෙනෙකු එම ව්‍යාපෘති අංශය හරහා සම්පූර්ණයෙන් ම දේශපාලන කටයුතු පමණක් සිදුවූ බවත් ප්‍රකාශ කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූහ.
මෙම විශේෂ ව්‍යාපෘති අංශය හරහා පුද්ගලයින් 135 දෙනෙකු පමණ බඳවා ගෙන තිබූ අතර ඉන් බහුතරයක් තාවකාලික පදනම මත බඳවාගෙන තිබූ බවත් එම විශේෂ ව්‍යාපෘති අංශයේ බඳවා ගැනීම්, වාහන, ඉන්ධන වැනි කටයුතු සඳහා රුපියල් කෝටි 22කට වැඩි මුදලක් වැය කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඔවුහු තවදුරටත් පැවසූහ.
ඒ අනුව, රුපියල් කෝටි 22කට වැඩි රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කී විමර්ශන නිලධාරීහු මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ද සඳහන් කළහ.
'සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිසි විමර්ශනයකින් තොරව යි'
ඉන් අනතුරුව සැකකාර සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයට අනුව තම සේවාදායකයා වැටුපක් ලබාගෙන නොමැති බව පැහැදිලි වන බව ය.
"මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ලැබෙන්නේ ජූනි මස 12 වන දා. 16 වන දා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා. 18 වන දා පාරේ යද්දී අත්අඩංගුවට ගන්නවා," යනුවෙන් කියා සිටි ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ නිසි පරිදි විමර්ශනය කිරීමකින් තොරව බවට ද චෝදනා කළේ ය.
ජනාධිපති වැය ශීර්ෂ යටතේ වැටුප් දෙකක් සිය සේවාදායකයා ලබාගෙන තිබෙන බවට පැමිණිල්ල විසින් චෝදනා කරනු ලැබ තිබුණත්, මේ වන විට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ඔහු වැටුප් දෙකක් ලබාගෙන තිබෙන බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට විමර්ශකයින් අපොහොසත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මෙම සැකකරු කටයුතු කළත් එම අංශයට සේවකයින් බඳවා ගැනීම, වාහන වෙන් කිරීම යනාදී කටයුතු සිදු කළේ තම සේවාදායකයා නොව ජනාධිපති ලේකම්වරයා බවත් ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව, සිය සේවාදායකයා මෙම අපරාධ ක්‍රියාවට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවීම සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 8 වන දා ප්‍රකාශයට පත් කරන බවත් එතෙක් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් නියෝග කළේ ය.